Print this Article


අටුවා කතාවලින් කියැවෙන ඉපැරැණි ලක්දිව ධර්ම නීතිය

අටුවා කතාවලින් කියැවෙන ඉපැරැණි ලක්දිව ධර්ම නීතිය

"මහාචේතිය මලුවේ පන්ති පැවැත්වුණි. ඊට භික්‍ෂූ භික්‍ෂුණී දෙපිරිස ම සහභාගී වූහ. බුදුගුණ ලියූ පොතක් (මුටිඨිපොත්ථක) ඔවුන්ගේ අත් බෑගයේ නිතර ම තිබුණි. නරක සිතුවිල්ලක් ඇති වුවහොත් කියවීම සඳහා එය භාවිත විය. "

ශ්‍රී ලංකාවේ රජවරුන් ගැන පමණක් නොව පීතමල්ල නම් විදේශීය රජකු ගැන ද අටුවාවල සඳහන් වේ. ඔහු බුදුදහම ගැන අසා ලංකාවට පැමිණ මහාවිහාරයේ පැවිදි විය.

ලංකාවේ රජවරුන් බොහෝ දෙනෙකුට දමිළ බිසෝවරු සිටි බව අටුවාවල සඳහන් වීම වැදගත් අධ්‍යයනයකට තුඩු දෙන්නකි. අටුවාවල සඳහන් කරුණු මහාවංශාගත කරුණු හා සංසන්දනය ඵලදායී ඉතිහාසයක් ප්‍රතිනිර්මාණය කිරීමට ද ඉතා ප්‍රයෝජනවත් වේ.

පැරණි ශ්‍රී ලංකාවේ ආගම මුල් කරගත් අධ්‍යාපනයක් පැවතුණි. අධ්‍යාපනික මධ්‍යස්ථාන වශයෙන් මහාවිහාරය, අභයගිරිය, සෑගිරිය, සිතුල්පව්ව, දක්ඛිණපබ්බත, හත්ථිකුච්ඡිගිරිය හා දීඝවාපිය ආදි තැන් ප්‍රසිද්ධව පැවතුණි. මෙයිනුදු මහා විහාරයම ප්‍රමුඛ වූ බව සිතීමට බොහෝ සාධක ඇත. එහි උගත් යතිවරු බොහෝ වූහ. එසේම පැරණි ලංකාවේ අධ්‍යාපනය මුදලට යට නොවී පැවති බව කිව යුතු ය.

විශේෂයෙන් ආගමික අධ්‍යාපනයේ අරමුණ එයම විය. එනම් මූල්‍යමය අපේක්ෂාවකින් තොරව ජනතා සුභසාධනය සිදු කිරීමයි. “තුම්හෙ පන න අත්ථගවෙසකා, ගච්ඡථ මහාවිහාරෙ පගුණබ්‍යඤ්ජනකානං භික්ඛූනං සන්තිකෙ ඛ්‍යඤ්ජනං සොධෙථ” යනුවෙන් පාඨයක් අටුවාවෙහි හමුවේ.

ආචාර්යවරුන් විසින් ශිෂ්‍යයන්ට පැවසූ මෙම ප්‍රකාශයෙහි තේරුම ‘ඔබලා මුදල් සොයන්නෝ නොවෙති. යවු, මහාවිහාරයෙහි උගත් භික්ෂූන් සමීපයෙහි ධර්ම විනය හදාරවු’ යන්නයි. මෙයින් අදහස් කෙරෙන්නේ ධර්ම සාහිත්‍යයට වාණිජමය පදනමක් නොවූ බව ම නොවේ. අද මෙන්ම ධර්මයට මුවාවෙන් මුදල් ඉපයීමට වෑයම් කළෝ එකල ද වූහ. එහෙත් ඊට අනුබලයක් නොවීය. “එවං හි පරියාපුණතො බුද්ධවචනං අපරියාපුණිත්වා නිද්දොක්කමනං වරතරං” යනුවෙන් බුද්ධ වචනය මුදල් ආශාවෙන් ධර්මය හැදෑරීමට වඩා නිදිවැදීම යහපත් බව එයින් දක්වා ඇත.

