Print this Article


වැරැදි නිවැරැදි නොකළොත් ථේරවාදී ධර්මයට විශාල හානියක් සිදු වෙන්නට පුළුවන්

වැරැදි නිවැරැදි නොකළොත් ථේරවාදී ධර්මයට විශාල හානියක් සිදු වෙන්නට පුළුවන්

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ,ශාසනික ජීවිතයට ඇලුම්කිරීමට මූලික පසුබිම සකස් වුණේ කුමන ආකාරයෙන් ද?

මම පුංචි කාලයේ අධ්‍යාපනය ලැබූ ගමේ පාසලට යාබදව විහාරස්ථානය පිහිටලා තිබුණා. කිරින්දේ මනිරතන ලොකු හාමුදුරුවන් වහන්සේ අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා අපේ ආච්චි අම්මා පිස දෙන කිතුල්පිටි කැඳ දිනපතාම උදේ ලොකු හාමුදුරුවන් වහන්සේ ට පිළිගැන්වීමට මා පන්සලට යනවා.

උදේම පන්සලට ගිහින් එම කටයුතු අහවරවුණාට පසුව මම පාසලට යනවා. පුංචි කාලයේදී ම ටිකෙන් ටික විහාරස්ථානය සමඟ සමීපවීමත්, පොහොය දවසට හැමදාම වගේ ආච්චි අම්මා සමඟ සිල් සමාදන්වීමත්, නිතර පොඩි හාමුදුරුවන් වහන්සේලා දැකීමත් නිසා මටත් පැවිදි වීමට ආසාවක් ඇති වුණා. ඒ අනුව මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව 1966 වර්ෂයේ දී විහාරස්ථානයට පැමිණිලා වතාවත් පුරුදු පුහුණු වෙලා ආච්චිඅම්මාගේ කැමැත්ත පරිදි 1966 අප්‍රේල් 06 දින නිවස තුළ පවත්වන්නට යෙදුන තිස්පැය පිරිත අවසන්වීමත් සමඟ අප්‍රේල් 07 දින නිවස තුළ පැවිදි පින්කම සිදු කළා.

විතාරන්දෙණියේ චන්දජෝති නායක හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් විතාරන්දෙණියේ සුදර්ශනාරාමාධිපති පලපොත ධම්මානන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ඉත්තදෙමළියේ ඉන්දසර යන උතුම් ශාසනික නාමයෙන් ප්‍රවෘජ්‍යා භාවය ලබාගෙන නිවස තුළ සඟසතු දානමය පින්කම අවසන් වීමත් සමඟ සාමණේරයන් වහන්සේ නමක් වශයෙන් ලොකු හාමුදුරුවන් වහන්සේලා සමඟ විහාරස්ථානයට වැඩම කළා.

ඔබ වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනයත්, ධර්ම ශාස්ත්‍රීය සේවයත්,ජාතික, ආගමික, ශාසනික සේවයත් පිළිබඳව සඳහන් කරනවා නම්,

1966 වර්ෂයේ සිට කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඤාණේෂ්වර පිරිවෙනේම වර්ගපටිපාටියෙන් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගත්තා. 1970 දී සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු 1971 දී ප්‍රාචීන ප්‍රාරම්භ 1973 දී ප්‍රාචීන මධ්‍යම විභාග සමත්වෙලා 1974 දී උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව 1975 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා 1979 වර්ෂයේ දී ගෞරව ශාස්ත්‍රවේදී ී උපාධිය ලබාගෙන විද්‍යෝදය පිරිවෙනේ ගුරුවරයකු වශයෙන් වසර දෙකක් කටයුතු කළා. පසුව උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවට වැඩම කළා. මැටිවල සංඝරතන හාමුදුරුවන්ගේ හා මහාචාර්ය කඹුරුපිටියේ චන්දරතන නායක හාමුදුරුවන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ 1982 වර්ෂයේ දී ඉන්දිය වේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය පළමු පංති සාමාර්ථයක් සහිතව සමත් වුණා.

