Print this Article


ජීවිතය තීරණය කරන සසර පුරුදු

ජීවිතය තීරණය කරන සසර පුරුදු

උග්ගසේන චරිතය ඇතුළත් බෞද්ධ කතා පුවත අඹුසැමි ජීවිත ගත කරන විවාහක පවුල් ජීවිතයට විශාල ආදර්ශයක් සපයයි. බොහෝ විවාහ ජීවිත අසාර්ථක වන්නේ පෙර සසර පුරුදු නො ගැලපීම නිසා ය.

එබැවින් ගුණ ධර්මවලට ගැලපෙන පිරිමියෙක් නම් ස්ත්‍රියක් ද, ස්ති‍්‍රයක් නම් පිරිමියකු ද තම සහකරුවා හෝ සහකාරිය බවට පත් කර ගත යුතු ය. මේ බව පැහැදිලිව පෙන්වා දෙන කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. එම කතා පුවත මෙසේ ය.

පෙර රජගහනුවර නළුවන් පන්සියයක් මාස හයකට සැරයක් රජගහ නුවරට පැමිණ එක් තැනක දවස් හතක් එක දිගට කී‍්‍රඩා සහ නැටුම්වලින් ප්‍රදර්ශන පවත්වා කහවණු උපයති. මිනිස්සු දවස් හතම ස්ථිර තැන් සකසාගෙන ඒවා බලති. එහිදී එක් නාට්‍යාංගනාවක් උණ දණ්ඩක මුදුනට නැඟී අහසේ සක්මන් කරමින්, පිනුම් ගසමින් එහිම රැෙඳමින් ගී කියන්නටත්, නටන්නටත් පටන්ගනියි.

එවේලෙහි නැටුම් බලමින් සිටි උග්ගසේන නමැති තරුණ සිටු පුතා නිළියගේ රෑප ශෝභාව දැක මහත් සේ ආශා උපදවා ඇය කෙරෙහි උපන් ආලයකින් ඇය ගැන සිතමින් මේ නිළිය ලැබුණොත් ඉදිරියට ජීවත් වෙමි. නො ලැබුණොත් මාගේ ජීවිතය විනාශ කරගනිමි යැයි තීරණය කොට කෑම බීම ප්‍රතික්ෂේප කරමින් ඇෙඳහි වැතිර නිදා ගැනීමට පටන් ගනියි.

දෙමව්පියෝ ද එසේ නිදන්නා වූ පුතු දැක කුමක් අවශ්‍යදැයි විමසති. එවිට ඔහු කියන්නේ අසවල් තැන නාට්‍ය ශාලාවේ නාට්‍ය රඟ දැක් වූ නිළිය මාගේ බිරිඳ කොට මෙහි පමුණුවා ගන්නට ලැබුණොත් ඉදිරියටත් ජීවත් වෙමි. එසේ නො ලැබුණහොත් ජීවත් නොවෙමියි කියයි.

සිතේ නැඟී අදහස නො හඟවා ම පැවසී ය. එකල්හි දෙමව්පියන් කියන්නේ ආදරණීය පුතණුවනි, ඇයි මෙසේ කියන්නේ අපි ඔබට අපේ කුලයට, අපේ පොහොසත්කමට ගැලපෙන ස්ති‍්‍රයක්, බිරිඳ කොට පාවා දෙන්නට කල්පනාකොට ඇත්තෙමු. ඒ නිසා ටිකක් ඉවසන්න යැයි කීහ. එහෙත් සිටු පුතා කියන්නේ නිළිය ම අවැසි බව ය. දෙමාපියන් එයට තදින් අකමැති වූ විට නැවතත් ආහාර නො ගෙන නිදන්නට පටන් ගනියි. දෙමව්පියෝ ඔහු බේරා ගනු අදහසින් ඔහුට තව තවත් කරුණු කියා එහි වරද පෙන්වා දීමට උත්සාහ ගනිති. එහෙත් එය නිරර්ථක වෙයි. එබැවින් ඔහුගේ පියා යහළුවකු කැඳවා කහවණු දහසක් දී මිත්‍රය, එදා අර නැටුම් ශාලාවෙහි උණ ගසකින් අහසට නැගී එහි කරණම් ගසමින් නර්තනය කළ නාට්‍යංගනාව ගෙනවුත් මගේ පුතාට විවාහ කොට පාවා දෙන්නට සැලැස්මක් සැකසිය හැකි දැයි විමසී ය.

