Print this Article


බොදු සිරිතෙන් සුපෝෂිත සිංහල අලුත් අවුරුද්ද

බොදු සිරිතෙන් සුපෝෂිත සිංහල අලුත් අවුරුද්ද

මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාවේ එතෙක් පැවති වෛදික චාරිත්‍ර බුදු දහමට අනුව සකස් වුණි. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ජීවිත සරුසාරවත් කරගැනීම බොදු සිරිත් විරිත් තුළින් අපේක්ෂිත අරමුණයි. එතුළින් ගම හා පන්සල අතර වූ සබඳතාවය ශක්තිමත් විය.

අලුත් අවුරුදු උදාවට ප්‍රථම ගමේ සෑම නිවසකින්ම පාහේ කුළුබඩු ආදිය එකතු කොට පන්සල වෙත භාරදීම මෙන්ම සුවිශේෂී කැවිලි වර්ගයක් සාදා ඉන් කොටසක් බුද්ධ පූජාව ලෙස වෙන්කොට පන්සලේ හාමුදුරුවරුන් වෙත ද කොටසක් යවා පන්සලෙන් ගමට ආශිර්වාදය ලබාගැනීම වැනි චාරිත්‍ර එකී සම්බන්ධතාවයෙහි සරල උදාහරණයක් ප්‍රකට කරන්නකි.

නියමිත වෙලාවකට පවුලේ සියලු දෙනාම එකට එකතු වීමත්, රටේ සියල්ලන්ම එකට එකතුව කටයුතු කිරීමත් තුළ ගොඩනැඟෙනුයේ සමඟියයි. එය ඕනෑම සමාජයක ප්‍රගමනයට ඉවහල් වන්නකි.

භික්ෂු සමාජයේ වුව ද වටිනාකම පවතිනුයේ සමගිය මත ය. බුදුන් දවස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ දී ධර්මධර හා විනයධර භික්ෂූන් අතර ඇතිවූ මත ගැටුමෙන් දෙකඩ වූ සංඝයාගෙන් වෙන්වීමට බුදුරජාණන් වහන්සේ පවා කටයුතු කළේ අසමගිය තුළින් උදාර සමාජයක් බිහිකිරීමේ හැකියාවක් නොමැති බැවිනි.

පන්සලක භික්ෂූන් වහන්සේලා දන් වැළ¼දීම, මිදුල් ඇමදීම, වනපොත් කිරීම හා බුදුන් වැඳීම ආදී වත්පිළිවෙත් සිදු කරනුයේ සියලු භික්ෂූන්ගේ එකමුතුවෙන් එකම වේලාවක දී ය. චූල ගෝසිංග සූත්‍රයේ දී බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා කිරි හා දිය මෙන් එකට එකතුව, එකිනෙකා කෙරෙහි මෛත්‍රී සහගත ආකල්පවලින් යුක්තව කටයුතු කළයුතු මෙන් දක්වනුයේ ඒතරමට ම සමඟි සම්පන්න බව වටිනා බැවිනි. තනි තනිව නොව සියල්ලන්ගේ ම ශක්තියේ බලය තුළින් දැලක පැටලුණු වටු කුරුලු රංචුව ඉන් මිදෙන අයුරු වට්ටක ජාතකය තුළින් පැහැදිලි වේ. එය සමගි සම්පන්න බව හුදු පන්සලක හෝ නිවසක දියුණුවට පමණක් වූවක් නොව මුලු රටේම සියලු පුරවැසියන්ගේ දියුණුව පිණිස පැවතිය යුක්තක් බව ද පෙන්වන්නකි.

ඒ අනුව කටයුත්තක සුබපල ලැබෙනුයේ නැකැත් වේලාව අනුව නොව, එකී වේලාව අනුව සියලු දෙනාම එකට එකමුතුව කටයුතු කිරීමේ සමගි සම්පන්න භාවයෙනි.

නැකැත් නොමැති අවස්ථාව නොනගතය නමින් දැක් වූ අතර, එය පුණ්‍ය කාලය ලෙස අරුත් ගැන්වීමෙන් පැහැදිලි වනුයේ ආධ්‍යාත්මික ශක්තියේ බලයෙන් ජීවිතය සුවපත් කර ගැනීම කෙරෙහි පන්සලෙන් ලැබෙන ආශිර්වාදයයි.

