Print this Article


දහමට අනුව දිවි මඟ හැසිරවීමට අලුත් අවුරුදු දා අධිෂ්ඨාන කරගන්න

දහමට අනුව දිවි මඟ හැසිරවීමට අලුත් අවුරුදු දා අධිෂ්ඨාන කරගන්න

සිංහල ජාතියේ අනන්‍යතාවය ඉස්මතු වී පෙනෙන අමරණීය අවස්ථාවක් හැටියට සිංහල අලුත් අවුරුද්ද හැඳින්විය හැකි ය. සිංහල අලුත් අවුරුදු සමයේ පැවැත්වෙන සිරිත් විරිත්, ආචාර සමාචාර , ගුණධර්ම, චර්යා ධර්ම, සාරධර්ම ආදිය ජනතාවගේ අලුත් අවුරුදු උරුමයන් හැටියට ජනගත වූයේ සම්බුදු සසුනේ මඟ පෙන්වීම් සමඟ ආශිර්වාදය ද ඇතිව ය.

බක් මහට යෙදී ඇති අලුත් අවුරුද්ද මිනිසාට පමණක් නොව ගහ කොළට ද අලුත් අවුරුද්දක් වෙයි. බක් මහ උදාවත් සමඟ තුරුලියවල පැරණි ගහ කොළ වැටී අලුතෙන් දලු රිකිලිලා මල් පල ගැන්වෙමින් අලුත් වෙයි. කහ, ඉඟුරු වැනි දේ යළි පැළ වී පැළ මතු වන්නේ බක් මහට ය.

බක් මහ එළඹීමත් සමඟ ගහකොළ ද අලුත් වන බව මෙම උදාහරණ වලින් සනාථ වේ. මේ අනුව අලුත් අවුරුද්ද යනු මිනිසා ගහකොළ පරිසරය ආදිය අලුත් කරන ස්වභාව ධර්මයේ නිර්මාණයක් බව පැහැදිලි වෙයි.

රාවණා යුගයේ දී ද මෙම ස්වභාව ධර්මයේ පෙරළිය සිදු වී ඇත. එම විපර්යාසය ඔවුන් හඳුන්වා ඇත්තේ “සූර්ය මංගල්‍යය” ලෙස ය. රාවණා රජු යක්ෂයකු නොවේ. යහපත් ගුණධර්ම පැවති සූර්ය වංශිකයෙකි. ‘රා’ යනු සූර්යා ය. ‘වණ’ යනු වංශයයි. එවිට රාවණා යන්නෙන් අර්ථවත් වන්නේ “සූර්ය වංශික’ බවයි.

සූර්ය වංශිකයන් විසින් බක්මහේ දී සිදුවන ස්වභාව ධර්මයේ පෙරළියට “සූර්ය මංගල්‍යය” ලෙස නම් තබා ඇත. අදත් නුවරගම් කලාවියේ දරු පවුල්වලට දරු පැටියකු උපන් හැටියේ ඔහුගේ ආරක්ෂාවට පංචායුධ සහිත මාලයක් පළඳවයි. මේ ‘පංචායුධය’ රාවණා රජුගේ රාජ්‍ය ලාංඡනයයි. එයින් සනාථ වන්නේ රාවණා පරපුරේ උරුමය තවමත් සිංහල ජනතාව අතර පවතින බවයි. ඒ අනුව සූර්ය මංගල්‍යයත්, සිංහල අලුත් අවුරුද්දත් දෙකක් නොව එකක් ම ය.

රාවණා ධර්මය තුළ පැවති උතුම් ගති පැවතුම් සියල්ලම පාහේ සූර්ය මංගල්‍යයට හෙවත් අලුත් අවුරුදු සංකල්පයට එකතු වී තිබේ. මෙම අලුත් අවුරුදු සමය වෙනුවෙන් හැමදෙනාම ඉටු කළ යුතු චර්යාධර්ම මාලාවක් වෙයි. අලුත් අවුරුද්දට පූර්වාරම්භය ලැබෙන්නේ ගෙවී යන වසරේ අවසන් දිනය වන පරණ අවුරුද්දේ දිනයයි.

ගෙවී යන වසරක කාලය තුළ ජීවත් වීමේ දී මුහුණ දුන් ගැටලු, ප්‍රශ්න, අත්වැරදි , කටවැරදි, මනාප අමනාපකම් ආදිය නැවත සිහියට ගෙන පවුලේ ඥාතීන් සමඟ සහ අසල්වැසියන් සමඟ ඇති කර ගත් අමනාපකම් නොහොඳ නෝක්කාඩුකම් පිළිබඳව එවැනි අය හමු වී සුහදශීලීව කථා බහ කොට අමනාපකම්, මතභේද, හිතේවේදනා හිතෙන් දුරුකොට සිත් සතන් අලුත් කර ගැනීමට කටයුතු කිරීම පරණ අවුරුදු දින කෙරෙන වත් පිළිවෙත් වලට අයත් වේ.