නිළියගේ පියා වෙත ගොස් ඔහු මේ කෙරෙහි කැමති කරවා ගැනීමට කැමැත්තෙමියි හෙතෙම පවසයි. එකල්හි ඔහු නළු දුවගේ ගෙට ගොස් උග්ගසේන තරුණයාගේ අදහස නාට්‍යාංගනාවගේ පියතුමාට පවසයි.

එවේලෙහි ඔහු මගේ දුව කහවණුවලට කිසි ලෙසකින්වත් නො දෙමි. දියණිය නො ලැබ ජීවත්විය නොහැකි නම් පමණක් දෙන්නෙමි. එහෙත් අප සමඟ විසිය යුතු ය. අප සමඟ හැසිරිය යුතු ය. එසේ අප සමග හැසිරෙන්නට අකමැති නම් දුව දීමට අකමැත්තෙමි යැයි පවසා සිටියි.

මඟුල් කපුවා පෙරලා උග්ගසේනගේ පියතුමා වෙත ගොස් මේ බව දැනුම් දෙයි. උග්ගසේනගේ දෙමව්පියෝ මඟුල් කපුවාගේ කතාව තම පුතනුවන්ට ද දන්වයි. ඔහු ඔවුන් හා හැසිරෙන්නට කැමති බවත්, එහි පදිංචියට කැමැති බවත් පවසයි. එහෙත් ඔහුගේ යහළුවෝ සහ නෑදෑයෝ ඔහු වළක්වාලීමට නොයෙක් කරුණු කියා පෑවද එයින් ප්‍රයෝජනයක් නොවෙයි. ඔහු ඇය හා විවාහ වෙයි.

අඹුසැමියන් ලෙස වසන ඔවුන්ට නොබෝ කලකින්ම දරුවකු උපදියි. දරුවා නළවන නාට්‍යාංගනාව උග්ගසේන හාස්‍යයට හසුකරමින් සහ ඔහුගේ සිත් රිදෙන අයුරින් ‘කරත්ත දක්කන්නාගේ පුත නාඩා නිදියන්න’, ‘බඩු අදින්නාගේ පුත නාඩා නිදියන්න’, කිසිවක් නො දන්නාගේ පුත නාඩා නිදියන්න, ‘බත් බුදින්නාගේ පුත නාඩා නිදියන්න’ යනාදි ලෙසින් නැළවිලි ගී ගයමින් දරුවා නළවයි.

උග්ගසේන එයින් පුදුමයටත්, කළකිරීමටත්, වේදනාවටත් පත්වෙයි. ඔහු නාට්‍ය සැනකෙළිවලට අවශ්‍ය භාණ්ඩ ගෙනයන කරත්ත රැගෙන යන නිසාත්, ගවයින්ට තණකොළ සහ දියගෙන දෙන නිසාත්, ශිල්ප දක්වා අවසන් වූ පසු අදාළ ස්ථානවලට බඩුමුට්ටු කරතබාගෙන අදින නිසාත්, ගැල්කරුවාගේ පුතා යන වදන් කියනු අසා ඉවසිය නොහැකි තැන දිනක් බිරිදගෙන් එයට හේතු විමසයි.

ඔබ නැළවිලි ගී ගොතා කියනුයේ මා කෙරෙහි නොසතුටු බැවිනි. එබැවින් මම මේ ගෙයින් නික්ම යමි යි පවසයි. එවිට බිරිඳ කියන්නේ ඔබ මා හැරගියත්, ඔබ මැරුණත් මට කමෙක් නැත. මේ මාගේ උවමනාවකට උපන් දෙයක් නොවේ. ඔබගේ ඇවිටිල්ල නිසා මේ මට සිදු වූ විපතකි. මා නොලැබුණු ඔබ දිවි නසා ගන්නා නිසා මම විවාහ වුණෙමි.

එහෙයින් ඕනෑ තැනකට ගියාට මගෙන් වරදක් නැත. කිසිවක් නොදන්නා මෝඩයකුගෙන් මට වැඩක් නැත යනුවෙන් කියමින් සෑම දිනකම පෙර සේ ම දරුවා නැළවීම කරයි. සිත් රිදවන වදන් කියන ඇය නිසා උග්ගසේන සිතන්නේ මේ ස්ති‍්‍රය තමන්ගේ රූප ශෝභාව නිසා මා සිටු පුතෙකුට තබා වැඩකරන දාසයකුට තරම්වත් නො සලකයි. එයට හේතුව කුමක් දැයි සිතන්නේ හැකියාව සහ රූපශෝභාව නිසා උපන් මානය බව දැන වහා සිය මාමා වෙතින් නාට්‍ය ශිල්පය ඉගෙන ගනියි. අනතුරුව ඈත ගම් නියම් ගම්වලට ගොස් නර්තන ශිල්පය දක්වා කහවණු උපයයි. ක්‍රමයෙන් රජගහනුවරට පැමිණෙයි. එහිදී අදින් සත් දවසක් ගිය තැන උග්ගසේන සිටුපුත් වන මම නුවර වැස්සන්ට නාට්‍ය දක්වන්නෙමි'යි නුවරපුරා දැන්වීම් පළකර සිටියි.