1988 වර්ෂයේ දී එම විශ්ව විද්‍යාලයේ දී ම ආචාර්ය උපාධිය ලබාගෙන ලංකාවට වැඩම කරමින් රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ උපගුරුවරයකු වශයෙන් සම්බන්ධවීමත් සමඟ ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයට අයත් පින්වත්ත සද්ධර්මාකර ආයතනය , විද්‍යෝදය ආයතනය යන ආයතන දෙකේම බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළා.

1992 දී නිට්ටඹුව ශාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් තෝරාගැනීමත් සමඟ එහි 1996 වර්ෂය තෙක් සේවය කළා. 1996 දී බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිංගප්පූරු අනුබද්ධිත ආයතනයක කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කිරීමට සිංගප්පූරුවට වැඩම කළා.

නැවත 1997 වර්ෂයේ දී හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ආරම්භක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු, අංශාධිපතිවරයකු, පීඨාධිපතිවරයකු ලෙස සේවය කළා. 2005 වර්ෂයේ දී සිංගප්පූරු අනුබද්ධිත ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස 2008 වර්ෂයේ ඔක්තෝබර් මාසය තෙක් සේවය කර 2008

වර්ෂයේ දී නැවත මා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යායන් වහන්සේ ලෙස 2014 වර්ෂය දක්වා සේවය කළා.

මගේ ධූර කාලය තුළ විශ්ව විද්‍යාල ප්‍රගමනය සඳහා සියලු දෙනාගේ සහයෝගය ඇතිව විශාල කාර්යභාරයක් කිරීමට ලැබීම විශාල සතුටක්. එම ධූර කාලය අවසන්වීමත් සමඟ නැවත මා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස එම විශ්ව විද්‍යාලයේ ම සේවය කිරීම ආරම්භ කළා.

2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම යාමත් සමඟ විදේශීය ආරාධනා අතර පිලිපීනයට වැඩම කරමින් එහි සියයට සියයක් කතෝලික පිරිසක් අධ්‍යාපනය ලබන අතනියෝද මැනිලා විශ්ව විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරමින් බුදුදහම පිළිබඳ ඔවුන් තුළ නැඹුරුවක් ඇතිකිරීමට හැකිවීම පිළිබඳ විශාල සතුටක් දැනෙනවා. විශ්ව විද්‍යාල සේවයට අමතරව විවිධ ආයතන, කාර්මික විද්‍යාල,ආරක්ෂක විද්‍යාල, පිලිපීන හිරගෙවල් තුළ භාවනා වැඩසටහන්, උපදේශන, සම්මන්ත්‍රණ සිදු කළා. අඛණ්ඩව ම වැඩසිටීමට ආරාධනා තිබුණත්,ලංකාවේ විහාරස්ථානයේ අවශ්‍යතාවය පරිදි නැවතත් 2019 වර්ෂයේ දී ලංකාවට වැඩම කළා.

යුරෝපීය රටවල් 40 කට අධික ප්‍රමාණයක වැඩම කරමින් විවිධාකාරයේ ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ සඳහා වැඩම කළා. මහෝපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු කළ අවධියේ ප්‍රංශය, බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, හොංකොං ආදී විදේශයන්හි අපේ විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත ආයතන ආරම්භ කරම්න් විදේශීය සිසුන්ට බුද්ධ ධර්මය ඉගැන්වීම කළා. විශ්ව විද්‍යාල හරහා ධර්ම ශාස්ත්‍රීය සේවයත්, ධර්ම ප්‍රචාරක සේවයත් සිදුකිරීම නිසා ථේරවාදී බුදුදහම වෙනුවෙන් යම් සේවයක් සිදුකළ බවට විශාල සතුටක් දැනෙනවා.

ජනාධිපති උපදේශක සභාවේ සාමාජිකයකු,. විශ්ව විද්‍යාල සනාතන සභා නියෝජිතයකු , පාලක සභා නියෝජිතයකු සහ මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේ පාඨමාලා සකස්කිරීමේ කටයුතු සඳහා සහභාගි වෙනවා. විහාරස්ථානය අවට ආයතනවල බෞද්ධ සංගම් අනුශාසකවරයකු ලෙසත් කටයුතු කරනවා.