නොනගතය යනු දෙවියන් මිනිසුන් දෙස නොබලන අවස්ථාව ලෙසත්, එකී කාලය තුළ සිදුවිය හැකි විපත්තීන්ගෙන් ආරක්ෂා වීම පිණිස පුණ්‍ය ක්‍රියාවන් සිදුකළයුතු බවත් ජනවහරේ පිළිගැනීමයි. කෙසේවුව ද, අවුරුදු උදාවට ප්‍රථම පන්සල වෙත ගොස් බුද්ධ වන්දනාව සිදුකොට ගමේ පන්සලේ හාමුදුරුවරුන්ගේ ආශිර්වාදය ද ලබාගැනීමට ශ්‍රී ලාංකේය ජනයා හුරුපුරුදු වී සිටිනුයේ එබැවිනි.

සිල්වතුන් දැකීම, ධර්මයෙහි හැසිරීම හා කෙලෙස් තැවීම පිණිස වෙහෙසීම යන ශ්‍රද්ධාවන්තයන්ගේ ප්‍රධාන ලක්ෂණත්‍රය ප්‍රකට වන්නා වූ අවස්ථාව ද මෙයයි.

අලුත් අවුරුදු උදාව සමඟ පවුලේ සියලු සාමාජිකයන් එකට එකතුව එකම වෙලාවක කිරිබතක් පිළියෙළ කොට අනුභව කිරීම ආදිය ද සිදු කරනුයේ බුද්ධ පූජාව නම් වූ ලොව පෞද්ගලිකව යමෙකුට පූජාවක් කොට වැඩිම ආනිසංස ප්‍රමාණයක් ලැබිය හැකි පූජාව වන බුදුන් වහන්සේ කෙරෙහි බුද්ධ පූජාව පිදීමේ පුණ්‍ය ශක්තිය ද රැස්කර ගනිමිනි.

එය සුජාතාව වැනි උපාසිකාවන් බුදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේට කිරිබත් පිදූ අතීත පුවත් සිහිගන්වන්නකි.

එකල වුව ද, සුබ කටයුත්තක දී කිරිබත් අනුභව කිරීම චාරිත්‍රයක් විය. ඒ තුළින් පාරිශුද්ධත්වය සහ සශ්‍රීකත්වය සංකේතවත් වුණි. ශ්‍රී ලාංකේය ජනයා ද අලුත් අවුරුද්දේ කිරිබතක් පිස අනුභව කරනුයේ අලුත් අවුරුද්ද සරුසාර කරගැනීමේ අරමුණෙනි.

මව්පිය ගුරුවර හා වැඩිහිටි හැමදෙනාට ම ගරු කිරීම ප්‍රබුද්ධ සමාජයක උත්තරීතර ගුණාංගයකි. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි තම තමන්ට පැවරෙන යුතුකම් රාශියකි. එම යුතුකම් ඉටුකිරීමේ ප්‍රමුඛ ආදර්ශය අලුත් අවුරුද්දේ අප වෙත ලැබෙනුයේ බුලත් අතක් දී සියලු මව්පිය හා වැඩිහිටියන් පිදීමේ චාරිත්‍රයෙනි.

ඒ අයුරින් පවුල තුළ සමගිය ගොඩ නැගීමෙන් අනතුරුව අසල්වාසීන් වෙත ගොස් පරණ හිත් අමනාපකම් අමතක කොට මිතුරු බව පැතිරීම ඊළග අවස්ථාවයි. බෞද්ධ සමාජයක වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හා පළිගැනීම ආදී අසත්පුරුෂ ලක්ෂණ පැවතීම උචිත නොවේ. අවුරුද්ද පුරාවට ම දුර්ජන ක්‍රියාවන් කොට එකම දවසක පමණක් මිත්‍රත්වයෙන් කටයුතු කිරීම නොව පෙර වැරදි හා අඩුපාඩු සකසාගෙන වැඩිහිටි, ගුරුවර හා මව්පියන්ට ගරු කරන, ආදර්ශවත්, මිත්‍රශීලී හා සමඟි සම්පන්න බවින් යුතු ජීවිත ගොඩනඟා ගැනීමට උත්සුක වීම එහි පරමාර්ථය විය යුතු ය.