නුවර වැසියන් එය දැක නාට්‍ය බැලීමට දින ගනිමින් සිට එයට සම්බන්ධ වෙති. ඔහු දිග උස උණ ගසකට නැඟී එහි මුදුනෙහි සිට ශිල්ප දක්වන්නට පටන් ගනියි. එකල්හි බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කොට රැස් ව හුන් පිරිස සහ උණගස දැක තමන් වහන්සේ දෙස ම බලන ලෙසට අධිෂ්ඨාන කරති. එකල්හි සියලු පිරිස බුදුන් වහන්සේ දෙසම බලා සිටිති. උග්ගසේන දෙස නො බලති. අවුරුද්දකට දෙවතාවක් පවත්වන මෙවැනි නාට්‍යයක් නො බලා මිනිස්සු බුදුන් වහන්සේ දෙස ම බලාගෙන සිටිති. ඒ මොහොතෙහි ඔහුගේ සිත දකින බුදුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අමතා, ඔහුට දහම් දේශනා කරන්නට සැළකර සිටියි. එකල්හි උන්වහන්සේ උණ ගස සමීපයට ගොස් උග්ගසේන අමතා, ධර්මය දේශනා කර ඔහු රහත් බවට පමුණුවයි.

මෙම කතා පුවත ධර්ම සභාවේ භික්ෂූන් වහන්සේලා අතර කතාවන්නට පටන්ගනියි. බුදුන් වහන්සේ එකල්හි උග්ගසේන තෙරුන්ගේ අතීත කතාව දේශනා කරති.

පින්වත් මහණෙනි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ධාතු නිදන් කර සෑය සකසන්නට මිනිස්සු කටයුතු පටන් ගනිති. දාගැබට උදව්වීමට බිරිඳ සමඟ යන උග්ගසේනට පිණ්ඩපාතික මහරහතන් වහන්සේ මුණගැසෙයි. සිටුපුත්‍රයා ආහාර පාන ඇති පමණ ගැලෙහි පුරවාගෙන යමින් සිටි බැවින් තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන පුරවා පිළිගන්නවා ස්වාමීනි, මේ පිනෙන් ඔබ වහන්සේ අවබෝධ කළ ධර්මය මට ද අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරයි.

තෙරුන් වහන්සේ ද එම ප්‍රාර්ථනාව ඉටු විය යුතු බවට ආශිර්වාද කරති. උපාසිකාව එය දැක ස්වාමියා අමතා කියන්නේ ඔබට මේ පිනෙන් නැටුම් හැකියාව ඇත්තෙකු වීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරයි. ‘සොඳුර එය එසේ වේවායි’ ඔහු ද අනුමත කරයි.

එබැවින් දෙදෙනාම සසරෙහි සැරිසරමින් පැමිණ බිරිඳ නාට්‍යකරුවකුගේ දියණියක ලෙසත්, උග්ගසේන මහත් ධනයක් හිමි සිටුවරයකුගේ පුත්‍රයකු ලෙසත් උපත ලබා ඇති බව ද, මහරහතන් වහන්සේ නමකට දන් දී ධර්මය අවබෝධවේවායි සිතූ ප්‍රාර්ථනයෙන් අර්හත් භාවයත්, ඒ පින බිරිඳගේ අනුමෝදනාවෙන් නාට්‍ය ශිල්පියකු බවටත් පත් වූ බවත් දේශනා කොට වදාරති.

පෙර සසර පුරුදු අනුව විවාහ දිවියෙහි මිනිසුන් හමුවන බවත්, පෙර කුසල් සහ අකුසල් තමා පසුපස එන සෙවනැල්ල මෙන් ගමන් කරන බවත් උග්ගසේන කතා පුවත තහවුරු කරයි.

එබැවින් ගුණ ධර්මවල පිහිටා අඹුසැමි ජීවිත ගත කිරීම සතුට ඇති කිරීමට හේතුවන බවත්, එකිනෙකාගේ ඇසුර සසර පුරා ලබා ගැනීමට හේතු වන බවත් වැඩි දුරටත් පැහැදිලි කර දෙයි.