Print this Article


නිරෝග සුවය දීර්ඝායුෂ ලබන්නට සිරිතට විරිතට මුල්තැන දෙන්න

නිරෝග සුවය දීර්ඝායුෂ ලබන්නට සිරිතට විරිතට මුල්තැන දෙන්න

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

අභිවාදන සීලිස්ස
නිච්චං වුද්ධං පචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණො සුඛං බලං

සුපින්වත්නි,

සනරාමර ලෝක සිවංකර වූ අප භාග්‍යවතුන් වහන්සේ දීඝලම්ක නුවර ආරණ්‍ය කුටියක වැඩ වසන සමයෙහි ආයුවඩ්ඪන කුමරු අරබයා මෙම උතුම් ගාථා ධර්මය දේශනා කළ සේක

මෙම කුමාරයාගේ පියා ප්‍රථමයෙන් තපස් රැකුමට වන වැද අටසාළිස් වසක් තවුස්දම් රැක යළි කුල පරම්පරාව පවත්වා ගැනීමට තවුස්දම් අත්හැර බිරිඳක් සරණ පාවා ගත්තේ ය.

කලක් ගත වන විට දරු සම්පතක් ලැබ මෙම නුවර ආරණ්‍ය කුටියක වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණ ප්‍රථමයෙන් පියා ද දෙවනුව මව ද වඳින විට “දීඝායුකොහොථ” දිගාසිරිවේවායි බුදුහු වදාළ සේක.

යළි පොඩි සිඟිත්තා වන්දවන විට කිසිවක් නොවදාළ සේක.

මෙයට කාරණය විමසූ විට මෙම දරුවාගේ ආයුෂ හත් දිනක් පමණක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඉන් පසු මව්පියයෝ අඬමින් අපේ දරුවාගේ උවදුර දුරුවී ආයුෂ වැඩිවෙන්නට පිළියමක් වේ නම් එය වදාරණ ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ.

බුදුරජාණන් වහන්සේ, එසේ නම් සිය ගෙදර පිරිසුදු කොට මණ්ඩපයක් තනවා භික්ෂූන් වහන්සේලා අටනමක්, සොළොස් නමක් හෝ වඩා හිඳුවා සතියක් පුරාවට පිරිත් දේශනා කරවන්න යැයි වදාළ සේක.

බමුණා හා බැමිණිය ගෙදර ගොස් මණ්ඩපයක් තනවා මහ සංඝරත්නය වඩා හිඳුවා දරුවා ද ඒ මැද තබා සතියක් පුරාවට නොකඩවා පිරිත් දේශනා කරවූහ. දෙවියෝ ද එහි පැමිණියහ. පිරිතේ ආනිශංස බලය ලැබුණි. ඒ අනුව මේ කුමරු වෙසමුණූ රජුගේ නියමය අනුව අවුරුද්ධ යකුට බිලිවීමට සිටිය නමුත් එයින් වැළකී එක්සිය විසි වසරකට ආයුෂ වැඩුණේ ය. මෙසේ ආයුෂ වර්ධනය වූ බැවින් “ආයුවඩ්ඪන කුමරු නමින් ප්‍රකට විය.

පූජකො ලභතෙ පූජං
වන්දකො පටිවන්දනා

ලෙස දක්වා ඇති පරිදි වඳින , පුදන , ගරු කරන තැනැත්තාට යළි එයින් ලබන ප්‍රතිවිපාක වශයෙන් එම සම්භාවනා ලැබෙන්නේ ය. මව්පියන්, ගුරුවරුන් , මහා සංඝරත්නය, වැඩිහිටියන් වැඳීමට පිදීමට, ගරු කිරීමට ආචාර සමාචාර පැවැත්මට යෝග්‍ය වන අතර එම උතුමන්ගෙන් ලබන ආශිර්වාදය වසර පුරාවට ආයුෂ, වර්ණය. සැප බල ලැබීමට හේතු වාසනා වන්නේ ය.

පුද්ගලයාගේ ආශ්වාස , ප්‍රාශ්වාස මත ප්‍රාණ වායුව රඳා පවතින්නේ ය. එබැවින් නිදහස් පිරිසුදු පරිසරයෙන් ආශ්වාස කරන වාතය ශරීරගතව ශරීරයේ අවයව ඉතා සරලව නිදහස්ව ක්‍රියාකරවා යළි නිදහසේ ම ශරීරයෙන් ප්‍රාශ්වාස කරන්නේ නම් ශරීර අභ්‍යන්තරයේ තෙරපනයක් නොවන්නේ ය. එය ප්‍රාණ වායුවේ පැවැත්මට මූලාධාර වන්නේ ය.

සත්වයා මව්කුසින් මෙලොවට බිහිවුණ දා පටන් කරන ප්‍රධාන කාර්ය වන්නේ ජීවන ආශාවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම බව වෛද්‍ය විද්‍යාවේ මෙන් ම බෞද්ධ දර්ශනයේ ද දක්වා ඇත. එයට අවශ්‍ය වන පරිසරය සකස් නොවන්නේ නම්, ප්‍රාණවායුව විනාශ වන්නේ ය.

