Print this Article


මතු පරපුරට දායාද කළ යුතු සිංහල අවුරුදු සිරිත් විරිත්

මතු පරපුරට දායාද කළ යුතු සිංහල අවුරුදු සිරිත් විරිත්

සිංහල අලුත් අවුරුද්ද සිංහලයින්ට සුවිශේෂ වූ උත්සවයකි. බෞද්ධයින් නොවන සිංහල ජාතිකයින් විසින් ද, සෙසු ජාතීන් විසින් ද අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කිරීම ශ්‍රී ලාංකේය වැසියන්ගේ සුවිශේෂ ලක්ෂණයකි. අප්‍රේල් මස හෙවත් බක් මස 13 වන දින හෝ 14 දින හෝ අලුත් අවුරුදු දිනය උදාවේ.

බක් මාසයේ සමරන මෙම උත්සවය අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවැති මහා කලා මංගල්‍යයකි. විවිධ විශ්වාස සිංහල අලුත් අවුරුද්ද හා බැඳී පවතියි. කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර ප්‍රමුඛ ය. ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීමත් සමඟ බෞද්ධාගමික පරිසරයක අලුත් අවුරුදු චාරිත්‍ර වර්ධනය වී ඇත.

අලුත් අවුරුද්ද කියූ පමණින් ලොකු කුඩා සැමගේ සිත්වල අලුත් සිතුවිලි මැවෙයි. ගෙවල් සේදීම, තීන්ත ආලේප කිරීම, කැවුම්, කොකිස්, අලුවා, ආදි නොයෙකුත් කැවිලි වර්ග සැකසීම, කෙසෙල් කැන් වළ දමා ඊට දුම් පිඹමින් ඒවා ඉදවීම, අලුත් අවුරුදු කිරිබත සැකසීම, ගෙමිදුල සහ ගේ අවට පරිසරය පිරිසුදු කර අලංකාර කිරීම, ආච්චි සීයා සහ නෑයින්ගේ ගෙවල්වල නෑගම් යාම, එරබදුමල් පිපීම, කොහාගේ මිහිරි නාදය නිතර ඇසීම, ගමේ කොල්ලන් විසින් අප්‍රේල් මාසයේ ආරම්භයේ සිට ඉඳහිට දමන රතිඤ්ඤා හඬ ආදී නොයෙකුත් සිතුවිලිවලින් අලුත් අවුරුද්ද පිරී යයි.

එහෙත් බෞද්ධ සිංහල සංස්කෘතියක් උරුම කරගත් සිංහල ජනයා අලුත් අවුරුදු සමය ගත කිරීමට නූතනයේ දී මැලිකමක් දක්වති. ඔවුන්ගේ මුවින් නිතර අසන්නට ලැබෙන්නේ අපේ ගෙදර මොකුත් චාරිත්‍ර කරන්නේ නැහැ. අපට කාලෙකින් නිවාඩුවක් ලැබුණේ. ඉතින් අපි නිවාඩුවට නුවරඑළියේ යනවා. සිංගප්පූරු යනවා, ඩුබායි යනවා යනාදි වශයෙන් දක්වමින් ඔවුහු අලුත් අවුරුදු දිනය, විනෝදකාමී නිවාඩු දිනයක් බවට පත් කර ගනිති.

එයින් සිදු වන්නේ දරුවන්ට චාරිත්‍ර ධර්ම, සිංහල සංස්කෘතික උරුමය සහ ආගන්තුක සත්කාර, වැඩිහිටියන්ට ගරු කිරීම ආදිය හුරු නො කිරීමකි. දැනුමින් කොතරම් පොහොසත් වුවත් රටක සංස්කෘතිය, ජාතික අනන්‍යතාව, ජාතික උත්සව, ආගමික හැදියාව ආදියෙන් තොර තැනැත්තා සමාජානුයෝජනය නොවූ ඒක ජීවියෙකි.