මේ නිසා පැරණි ශ්‍රී ලාංකේය අධ්‍යාපනය තුළින් විශිෂ්ට ගණයේ පඬිවරු බිහි වූහ. ඔවුහු ලංකාවේ අධ්‍යාපනය පමණක් නොව ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්ෂේත්‍ර ද දියුණු කිරීමට අවශ්‍ය ඥානය සැපයූහ.

මහාචේතිය මලුවේ පන්ති පැවැත්වුණි. ඊට භික්‍ෂූ භික්‍ෂුණී දෙපිරිස ම සහභාගී වූහ. බුදුගුණ ලියූ පොතක් (මුටිඨිපොත්ථක) ඔවුන්ගේ අත් බෑගයේ නිතර ම තිබුණි. නරක සිතුවිල්ලක් ඇති වුවහොත් කියවීම සඳහා එය භාවිත විය. ජනකවි සිංහල සාහිත්‍යයේ සිත්ගත් අංගයකි. පැල් රකින, ගොයම් කපන, ගමන් යන අයගේ වෙහෙස දුරලීමට එය භාවිත වේ. සිංහල ජනකවියේ ආරම්භය සොයන කෙනෙකුට සුත්තනිපාතයේ සුභාෂිත සූත්‍ර අර්ථකථාව විමසීමට සිදු වේ.

මහින්දාගමනයෙන් සිදු වූ සංස්කෘතික විපර්යාස නිසා මෙරට කලා ශිල්ප පිළිබඳ දැනුම දියුණු තියුණු වූ බවට ප්‍රත්‍යක්‍ෂ සාධක අප හමුවේ ඇති නිසා ඒ ගැන වැඩි විස්තර අනවශ්‍ය ය. ඊට වැදගත් උදාහරණයක් ලෙස කැලණි විහාරයේ භාවිත වී යැයි කියැවෙන ඔරලෝසු (කාලමාන) සඳහන් කළ හැකි ය. පපඤ්චසුදනියේ කාලත්ථම්භමූල, යාමගණ්ඩික යන වචන ඒ සඳහා භාවිත වේ.

දිවා රාත්‍රී දෙකෙහි මේවා ක්‍රියාත්මක වූ බව එහි සඳහන් වේ. වේලාව දැන ගැනීම සඳහා භාවිත වූ මෙම උපකරණ තත්කාලීන ශ්‍රී ලාංකිකයාගේ තාක්ෂණික ඥානය ගැන තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් වේ. අධ්‍යාපනය ගැන විමසන විට භාණකවරු නමින් සාහිත්‍යය ප්‍රභේද පිළිබඳ විශේෂඥතා ඉසිලූ පිරිස් සිටි බව ද සඳහන් කිරීම අවශ්‍යය. දීඝභාණකා, මජ්ක්‍ධිමභාණකා, සංයුත්තභාණකා, ධම්මපදභාණකා යනාදී පදවලින් සඳහන් වන්නේ මෙම විශේෂඥයෝ ය.