මෙහිදී එක් එක් අයගේ වැඩිිහිටිකම් අනුව බාලයා විසින් වැඩිමහලු අයට බුලත් හුරුල්ලක් පිළිගන්වා වැඳ නමස්කාර කර ක්ෂමාව භජනය කොට හිත්වල කහට සෝදා හැර ගනිති. එසේම බාල දරුවන් ළමා ළපටීන් තෙල් බඳුනක් ද රැගෙන අසල්වැසි ඥාතින් වෙත ගොස් වැඩිහිටියන්ගේ දෙපාවල පොල්තෙල් පිරිමැද නව වැඳුම් වැඳ ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගනිති. නිවෙස් වල අම්මාවරු අවුරුදු චාරිත්‍ර වලට අවශ්‍ය කැවිලි ආදිය සූදානම් කරති. ගේ දොර පිරිසුදු කොට බඩු මුට්ටු ආදිය පිළිවෙළකට සකස් කොට නිවසට නැවුම් බවක් ලබා ගැනීමට ද අම්මාවරු දුවා දරුවන්ගේ සහාය ඇතිව කටයුතු කරති. ගෙහිමියා අතින් ගෙදර බිත්ති, දොර, ජනෙල් ආදිය වර්ණවත් කිරීම සිදුවේ. දුවා දරුවන්ට ගෙදර අම්මාට අලුත් ඇඳුම් පැළඳුම් ලබාදීම ගෙහිමියාගේ වගකීමකි.

නැකැත්වලට අනුව අලුත් අවුරුද්ද උදාවීමට පෙර ඇති වන ‘නොනගත කාලය’ හිරු සඳුගේ රැකවරණයක් නැති ‘අනාරක්ෂිත කාලයක්’ ලෙස කොයිකවුරුත් සැලකීම නිසා මේ කෙටි කාලය කවුරුත් පරිස්සමින් කාලය ගත කරති. නොනගත කාලය ගෙවී යාමත් සමඟ අලුත් අවුුරුද්ද උදා වේ. ඉන්පසු කොයිකවුරුත් අලුත් අවුරුද්දේ සිරිත් විරිත් හා ගුණදහම් පිරීමට මුලපුරති.

සියල්ලටම ප්‍රථමයෙන් හැමදෙනාම නොවරදවාම තෙල්, මල් , පහන් රැගෙන ගමේ විහාරස්ථානයට ගොස් සම්බුදු හිමියන් වෙත මල් පහන් පුදා ඉනික්බිතිව සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගනිති. අවුරුදු නැකත යෙදී ඇත්තේ පෙරවරුවේ නම් විශේෂයෙන් පිසින ලද කිරි ආහාර ගරු බුහුමන් ඇතිව ගෙන ගොස් සම්බුදු හිමියන් වෙත පූජා කොට සංඝරත්නයට ද පිළිගන්වති.

සම්බුදු හිමියන් වැඳ පුදා ගැනීමෙන් පසු සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගෙන නිවෙස් වෙත පැමිණ ගෙදර දොරේ සිරිත් පිළියෙළ කිරීමට ‘ගෙදර බුදුන්’ බඳු අම්මා විසින් කටයුතු කරයි.

පළමුවෙන්ම අම්මා කරනු ලබන්නේ අලුත් අවුරුදු කෑම මේසය සූදානම් කර තෙල් හා තිර යොදා ඉෂ්ඨ දේවතා පහන මේසය මත තැබීම ය. ඉන්පසුව ගෙදරට දෙවියන් බඳු පියාණන් ද දුවා දරුවන් ද කිරි අත්තා, කිරි අම්මා ආදි වැඩිහිටි මව්පියන් සිටී නම් ඒ අය ද ගෙදර බුදුන් බඳු අම්මා ද කෑම මේසයට වාඩිවෙති. ප්‍රථමයෙන්ම කරන්නේ ගෙදර දෙවියන් බඳු පියාණන් ද ගෙදර බුදුන් බඳු අම්මා ද දුවා දරුවන් ද ඉෂ්ඨ දේවතා පහනේ පහන් වැටි දැල්වීමය. එසේ කරනු ලබන්නේ මිය ගිය මව්පියන් වෙනුවෙන් ද ජීවත්ව සිටින වැඩිහිටි මවුපියන් ද සිහිපත් කරමින් ගරු බුහුමන් පිදීමට ය.