එබැවින් සතුට සමඟිය පිරුණු ජීවිතයක් දරුවාට උරුම කර දීමට සෑම සිංහලයකුම සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සහ වාරිත්‍ර විධි ඉටු කිරීම අතිශය වැදගත් ය. ඒ පිළිබඳ සංක්ෂිප්ත විවරණයක් මෙහි අන්තර්ගත වේ.

නව සඳ බැලීම

පරණ අවුරුද්ද ගෙවී ගිය පසු නැවතත් දවස් තුන්සිය හැටපහක් අලුතින් ලැබෙයි. එය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් කුසල් දහම්වල සහ තම ජීවන කටයුතුවල යෙදෙමින් ගත කළ යුතුය. නීරෝගි බව සහ වාසනාව නිරතුරුවම ලබා ගත යුතු ය. එම අපේක්ෂා ඇතිව චිත්ත ශක්තිය වර්ධනය කිරීමට සහ ජීවිතයට නව බලාපොරොත්තුවක් ඇති කිරීමේ අදහසින් නව සඳ“ බැලීමේ චාරිත්‍රය වෙන් වී ඇත.

සැබැවින්ම වර්තමාන ලෝකයේ අවුරුදු තිහෙන් මෙහා ජීවත්වන තරුණ තරුණියන් ඇතුළු අනාගත දරු පරපුර අවුරුද්දකට එක් වතාවක්වත් අහස හෝ සඳ හෝ සිත් සේ නරඹා තිබේ ද? එහි සතු අපමණ වූ සුන්දර බව විඳ තිබේදැයි වරක් නොව දෙවරක් සිතිය යුතු කරුණකි.

මනුෂ්‍ය ලොවක ජීවත්වන බව පවා අමතක කළ යුගයක් බවට නූතනය පත්ව ඇත. එවැනි සමාජයකින් බේරා ගැනීමට අවම වශයෙන් මෙම චාරිත්‍ර හෝ ඉටු කිරීම යහපත් වේ.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

ගැමියන් මෙය ක්‍රියාවට නඟන්නේ විවිධ අයුරිනි. ඇතැම්හු 13 වැනි දින පරණ අවුරුද්දට හිසට තෙල් ගැල් වූ අවසාන දිනය යනුවෙන් සලකමින් ස්නානය කර නැවත අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය එළැඹෙන තෙක් හිසට තෙල් නො දමා සිටිති. ඇතැම්හු 13 වැනි දින වැඩිහිටියන්ට ගරු කිරීමක් සහ සැලකිල්ලක් වශයෙන් තම පවුලේ හෝ ගමේ සිටින වැඩිහිටි සීයා කෙනෙකු හෝ ආච්චි අම්මා කෙනෙකු ඖෂධ වතුරින් ස්නානය කරවා සත්කාර සම්මාන ආදිය සිදු කරති. විශේෂයෙන් ම නැකත් පත්වල සඳහන් වන්නේ ඖෂධ වශයෙන් දිවුල් පත් යුෂ මිශ්‍ර කර සකසා ගත් නානු ගා ස්නානය කිරීම යහපත් බව ය. ආයුෂ වර්ධනය කර ගැනීම සහ පිරිසිදු බව සංකේතවත් කරමින් මෙම චාරිත්‍ර ධර්මය ගොඩ නැඟී ඇති බව පෙනේ.

පවුලක්, ගමක්, නගරයක්, පෙදෙසක්, රටක් ලොවක් සංවර්ධනය කිරීමට නම් මිනිසා නීරෝගි විය යුතුය. පැරුණි සිංහලයෝ නීරෝගී ජාතියක් වූහ. ඔවුන්ගේ චාරිත්‍රවල වටිනාකම එයයි. ක්‍රමයෙන් හොඳම දේ අභාවයට යමින් තිබේ. මෙම චාරිත්‍ර ධර්මය නූතන සමාජයේ ඉතා සීමිත පිරිසක් පමණක් කරන බව පෙනේ.

