[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු දහමෙහි සහනය පතන භෞතික දියුණුවේ අසහනය

බුදු දහමෙහි සහනය පතන භෞතික දියුණුවේ අසහනය

බුදු දහමට අනුව දියුණුව දෙයාකාර ය. ඒ බාහිර හා ආධ්‍යාත්මික වශයෙනි. මේ දෙපැත්තට ම බුදු දහමේ ආශිර්වාදය ලැබේ. භෞතික දියුණුව බුදුදහම පිළිගෙන ඇත්තේ ගිහියන් සම්බන්ධයෙනි.

එහෙත් ආධ්‍යාත්මික දියුණුවෙන් තොර භෞතික දියුණුව බුදු දහම අනුමත කරන්නේ නැත. හේතුව එවන් පුද්ගලයා භෞතික දියුණුවෙහි අතරමං වන බැවිනි. මේ නිසා බුදු දහම භෞතික දියුණුවට සදාචාර සීමා මායිම් පනවා ඇත. ඒ සියලු පැනවීම් වචන දෙකක අන්තර්ගත වේ. එනම් දැහැමෙන් හා සෙමෙන් ය. මේ වචන දෙක තුළ ධන සම්පත් ඉපයීම, සංරක්ෂණය හා පරිභෝජනය යන අංශ හා සම්බන්ධ බෞද්ධ සදාචාරාත්මක සකලාර්ථයන් ම ඇතුළත් ය. මෙහි දැහැමෙන් යනු දැහැමි බවයි. සෙමෙන් යනු සාමකාමී බවයි. ඒ අනුව බෞද්ධ ආර්ථිකයෙහි සමස්ත දර්ශනය හා භාවිතය ම වැකි දෙකකට ගොනු කර මෙසේ දැක්විය හැකි ය.

ගුණයෙන් ධනවත් වන්න

එයින් අර්ථවත් වන්නේ ධනවත්කමේ හා ගුණවත්කමේ සමබරතාවයි. එය ද සමජීවිකතාවකි. ඇවතුම් පැවතුම්, ගුණ යහපත්කම්, කල් ක්‍රියාව අනුව බුදුදහම පුද්ගල ප්‍රභේද රාශියක් දක්වා ඇත. ඉන් එක් ප්‍රභේදයක් අපට මෙතැනට සම්බන්ධ කර ගත හැකි ය. අංගුත්තර නිකායේ, තික නිපාතයේ එන එම පුද්ගල වර්ග තුන නම්, අන්ධ පුද්ගලයා, ඒක චක්ඛු පුද්ගලයා, සහ ද්වී චක්ඛු පුද්ගලයා ය.

බාහිර ආධ්‍යාත්මික දෙඅංශයෙන් ම පිරිහුණු පුද්ගලයා අන්ධයකු සේ ය. භෞතික දියුණුව ගැන පමණක් සිතන, ආධ්‍යාත්මය පිරිහුණු පුද්ගලයා ඒක චක්ඛු සදිසි ය.” ඒක චක්ඛු” යනු එක් ඇසක් පමණක් පෙනෙන තැනැත්තා හෙවත් කණා ය. භෞතික හා ආධ්‍යාත්මික අංශද්වයේ ම අභිවෘද්ධියට පත් වූ පුද්ගලයා “ද්වි චක්ඛු” වැනි ය. “ද්විචක්ඛු” යනු ඇස් දෙක ම මැනවින් පෙනෙන තැනැත්තා ය.

අද බොහෝ අය භෞතික දියුණුවේ ම ඇලුණෝ වෙති. එය ඉතා භයානක අනුසෝතගාමී ප්‍රවාහයකි. භෞතික දියුණුව මිනිසාට අත්‍යවශ්‍ය බව බුදුදහම අනුමත කර ඇති බව ඉහත කීවෙමි. එහෙත් එයට බුදු දහම සදාචාර සීමා මායිම් පනවා තිබේ. නොකළ යුතු වෙළඳාම්, කූට උපක්‍රම, සාහසික සාපරාධී ක්‍රම පෙන්වා ඒවා නොකළ යුතු බව අවධාරණය කර ඇත. “බාහාබල පරිචිතේහි සේදා වක්ඛිත්තේහි, ධම්මේහි ධම්ම ලද්දේහ, බඹරස්සේව ඉරියතෝ, වට්මිකෝවූප චීයතී” වැනි යෙදුම්වලින් ඒ හා සම්බන්ධ ව බුදු දහමේ අවධාරණාර්ථය මැනවින් පැහැදිලි ය.