පැරණි ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජික අර්බුද අඩුවීමට හා ගැටලු විසඳා ගැනීමට එවකට පැවති තදබල නීති හා දඬුවම් ක්‍රම ද බලපා ඇති බව පෙනේ. එක් අතකින් ආගම ආගමික අරමුණු ඵල ගැන්වීම සඳහා ක්‍රියාත්මක වීමත් අර්බුද අඩුවීමට බලපෑවේ ය. එක් පුද්ගලයෙකු වටා අසීමිත බලය ඒකරාශි වූ තැන ප්‍රජාතන්ත්‍රීය ලක්‍ෂණ විනාශ වන නමුදු ආගමික ශික්‍ෂණය යටතේ ගොඩනැගුණු පාලකයින් බිහි වූ නිසා ධර්ම නීතිය ක්‍රියාත්මක වූ බව අටුවාවලින් තහවුරු වන තවත් කරුණකි. අට්ඨකථාවල එන නිදසුන් කීපයක් අනුව නීතිය සර්ව සාධාරණව ද ක්‍රියාත්මක වූ බවට සාධක ඇත. මේ යුගයේ අධිකරණ බලය ඇතැම් භික්‍ෂූන්ට ද හිමි විය. නීතිය මැනවින් දත් ගෝදත්ත නම් තෙරුන්ගේ විනිශ්චය රජය විසින් මහත් ඉහළින් සැලකුණි. උන්වහන්සේගේ තීන්දු තීරණ නො පිළිගන්නා අයට රජයෙන් දඬුවම් පමුණුවනු ලැබී ය.

ගව ඝාතනය වැනි දේ එකල සැලකුණේ නොකටයුතුකම් ලෙස ය. භාතිකාභය රජු ‘මාඝාතය’ පැනවීම මීට නිදසුනකි. එම නීතිය නො සලකා ගවමස් කෑවෝ නීතියෙන් කසල ශෝධකයන් හෝ කුලහීනයන් බවට පත් කරනු ලැබූහ. අධිකරණමය කාර්යයන් සම්බන්ධ වංශකථාගත වාර්තා සමග අට්ඨකථා වාර්තා බෙහෙවින් සමානත්‍වයක් දරන අතර දඬුවම් පිළිබඳව ද යම් යම් කරුණු දක්නට ලැබේ.

නීතියට ගරු නොකිරීම හා නීති කඩ කිරීම් මෙකල මෙන්ම එකල ද පැවතුණි. ඒ අනුව බිහිවූ සමාජ අපරාධ ගැන ද සඳහන් වේ. අපරාධ අතර බරපතළ අපරාධ වූ මිනීමරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් වැනි ඒවා ද සොරකම හා අඩන්තේට්ටම් කිරීම වැනි ඒවා ද වේ. මෙවැනි අපරාධවලට බලපෑ හේතුව වෙන වෙනම ගෙන විශ්ලේෂණය කිරීම අධිකරණ ක්‍රියාවකි.

අටුවාවල දැක්වෙන පරිදි සමාජයෙහි වඩාත් පොදු අපරාධ වූයේ ගෙවල් බි¼දීම, ගෙවල්වල සියලු වස්තුව පැහැර ගැනීම, එක ගෙයක් වටලා සොරකම් කිරීම, මං පැහැරීම, සහ පරදාර සේවනය යන ඒවා ය. මේ සියලු අපරාධවලට මරණ දඬුවම, දේපළ රාජ සන්තක කිරීම හෝ රටින් පිටිවහල් කිරීම දඬුවම වශයෙන් ක්‍රියාත්මක විය. මෙම අපරාධ සමාජ සංස්ථාව තුළ කෙතරම් බැරෑරුම් කොට සලකනු ලැබුවේ ද යන්න ඊට ක්‍රියාත්මක වූ දඬුවම්වලින් අනාවරණය වන අතර නීතිය ක්‍රියාත්මක කළ ආයතන මුහුණ දුන් ප්‍රබල වගකීම ද හෙළි කරයි.

අපරාධකරුවන් විෂයයෙහි දෙන ලද දඬුවම් පිළිබඳව ද දැනුවත් වීම අපගේ විමසුම් බුද්ධිය පුළුල් වීමට තුඩු දේ. පිටකාගත මූලාශ්‍රයන්හි නාම මාත්‍රිකව සඳහන් වන පුරාණ භාරතීය දඬුවම් ගැන විස්තර ද අටුවාවල සඳහන් වේ.

මෙම ලිපියේ ඉතිරි කොටස මීළඟ කලාපයේ පළවේ.