අලුත් අවුරුදු සිරිත් විරිත් කාල සීමාව තුළ පරිසරය තුළින් දීර්ඝායුෂ ලැබීමේ වාසනාව ලැබෙන්නේ ය. මනෝ විද්‍යාව අනුව පරිසරයන් ඉතා සම්පූර්ණයෙන් ආශ්‍රය නිශ්‍රය කරන්නාට සංසාරේ කළ මහා පාපයක් නැත්නම් කිසිම ආබාධයක් වැළෙඳන්නේ නැත.

විද්‍යාත්මක ඤාණයෙන් බලා තාක්ෂණික සම්පතින් ඉසුරුමත්වන වර්තමාන ලෝකයේ දිගාසිරි ලබන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. කෙතරම් ඖෂධ වර්ග ගත්තත් ඒ සෑම ඖෂධයකින් ම අභිනව රෝග වැළඳෙන්නේ ය. මානසික පරිවර්තනයකට පියවර තබන තුරු වර්තමානයේ මානව පරපුරට සිදුවන ව්‍යසනයන් සමනය කරන්නට විද්‍යාත්මක උපකරණවලට නොහැකි වන්නේ ය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවන අලුත් අවුරුදු සිරිත් විරිත් වලින් උපරිම ප්‍රයෝජනය ගෙන එයින් ශාරීරික හා මානසික පවිත්‍රතාවය ඇති කොට පවතින ව්‍යසනයන් දුරු කිරීමට හා යළි පැමිණෙන ව්‍යසනයන් වළක්වාලීමට ජාතික සැලැස්මක් බෞද්ධ දර්ශනය මාධ්‍ය කරගෙන ක්‍රියාත්මක කළ යුතු වන්නේ ය.

මානසික ප්‍රසන්නතාවය ලේ ධාතුවට සම්බන්ධ වන අතර එයින් රෝම කූපයක් පාසා ඔදවත් ගතියක්, වර්ණවත් ගතියක් ප්‍රසාරණය වන්නේ ය. ලෞකික සැපය වශයෙන් සත්වයා සංකල්පනය කරන්නේ පංච ඉන්ද්‍රියන්ට ගෝචරවන රූපාදි අරමුණුවලින් ඇතිවන රසවින්දනයයි. සත්වයාට මහ වින්දනයට මූලාධාරවන කරුණු කීපයකි.

පෙර ආත්මවලදී සිදුකළ කුසල කර්මයන්, සම්පත් පිරි කුලයක ඉපදීම හා , අධිෂ්ඨානය හා උත්සාහයයි.

පිදිය යුත්තන් පිදීම, වැඳීම, ගරුකිරීම ආදි සිරිත් විරිත්වලින් ලබන ආශිර්වාදය ඇසීමෙන් , සිතීමෙන් ශරීරය පුරාවට විස්තාරික වීමෙන් ආහාර පානවලින් ලබා ගන්නා පෝෂණයට වඩා සියක් ගුණයක පෝෂණයක් ලැබෙන්නේ ය. ශාරීරික පෝෂණය රඳා පවතින්නේ කර්ම ශක්තිය තිබෙන තුරු පමණි. අතීත කර්ම ශක්තිය හීන වන විට කෙතරම් පෝෂ්‍ය ආහාර පාන ගත්තත් යළි ඒවා ශරීර ආබාධ වේදනාවලට හේතු කාරක වන්නේ ය.

එහෙත් අලුත් අවුරුදු කාලවල මව්පියන්, ගුරුවරුන් මහා සංඝරත්නය , වැඩිහිටියන් සිල්වත් ගුණවතුන් වැඳීමෙන් පිදීමෙන් සම්භාවනාවෙන් ලැබෙන මානසික සතුට, කුසලයක්, ශක්තියක්, වාසනාවක් වශයෙන් මතුවට පවතින්නේ ය.

ආයුෂ වර්ණය, සැප, බල යන මෙම ශාරීරික සම්පත් ලෞකික වශයෙන් අත්‍යවශ්‍ය වුව ද ඒවා නිතැතිත් ආකාස්මිකව තමන් කරා පැමිණෙන්නේ නැත. මේ සඳහා ප්‍රධාන වශයෙන්, වැඩිහිටියන්ට සැලකීම අභිවාදනය, අත්‍යාවශ්‍ය වන අතර තමාගේ ශරීරය පාලනය කරගැනී ම ද මහෝපකාරි වන්නේ ය.

මෙම බක්මහ උළෙල පවත්නා කාල පරිච්ඡේදය අප්‍රමාදව අභිවාදනාදී සිරිත් විරිත් ඉෂ්ට සිද්ධ කිරීමෙන් මෙලොව දීර්ඝායුෂ හා නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීමටත්, පරලොව දේව මානුෂ්‍යාදි සම්පත් කෙළවර නිවනින් සම්පත් ලබා ගැනීමටත් උනන්දු වන්න.