Print this Article


පිරිවෙන

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.

[email protected]  බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනෙහි 180 වසරක පුරාවත

මහින්දාගමනයෙන් ලද උතුම් ම ශාස්ත්‍රීය දායාදය අනුරාධපුර මහා විහාරයේ බෞද්ධ අධ්‍යාපන පීඨය යි. එතැනින් ඇරැඹි ශ්‍රී ලාංකීය බෞද්ධ අධ්‍යාපන ගමන් මඟ පොළොන්නරුව, දිඹුලාගල, සබරගමුව, දඹදෙණිය, කුරුණෑගල, මාතලේ, කෝට්ටේ - ශ්‍රී ජයවර්ධනපුර, රයිගම - වීදාගම, තොටගමුව, පැපිලියාන, රුහුණු - මාගම්පුර දක්වා පැතිර ගියේ ය.

එහෙත් 1505 දී පෘතුගීසි ආක්‍රමණයෙන් පටන් ගත් විදේශීය ග්‍රහණයන්ට ගොදුරු වූ ශ්‍රී ලංකාව 1815 දී බ්‍රිතාන්‍යයන්ගේ පූර්ණ යටත් විජිතයක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලාංකීය පිරිවෙන් අධ්‍යාපනය පරිහානියට පත්විය.

එහෙත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සංඝරාජ පදවිය පිරිනැමූ වැලිවිට පිණ්ඩපාතික අසරණසරණ ශ්‍රී සරණංකර මා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය මත 1753 ඇසළ පොහෝ දින සියම් හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායෙන් මෙරට ප්‍රථම උපසම්පදා කර්මය සිදුකොට, නැවත භික්ෂු සාසනය ගෞරවණීය ලෙස ප්‍රතිෂ්ඨාපනය විය.


පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති / අධ්‍යක්‍ෂ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ආචාර්ය මාඉටිපේ විමලසාර හිමි

ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුපමේය ශාසන සේවාවෙන් ලද බෞද්ධ ධර්ම ශාස්ත්‍රාගම ප්‍රබෝධය වසර 1800 වන විට නැවත ලක්දිව පුරා පැතිර යන්නට විය.

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර තොටමුණ ප්‍රදේශයට අයත් වලාන නම් ග්‍රාමයේ 1811 මාර්තු මාසයේ මුල් දිනක පින්වත් කුමරුවකු ජන්මලාභය ලැබීය. මෙම කුමරු කුඩා කල ගිඩ්ඩව ගුණරතන හිමියන්ගේ ඇසුරට පත් ව, දොඩන්දූවේ සරණපාල හිමියන්ගෙන් ධර්ම ශාස්ත්‍රය ප්‍රගුණ කළේ ය. 1823 දී පානදුර මහ අරුග්ගොඩ ඉන්දසරාරාම විහාරයේ දී ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් ව, 1831 වෙසක් මස පානදුර ගල්ගොඩ විහාරයේ නැදිමාලේ රේවත මහා ස්ථවිරයන් වහන්සේගේ උපාධ්‍යායෙන් යුතුව මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබ, වලානේ ශ්‍රී සිද්ධාර්ථ නමින් සිය මුල්ම විහාරස්ථානයේ ( වර්තමානයේ වලානේ සිරි සිද්ධත්ථාරාමය) වැඩ සිට සාසන සේවාව ඇරැඹී ය.

එකල ශ්‍රී පාදස්ථානයෙහි නායක ධූරය දරමින් පැල්මඩුල්ල විහාරාධිපති වූ ගාල්ලේ මේධංකර මහ ස්ථවිරයන් වහන්සේගෙන් ද, පසුව විහාරාධිපති වූ ඉඳුරුව සුමංගල නා හිමියන්ගෙන් ද ධර්ම ශාස්ත්‍රය ප්‍රගුණ කළ සිද්ධාර්ථ හිමියෝ 1838 දී නැවත පානදුර වලානේ සිය විහාරස්ථානයට වැඩම කළහ.