පරාජිත මනස

හොඳින් හෝ නරකින් හෝ භෞතික දියුණුවේ කූටප්‍රාප්තිය තුළ බොහෝ මිනිසුන් නතර වන්නේ ආතතිය සමඟ ය. හරි මාර්ගවලින් වුව ද ධනය අතර ම, ඒ තුළ ම, පමණක් ඇලී ගැලී, එය ම ජීවිතයේ පරමාර්ථය ලෙස සිතා ක්‍රියා කරන බොහෝ දෙනෙකු ළඟ අවසානයේ ඉතිරි වන්නේ විකසිත වූ ප්‍රබුද්ධ මානසිකත්වයක් නොව, මිලාන වූ, පරාජිත වූ මානසිකත්වයකි. එසේ වූයේ, අති ධාවනයෙන් ඔහු ධන සම්පත් පසු පස හඹා ගොස්, එය පසු කර නතර ව ඇතත්, ඒ ගමනේ දී ඔහුගේ ආධ්‍යාත්මික ජීවිතය මුළුමනින් ම අකර්මණ්‍ය වීම නිසා ය. ධනය අවයීම සහ ජීවිතය වැයවීම ධනෝපායනය සඳහා ඔහුගේ ජීවිතය බොහෝ සේ වැය වී ඇත. තව ඉතිරි ව ඇත්තේ ස්වල්පයකි. දැන් ඔහු ළඟ ධන සම්පත්තිය ඇත. එනම් අය ඇත. එහෙත් ජීවිතය වැය වී ඇත. මේ අය වැය අතර පිරවිය නොහැකි විශාල පරතරයක්, හිස් බවක්, ශූන්‍යත්වයක් පවතින බව දැන් ඔහුට ඉතා තියුණුව, ප්‍රබලව දැනෙන්නට පටන් ගෙන ඇත.

භෞතික දියුණුවේ ආතතිය

බුදු දහමට අනුව අප ධනය ඉපයිය යුත්තේ (දත්වා ච භුත්වා ච) තම ජීවිත පැවැත්ම සඳහා මෙන් ම අන් ජීවිත පැවැත්මට උපකාරවත් වීම ද සඳහා ය. ඇතැමෙකු කන්නේ ද නැත. දෙන්නේ ද නැත. සමහරු කති, එහෙත් නොදෙති. තවත් සමහරු කති, එමෙන්ම දෙති. මෙහි අවසානයට කී පුද්ගලයා භෞතික පොහොසතෙකි. ඔහුගේ ජීවිත ගිණුමෙහි ආධ්‍යාත්මික පොලියක් ඇත. ඒ නිසා ඔහුගෙන් වැය වූ ජීවිතයෙහි ශේෂව ඇති අයක් ද පවතී. ඒ ආධ්‍යාත්මික සන්තුෂ්ටියයි. මෙහි සඳහන් අන් දෙපිරිසට ම ආධ්‍යාත්මික “අය” නැත. පොලිය නැත. ඒ නිසා ම ඔවුන්ගේ එම “ගිණුම” ශූන්‍ය ය, හිස් ය. ඔවුහු වනාහි ආධ්‍යාත්මික දිළින්දෝ ය. මානසික පීඩිතයෝ ය. එය භෞතික දියුණුවේ ආතතියයි.

මින් එහා හිස්බව ඔවුන්ට යා යුතු දුරක් නැත. භෞතික ධන සම්පත් මෙන් ම සැප සම්පත් සොයා ඒ පසු පස ම ලුහුබැඳ ගිය මිනිසා පස්කම් සැපතෙහි කූටප්‍රාප්තියට පත් වේ. ඉන් එහා ඔවුන්ට විඳිය යුත්තක් ඉතිරි ව නැත. ඔහු ද ආපසු හැරී නතර වන්නේ මානසික ඌනතාව සමඟ ය. කෙතරම් සැප වින්දත්, අවසානයේ මානසික හිස් බවක්, අසතුටක්, අපරිපූර්ණත්වයක් සහිත ඉච්ඡාභංගත්වයේ පීඩිත කුණාටුවට අද බොහෝ දෙනෙක් හසුවෙති. එය පස්කම් සැපතෙහි හා ධන සම්පත් ආදියෙහි ගැලුණු උම්මත්තකභාවය නිසා ඇතිවන මානසික අවපාතික තත්ත්වයකි.

තමන් මෙතෙක් පැමිණි ගමනෙහි හමුවීම කොහේ කොතැනක මොනයම්ම හෝ අඩුවක්, අතපසුවීමක්, නොසැලකිල්ලක් සිදුව ඇති බව ඔහුට වැටහේ. අවසානයේ ඔවුහු ජීවිතයේ එම අඩුව පුරවාලන්නට ආධ්‍යාත්මික හා මානසික සුව සහනය පතා විවිධ ක්‍රමවේදයන්හි නියැළෙති. මෙවැනි බොහෝ අය බුදු දහම සොයා යති. එහි “ඒහිපස්සික” නම් විශේෂ ගුණයට ගරු කරති. විමසීමට, නිදහසේ සිතීමට, නව ඥාන මාර්ග, හා මානසික සහනයේ ප්‍රබෝධජනක පිළිවෙත්හි පවත්නා ප්‍රායෝගික භාවිතය ආදී ලක්ෂණයන් කෙරෙහි ඔවුහු ආකර්ෂණය වෙති. එහි නතර වෙති, සොයති, බලති, විමසති, යෙදෙති. ඔවුන්ගෙන් මෙතෙක් ගිලිහී ගිය දෙය, සොයා ආ දෙය, එහි තිබී ඔවුන්ට හමු වේ.

  මැදින් අව අටවක 

අප්‍රේල් 04 ඉරිදා පූර්වභාග 04. 12 අව අටවක ලබා. 05 සඳුදා පූර්වභාග 02.59 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]