පුණ්‍ය කාලය

නිවසක ගෘහණිය වන අම්මා අවුරුද්දේ දවස් තුන්සිය හැටපහම දරුවන් සහ ස්වාමියා වෙනුවෙන් වෙහෙස මහන්සි වී ඉවුම් පිහුම් වැඩ සියල්ල සිදු කරයි. ඇයටත්, ළිපටත්, මුළුතැන්ගේ උපකරණවලටත්, මුළුතැන් ගෙටත්, හැළිවලං ආදියටත් නිදහසක් නැත.

අම්මාට නිදහස හිමිවන එකම කාලය පුණ්‍ය කාලය යි. මෙය නොනගතය ලෙස ද හැඳින්වේ. සුබ නැකත් කිසිවක් නොමැති නිසා පුණ්‍ය කටයුතුවල නියැළීම යෝග්‍ය බව

නක්ෂත්‍ර ශාස්ත්‍රයේ නියමයයි. ඒ අනුව පවුලේ සමගිය ඇතිවන අයුරින් සැවොම පන්සලට හෝ කෝවිලට හෝ දේවාලයට ගොස් පුණ්‍ය කටයුතුවල නිරත විය යුතුය. එය

වර්ෂයකින් එළඹෙන එක් අවස්ථාවකි. එබැවින් එයට යොමු විය යුතුය. මෙම චාරිත්‍රය බෞද්ධ සමාජයේ බාහෝ පිරිසක් අනුගමනය කරති.

අලුත් අවුරුදු උදාව

පුණ්‍ය කාලය සන්තෝෂයෙන් ගෙවීමෙන් පසු පළමුවෙන් ම උදාවන්නේ අලුත් අවුරුදු උදාවයි.

අලුත් අවුරුදු උදාවෙන් පසු නව වර්ෂයේ නැකත් යෙදීම් එළඹේ. පළමුවෙන් ම උදාවන්නේ ගිනි මොළවා කිරිබතක් පිස ගැනීමේ චාරිත්‍රයයි. සිංහල සමාජයේ එකම වේලාවකට හැම ගෙදරක ම ලිප පත්තුවන අවස්ථාවක් ලෙස මෙය නම් කළ හැකි ය.

මෙවැනි චාරිත්‍රයක් ලෝකයේ වෙනත් සංස්කෘතියක දැකගත නොහැකි ය. අම්මා, තාත්තා සහ පවුලේ දරුවන් සියලු දෙනා ම එකතු වී නව අවුරුද්දට සූදානම් වන්නේ සමඟියෙන් ගිනි දැල්වීම, නැකත් චාරිත්‍රයට අදාළ සියලු කටයුතුවලට සහයෝගය ලබා දෙමින් ය. දරුවෝ එය හොඳින් ඉගෙන ගනිති. මතු පරපුරට චාරිත්‍ර දායාද කිරීමක් ලෙස ද මෙය දැක්විය හැකි ය.

වැඩ ඇල්ලීම

පැරණි සිංහල ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ කෘෂිකර්මාන්තය යි. ඒ අනුව වැඩ ඇල්ලීමේ චාරිත්‍රයේ දී පැළයක් සිටුවීම, පැළයකට පස් දැමීම, පැළයකට ජලය දැමීම හෝ කුඹුරට යාම වැනි තම ජීවන වෘත්තියට ගැළපෙන යමක් කිරීමට පුරුදුව සිටියේ ය. නූතනයේ දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන අය පොත්පත් කියවීම සිදු කරති. දරුවන්ට පොතක් පෑනක් ගෙන අකුරු ලිවීමට යොමු කරති. සමස්ත ලංකාවාසීන්ම එකම වේලාවේ දී මෙම චාරිත්‍රය සිදු කිරීම විශේෂයකි. ලොව අන් රටක මෙවැනි චාරිත්‍ර ධර්මයක් දැකිය නොහැකි ය.

තවද ගනුදෙනු කිරීම ද අගනා පාඩමක් දරුවන්ට, මව්පියන්ට සහ වැඩිහිටියන්ට කියා දෙයි. පරිත්‍යාගය සහ අත්හැරීමේ ගුණය එයින් පුරුදු කරයි.