එතැන් සිට පානදුර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ගිහි පැවිදි සිසුන් රැසකට ධර්ම විනය සහ ශබ්ද ශාස්ත්‍ර ඉගැන්වීමෙන් ද, අර්ථවත් සුමධුර ධර්ම දේශනා පැවැත්වීමෙන් ද දිවයින පුරා සුපතළ කීර්ති නාමයක් දිනා සිටි ශ්‍රී සිද්ධාර්ථ නා හිමියෝ ත්‍රිපිටක, අට්ඨකතා, ටීකා, සන්න, ගැටපද ආදී ග්‍රන්ථ සම්පාදනය කළහ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස රත්මලානේ විසූ පොරෝලිස් ලේකම් රාළහාමි, කොළඹ පිටකොටුව ව්‍යාපාරික මහා දානපති ජයසූරිය ආරච්චිගේ තොදෝනිස් පෙරේරා අප්පුහාමි, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි, රත්මලාන අත්තිඩියේ ආරච්චි මහත්මයා හෙවත් පනාගොඩ ආරච්චිගේ දොන් ජොරනිමුස් සෙනෙවිරත්න රාළහාමි, අන්ද්‍රියස් ප්‍රේරා ධර්මගුණවර්ධන මුහන්දිරම් වැනි බෞද්ධ ප්‍රභූන් විසින් කළ ආරාධනාවකට අනුව ජාතික මට්ටමේ බෞද්ධ පිරිවෙනක් ආරම්භ කිරීම සඳහා රත්මලාන ප්‍රදේශය තෝරා ගැනීමට උන්වහන්සේට සිත්විය.

සිය බෞද්ධ අධ්‍යාපන සේවා පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට නිසි තෝතැන්නක් හිමිවීම පිළිබඳ තෘප්තිමත් වූ ශ්‍රී සිද්ධාර්ථ හිමිපාණෝ 1841 මැයි මාසයේ දී රත්මලාන මෙම නව පරිශ්‍රයට වැඩම කළ අතර, 1841 ජූලි මාසයේ වස් කාලය මුල දී “රත්මලාන ශාස්ත්‍රශාලාව” නමින් මෙම පිරිවෙන ආරම්භ කළහ.

මේ සඳහා අවශ්‍ය වූ මුල්ම බිම් කැබැල්ල පරිත්‍යාග කළේ රත්මලාන අත්තිඩියේ ආරච්චි මහත්මයා හෙවත් පනාගොඩ ආරච්චිගේ දොන් ජොරනිමුස් සෙනෙවිරත්න රාළහාමි මහත්මයා ය. අනතුරුව අක්කර 05 ක් පමණ වූ භූමි පරිශ්‍රයක් වන පරිදි මෙම පිරිවෙනේ මුල් භූමියට යාබද වූ තවත් ඉඩම් කැබලි කීපයක් ප්‍රදේශවාසී දානපති පින්වතුන් විසින් පරිත්‍යාග කරන ලදී.

එසේම මෙසේ ඇරඹි මෙම බෞද්ධ ශාස්ත්‍ර ශාලාවේ අභිවෘද්ධිය උදෙසා වූ නඩත්තු කටයුතු සහ මහා සංඝයා විෂයෙහි සිවුපසය පිරිනැමීමේ දී ද ඉහත සඳහන් කළ ආරාධිත පිරිස ප්‍රමුඛ ප්‍රදේශවාසී දායකයන්ගේ නො මඳ සහාය ලැබිණ.

මෙම විද්‍යස්ථානය ඉන් වසර 20 කට පසුව එනම් 1861 දී පරමධම්ම චෛත්‍යාරාම නම් වී, නැවත වර්ෂ 1887 සිට පරම ධම්ම චේතිය පිරිවෙන” යන නමට පරිවර්තනය වූ මෙම ඓතිහාසික පිරිවෙන් විහාරය වර්තමානය වන විට නව ප්‍රගතියක් ලබා කටයුතු කරනු ලැබීම සතුටට කරුණකි.

මෙම ශාස්ත්‍ර ශාලාව සිංහල බෞද්ධ උරුමයේ විවිධාංග පුනර්ජීවනය කරන ව්‍යාපාර ගණනාවකට තෝතැන්න වූයේ ය. චිරන්තන සිංහල, පාලි, සංස්කෘත සාහිත්‍ය අධ්‍යයනයටත්, බුදු සමය හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ව ගැඹුරු අධ්‍යයනයටත්, ආයුර්වේදය, නක්ෂත්‍රය, ජ්‍යෝතිෂ ශාස්ත්‍රය වැනි පාරම්පරික ශාස්ත්‍රයන්ටත් නවජීවයක් ලබා දුන් නූතන පිරිවෙන් අතර පුරෝගාමී ආයතනය වූයේ මෙය යි.

මුල් කාර්තුවේ ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 17 ක් විය. ඒ සුවිශේෂී පිරිස අතුරෙන් කැපී පෙනුණු හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි, බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ඛිත හිමි (පසුව උපැවිදි විය), දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි, දොන් හරමානිස් කවිරත්න ආදී පැවිදි -ගිහි ශිෂ්‍යයන් පුහුණු කළ වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ නූතන යුගයේ සිංහල සංස්කෘතික පුනර්ජීවනයට ස්ථිරසාර අඩිතාලමක් දැමීමට සමත් වූහ.

මෙම ලිපියේ ඉතිරි කොටස මීළඟ කලාපයේ පළවේ.