ශාසනික ප්‍රතිපදාවේ යෙදීමටත්,සත්‍ය මාර්ගය පෙන්වාදීමටත් , ශාසනය චිරස්ථායිකිරීමටත්,වර්තමාන භික්ෂුන් වහන්සේලාට ලබාදෙන අධ්‍යාපනය පිළිබඳව හිටපු මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේට සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?

දැනට පවතින තත්ත්වය යටතේ සතුටු විය නොහැකි පරිසරයක් ශාසනය තුළ ම ගොඩනැඟි තිබෙනවා. බුදුන් වහන්සේ ලංකාවේ බුදුවුණා, ලංකාවේ ධර්ම දේශනා කළා කියමින් එක එක ස්ථාන හඳුන්වා දෙමින් ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ සිතාගන්නවත් බැහැ. තවත් පිරිසක් ධර්මය පිළිබඳව පෞද්ගලික අර්ථකථන දෙමින් ප්‍රසිද්ධ දේශනා පවත්වනවා. තවත් පිරිසක් මාධ්‍ය මගින් ධර්ම දේශනා, සාකච්ජා මාර්ගයෙන් ධර්මය විකෘති කරනවා. මූලික සූත්‍රධර්මවල සඳහන් අර්ථ සඟවමින් තමන්ගේ මතය ඉදිරිපත් කරමින් ධර්මය විග්‍රහ කරනවා.

වර්තමානය තුළ එවැනි ක්‍රියා ඉතා පුළුල් ලෙස සිදුවෙනවා. සමාජ මාධ්‍යය පරිහරණය කරමින් එවැනි දේ සිදුකිරීම අයහපත් තත්ත්වයක් . වර්තමාන සංඝතලයේ ක්‍රමික අධ්‍යාපන ක්‍රමයක් නොමැතිවීමේ අඩුව දෝ කියලත් සිතෙනවා. එවැනි පිරිස සම්ප්‍රදායානුකූල අධ්‍යාපනයක් ලබානොගත් පිරිස් බව පැහැදිලි යි. වැඩිහිටි වියට පැමිණ පැවිදිවෙලා ඒ අය විසින්ම උපකල්පනය කරමින් අදහස් ලබාදීම අහිංසක බෞද්ධයන්ට විශාල හානියක්.

අසත්‍ය මුද්‍රණ, අසත්‍ය දේශනා දැක තිබෙනවා. අප විසින් ම මේවා විකෘති කිරීම ධර්මයට විශාල හානියක්. මේ සඳහා වගකිව යුතු ස්වාමීන් වහන්සේලා, වගකිව යුතු බෞද්ධ සමිති සමාගම් හා රජය මැදිහත්ව මේවා නිවැරැදි කරගැනීමේ අවශ්‍යතාවයක් වර්තමානය තුළ ඇතිවෙලා තිබෙනවා. එසේ නොවුණහොත් ථේරවාදී ධර්මයට විශාල හානියක් සිදුවෙනවා.

ථේරවාදී ධර්මය සුරක්ෂිතව පවතින රටක් ලෙස ලංකාව මුළු ලෝකයේ ම පිළිගැනීමට භාජනය වෙලා තිබුණත්, එම පිළිගැනීමට හානිදායක තත්ත්වයක් මෙම වැඩසටහන් තුළින් සිදුවෙනවා. මූලස්ථාන හා රජය එකතුවෙලා එය වළක්වාගැනීම ට කටයුතු නොකළොත් අපේ ධර්මයට ,සංස්කෘතියට කුමක් සිදුවේවි ද කියා සිතාගන්න බැහැ. එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇති බවයි පෙනෙන්නේ.

ස්වාමීන් වහන්සේලාට තනි තනිව තමාගේ අභිමතය පරිදි එසේ කටයුතු කිරීමට ඉඩ නොදිය යුතු බවයි මගේ පෞද්ගලික අදහස. ශතවර්ෂාධික කාලයක් පුරා පුරාවිද්‍යා සාක්ෂි සහිතව බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම පිරිනිවන් පෑම ඉන්දියාව තුළ සිදු වූ බව ඔප්පු කරගෙන තිබෙන අවස්ථාවක ලංකාවේ අසවල් තැන ඉපදුණා කියමින් නිර්භයව කියන්නේ කොහොමද?