Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

පෙදරේරු තාත්තා

කුඹල් ගෙට පෙම් බැඳ
මැටි කඩා හුණු ගල් ද දියකර
වන කපා මුඩු බිම් ද සොහොනක
බයිසිකල් පැද දුවන ගමනක

උදේ වෙහෙසී සවස තෙත්වී
දෙපා පිරිමැද ගෙට ඇදෙද්දී
පාළු ගෙයි අතු සෙවිලි වහලෙන්
අහසේ තරු කැට අත වනාලයි

එදා නෑවිත් සිටි දනෝ
අද ඔබේ මැදුරේ රැයේ
කතා සාමීචියක යෙදිලා
අහන්නකො උන් ඇයිද කියලා

පුරුදු ලඹ කැට බිම දමාලා
ඔට්ටු පෑ ඒ ලීය අතහැර
හමට නුපුරුදු පුළුන් රෙද්දක
අත බැඳන් ඉන්නේ රැයේ

සිතට සීත ද ගතට වෙහෙස ද
පැන් කළෙන් පැන් ගෙනත් දෙන්න ද
ගෙදර මුරකරුවන් යවන්න ද
පිළිතුරක් මට දෙනු මැනේ

ඇයිද නිහඬ ව තාත්තේ........?


මැදින් පෝ දා

විසි දහසක් සඟ රුවන පිරිවරා
මැදින් පොහෝදා යන ගමනයි
රජගහනුවරින් ඇරඹෙන ගමනේ
ලොවට සෙතක් වන පිය නැඟුමයි

කිඹුල්වත සොයා යනෙන ගමන මේ
දම් සෙත පතුරන මිහිරාවයි
නෑ සිය සැම දෙන බුදු බණ අහලා
සසර ගමන නවතනු නියතයි


කැලණි පුද බිම

ලොව්තුරු බුදු සමිඳු පා පියුම් තැබූ
දෙවියන් බඹුන් පිදූ
දොහොත් නඟා වඳිමු
කැලණි පුද බිම

දෙසවන් වැටෙන පිරිත් හඬ
තෙල් මල් සුවඳ දසතම පැතිරෙන
දොහොත් නඟා වඳිමු
කැලණි පුද බිම

සුළඟට ලෙලදෙන බෝපත් සෙවණයි
ශ්වේත වර්ණ මහ සෑයයි
දොහොත් නඟා වඳිමු
කැලණි පුද බිම

හමනා සිල් සුවඳ මනරම්
දෙව්ලොව විසිතුරු මවයි නම්
බුදු සමිඳු වැඩ සිටි පුද බිමේ
දොහොත් නඟා වඳිමු
කැලණි පුද බිම


ආදරණීය අම්මා

බුදු ගුණ අසා පින් දම් කළේ
බුදු දහමට අනුවයි ජීවත් වුණේ
අද නෑ මගේ මෑණියන්
ලෝ දහම එයයි අම්මා අවසන් ගමන් ගියේ

කොයිකා අතරත් සමගි දාමයෙන්
මුළු ගමට ම ආදර්ශයක් වුණේ
බුදු මඟ ගිය ඇය දුන් ඔවදන් සැම
ඉතිරිව ඇත මතකයෙහි මගේ


හිත ගැන

දුර ගමන් යන්නේ – තනිවමයි හැසිරෙන්නේ
කයක් නො දරන්නේ – ගුහාවක සැතපෙන්නේ

හිතුන හිතුන තැන දුව පනිමින්
ඉඳහිට තැන තැන නතර වෙමින්
දියෙන් ගොඩ දැමූ මසෙකුට
අතු අග පනිනා වානරයකු හට
උපමා කරනා මේ සිත
යමෙක් හික්මවා ගතහොත්
එතෙම මරණය ජය ගත්තෙකි

පබසර වූ මේ සිත – හික්ම වූ අප බුදු පියා
තිලොවටම අග බුදු පදවි ලැබ
දෙසා වදහළ සේක හිත ගැන


පැතුම

සිල්වත් පින්වතුන් ලක්බිම ඉපදේවා
දුසිල්වතුන් සුව පත් සිත් ඇතිවේවා
ගුණ නැණ දනන් නිති මෙලොවට බිහිවේවා
සෙනසුන මගේ සැම තැන ලොව බැබළේවා


ජාති දුක

ඉපදී මැරී භව කතරේ සැරි සැරුම
ජාති දුක්ඛ වේ හැම සත හට උරුම
බිහිවන විටම කොයි කවුරුත් එය දැරුම
බැහැ නවතන්න බුදු හිමි පැවසූ සේ ම


සිතන්නට පෙර පනින අයට

වෛර ක්‍රෝධය පිරුණු හිත්වල මෙත් කරුණා පහළ වේවා
මෝහයෙන් ඇස් අන්ධ සැමටම නිති නිවැරැදි මඟ පෙනේවා
යතාර්ථයට සැලෙන සිතට උපේක්ෂාව පහළ වේවා
ඉරිසියාව පිරි හිත්වල මුදිතා ගුණ ඉපදේවා

අනුන් වැරදි දකින ඇසට තම වැරදි ම පෙනේවා
චරිත කතා ලියන අයට තම චරිතය පෙනේවා
තණ්හාවෙන් අන්ධ සිතට අනියත බව පෙනේවා
කළු වලාවෙ අඳුරු ලොවට රිදී ඉරක් පෙනේවා

අඳුරු ලොවට සාප නොකර එළිය පහන් දැල්වේවා
අමාවකට එළිය පහන් හැමදාක ම දැල්වේවා
සිතන්න පෙර පනින අයට තම වතගොත දැනේවා
මල් සුවඳින් සපිරි ලොවක මෙත් සිහිලැල් සැලේවා


මලක වරුණ

සුදු නෙළුමක් සොඬෙහි තබා මව් කුස පිලිසිඳුණා
බෝසත් කුමරුන් මනුලොව උත්පත්තිය ලබනා
සත් පියුමන් ඒ මොහොතෙම පොළොවෙන් පැන නැඟුණා
බෝසත් සිරිපා පිළිගෙන සත් පියුමන් පිපුණා

සියපත් මල් සුවඳ එදා තුන් ලෝකෙට දැනුණා
ගොහොරු මඩේ මඩ නොගෑවී දිය මතු පිට පිපුණා
සුදු නෙළුමට පැන් ඉහලා බුදු සමිඳුට පිදෙනා
මනු ලෝකෙට උතුම් මලකි සුවඳ පද්ම සොබනා

ශ්‍රී දළදා සමිදුන් හට සුදු නෙළුමන් පිදෙනා
සමන් ගිරේ සිරිපා මුල බැතිමත් සැම පුදනා
අනුරාපුර බෝ සමිඳුන් සැම කල්හිම පිදෙනා
සුවඳ නෙළුම් බුදු සමිඳුට සැදැහැ සිතින් පිදෙනා


ජාති දුක

ඉපදී මැරී භව කතරේ සැරි සැරුම
ජාති දුක්ඛ වේ හැම සත හට උරුම
බිහිවන විටම කොයි කවුරුත් එය දැරුම
බැහැ නවතන්න බුදු හිමි පැවසූ සේ ම


සංස්කරණය - දීපා පෙරේරා