උතුම්ම ධනය ලෙස බුදු දහමෙහි දක්වන්නා වූ සතුට මෙන්ම උතුම්ම ඥාතියා ලෙස දක්වන ජීවත්වන සමාජයේ එකිනෙකා පිළිබඳව වන විශ්වාසය ද තහවුරු කරගැනීම මෙහි ප්‍රායෝගික උපයෝගීතාවය වේ.

බුදුන් වහන්සේගේ අවවාදය නම් කෙලෙස් නම් වූ ගස් කපා දැමීම විනා ගහ-කොළ කපා දැමීම නොවේ. බුදු දහමෙහි දැක්වෙන මෛත්‍රිය තුළින් බලාපොරොත්තු වනුයේ හුදු සත්ව ප්‍රජාවට පමණක් මෛත්‍රී කිරීම නොව ගහකොළ හා ස්වභාව ධර්මය කෙරෙහි ද මෛත්‍රිය පැතිරීමයි(සබ්බපාණභූත හිතානුකම්පී).

අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකත් අවස්ථාවේදී පැළයක් රෝපණය කිරීමෙන් මෙන්ම ගනුදෙනු කිරීමේ නැකතේ දී ළිඳ සමඟ පවා එය සිදු කරනුයේ තමාට ස්වභාව ධර්මයෙන් ලැබෙන දායාදයන්ට පෙරළා ප්‍රත්‍යුපකාර දැක්වීමේ හා පරිසරයට ආදරය කිරීමේ උදාර ගුණ ප්‍රකට කරමිනි.

තවද, නානු ගා ස්නානය කිරීම ද අවුරුදු චාරිත්‍රයකි. හිසට මෙන්ම පයට ද ඖෂධ පැළෑටි තබා හිසතෙල් ගා නෑමෙන් මිනිසා හා පරිසරය අතර සම්බන්ධ කිරීමක් ද ප්‍රකට වේ. ”ආරෝග්‍ය පරමා ලාභා” යන බුදු වදනට අනුව උතුම්ම ලාභය වන නිරෝගීකම සලසා ගැනීමේ අරමුණින් යුක්තව මෙය සිදුකෙරේ.

එදිනට ගමේ පන්සල වෙත ගොස් පන්සිල් සමාදන්ව, පිරිත් හඬ මධ්‍යයේ හිසතෙල් ගෑම චාරිත්‍රානුකූලව සිදුවන්නකි. කායික මෙන්ම මානසික නිරෝගීතාවය ද සලසා ගැනීම එහි ප්‍රමුඛාභිලාශයයි. මේ අයුරින් අලුත් අවුරුදු උදාවට ප්‍රථමව මෙන්ම අවුරුදු උදාව සමඟ ද රටේ ජනතාව ආශිර්වාදය සලසා ගනුයේ පන්සල කේන්ද්‍රකර ගනිමිනි.

ප්‍රධාන චාරිත්‍ර කිහිපයක වටිනාකම් හඳුනා ගැනීමෙන් අවබෝධ කළයුතු වන්නේ සිංහල අලුත් අවුරුද්ද තුළ ඉස්මතු වන බෞද්ධ සිරිත් විරිත් වේ. ගුණ යහපත්, හැදියාවන්ගෙන් යුක්තව, පංචසීලය ආරක්ෂා කරන දැහැමි සමාජයකට මඟ පෙන්වන්නා වූ උක්ත සිරිත් තුළින් ජීවිත පෝෂණය කරගනිමින් අවුරුද්ද පමණක් අලුත් නොවූ ජීවිත ද අලුත් වූ අවුරුද්දක් බවට පත්කර ගැනීම අප සැමගේ ප්‍රාර්ථනාව විය යුතු ය. එවිට ලබන්නා වූ අවුරුද්ද සැබවින්ම සුබ වූ අලුත් අවුරුද්දක් බවට පත්වනු නොඅනුමාන ය.