මෙහිදී ඒ වැඩිහිටි දිවන්ගත පිරිසට පින් පමුණුවති. ඊට පසුව ගෙදර බුදුන් බඳු අම්මා විසින් ගෙදර දෙවියන් බඳු පියාණන්ට අලුත් අවුරුදු මේසය ඉඳුල් කිරීමට ආරාධනා කරයි. ඉන්පසුව සියලු දෙනා එක්ව ඔවුනොවුන්ට කිරිබත් කටක් කවමින් ආදරය ලෙන්ගතුකම සහ භක්තිය පෙන්වමින් ආහාර පාන ගනිති. මෙබඳු උතුම් ගති සිරිත් ඇති අලුත් අවුරුදු කෑම මේස තවමත් සමහර නිවෙස් වල දකින්නට ලැබේ.

අලුත් අවුරුදු මේසයෙන් පසු ළමා ළපටින් ගෘහස්ථ ක්‍රීඩාවලට මෙන්ම එළිමහන් ක්‍රීඩාවලට ද දුව පැන යති. ගෘහස්ථ ක්‍රීඩා වශයෙන් පංච දැමීම, ඔළිඳ ක්‍රීඩාව, තේරවිලි කවි කීම ආදියට ගැහැනු දරුවෝ පෙළෙඹෙති චග්ගුඩු පැනීම, එල්ලේ ගැසීම, ඔන්චිලි පැදීම, තට්ටු පැනීම, අලියාට ඇස් තැබීම, ලිස්සන ගහේ නැගීම, වැව්වල පිහිනීම වැනි ක්‍රීඩාවල පිරිමි දරුවෝ යෙදෙති. අලුත් ඇඳුම් ඇඳගෙන මෙම ක්‍රීඩාවල යෙදෙන ළමා ළපටියෝ මහත් සොම්නසක් විඳිමින් අලුත් අවුරුදු සුවය විඳිති.

ගෙවී ගිය වසර තුළ තමා කළ හරි වැරදි සිහියට ගෙන අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් අඳින්නාක් මෙන් පරණ තරහ මරහ, කෝන්තර, වෛර අමනාපකම් හිතෙන් සෝදා හැර සිතත් අලුත් කර ගැනීමට අලුත් අවුරුද්ද හොඳම වේලාවයි

බෞද්ධ ජනතාවට මෙහිදී සම්බුද්ධ ශාසනය හා සම්බුද්ධ ජීවිතය මහත් පිටුවහලක් සහ මඟපෙන්වීමක් කරනු ලබයි. අටුවා ටීකා ග්‍රන්ථවල සඳහන් වන අන්දමට බුදුවරයෙකු බුද්ධත්වයට පත්වී වසර පන්දහසක් ගත වූ තැන උන්වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා බුද්ධත්වයට පත්වු බෝධි මූලයට එක් රැස් වී පරිනිර්වාණයට පත් වෙති. එතෙක් උන්වහන්සේලාගේ ශාරිරික ධාතුන් වහන්සේලා ජීවමාන බුදුන් සේ බුද්ධානුභාව ඇතිව ලෝකයාගේ හිත සුව පිණිස ආශ ිර්වාද කරති.

සර්වඥ ධාතුන් වහන්සේලාට අදත් අප සම්බුදු හිමියන්ට සේ ගරු සරු දක්වන්නේ ඒ නිසා ය. බෞද්ධයන් අලුත් අවුරුදු දාට විහාරස්ථානයට පැමිණ බුදුන් වැඳ අලුත් අවුරුද්දේ නිදුකින් ජීවත් වන්නට ආශිර්වාද ලබන්නේ ඒ නිසා ය.

සම්බුදු හිමියන්ගේ බුද්ධ බලය රෝග, යක්ෂ, පේ‍්‍රත, භූත ග්‍රහදෝෂ ආදිය දුරු කොට යහපත් මිනිසාට ජීවත්වීමට ආරක්ෂාව සලසයි.

‘ධම්මෝ භවේ රක්ඛති ධම්ම චාරි’ යන බුදු වදනින් කියැවෙන්නේ ද ධර්මානුකූලව ජීවත්වන අය ධර්මයෙන්ම ආරක්ෂා කරන බවයි. ‘ධජග්ග‘ සූත්‍රයේ මේ බව මනාව විස්තර වේ. මේ නිසා අලුත් අවුරුද්ද ලබන මොහොතේ සිය දුවා දරුවන් ද විහාරස්ථානයට කැඳවාගෙන ගොස් සම්බුදු හිමියන්ගේ ආරක්ෂාව සහ ආශිර්වාදය ලැබ සම්බුදු දහම අනුව සිය දිවි පෙවෙත හසුරුවා ගැනීමට කොයි කවුරුත් අලුත් අවුරුදු දා අධිෂ්ඨාන කර ගැනීම ජීවිතයට යහපතක්ම වේ.