සෑම නැකතකටම බුදුදහමේ බලපෑම සිදුව තිබේ. එය සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර විධිවල විශේෂ ලක්ෂණයකි. ආහාර අනුභවය ද එයට තවත් නිදසුනකි. නිවසක ප්‍රධානියා සහ නිවසේ උපයන්නා පියා ය. එහෙත් ඒවා කළමනාකරණය කරමින් දරුවන් රැකබලා ගන්නා තැනැත්තිය මවයි. ඒ දෙදෙනාගේ ආශිර්වාදය ඇතිව දරුවන් ද, ඔවුන් දෙදෙනා ද පෙර ඇති වූ ආරවුල් තරහ ආදිය අමතක කරති. සිංහල අලුත් අවුරුද්ද කරුණාව, දයාව, පරිත්‍යාගයආදිය මුසු වූ කලා මංගල්‍යයකි.

හිස තෙල් ගෑම

සිංහල අලුත් අවුරුදු නැකත්වලින් වර්තමානයේ ක්‍රියාවට නංවන තවත් ප්‍රබල නැකතක් වන්නේ හිසතෙල් ගෑමේ මංගල්‍යයයි. මෙය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවන්නෙකි. දිවයිනේ ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථානයක් හෝ බෞද්ධ පූජනීය ස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් සිදුකරයි. රටේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා එම උත්සවවලට සහභාගිවීම චාරිත්‍රයකි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල අවසන් නැකත රැකී රක්ෂා සදහා පිටත්ව යෑමයි. අතීතයේ ප්‍රබල ලෙස සැලකූ නැකතක් වූ මෙය මෙකල තැකීමක් නො කරයි. එහෙත් ගැමියන්ගෙන් ඇතැම්හු අදටත් මෙම නැකත් චාරිත්‍රය නිවැරැදිව ම ක්‍රියාවට නඟති. වසරක් පුරා වෙහෙස වී උපයා ගත් ධාන්‍ය ආදියෙන් ආගමික චාරිත්‍ර සහ දෙවියන් පුදා වෙහෙස නිවා ගැනීමෙන් පසු නැවතත් ගොවියා තමන්ගේ සුපුරුදු ජීවන වෘත්තියට පිවිසීම මෙහි දී සිදු කරයි. නාගරික සමාජයක් නූතනයේ ක්‍රියාත්මක නිසා රාජකාරියට අනුව වැඩකළ යුතු බැවින් මෙම නැකත නාගරික සමාජයේ සැලකිල්ලකට භාජනය නොවෙයි.

මෙම නැකත් චාරිත්‍ර හැරුණු විට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂයෙන්ම සූදානම් වන උත්සව සහ ක්‍රීඩා බොහෝ ප්‍රමාණයක් සිංහල සමාජයේ දක්නට ඇත. ඒ අතර පංච දැමීම, කැට ගැසීම, එළුවන් කෑම, තාච්චි පැනීම, ඔංචිලි පැදීම, හැංගිමුත්තම් කිරීම, ලීහරඹ, කොට්ටපොර සහ විවිධ ක්‍රීඩා ඇතුළත් අවුරුදු උත්සව, රබන් ගැසීම ආදිය ප්‍රධාන ය. නූතන සමාජය විද්‍යුත් තාක්ෂණය සමග මුසුවීම නිසා මේ කිසිදු ක්‍රීඩාවක් අතීතයේ තිබුණු අයුරින් අනාගතයේ දී සුරකී තිබේද යන්න පිළිබඳව දැනටමත් ප්‍රශ්නාර්ථයක් මතු කර ඇත. එබැවින් හැකි උපරිමයෙන්ම සිංහල සංස්කෘතික මහා මංගල්‍යයේ දායාද අනාගත පරපුරට දායාද කරමින් දැනුමෙන්, ගුණයෙන් සහ සංස්කෘතිකමාමකත්වයෙන් යුක්ත පිරිසක් සැකසීමට කටයුතු කළ යුතු ය. එය වැඩිහිටියන් වන ඔබ සැමගේ යුතුකමකි.