Print this Article


පන්හිඳට පණ දුන් විජයවර්ධන ශ්‍රීමතාණෝ

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම දිනය නිමිතිකොට ලේක්හවුස් ආයතනය විසින් පවත්වනු ලබන පින්කම නිමිත්තෙනි

පන්හිඳට පණ දුන් විජයවර්ධන ශ්‍රීමතාණෝ

රටේ ජාතියට මෙන්ම ආගමට ජීවයක් දෙන විරුවන් රටට බිහි වන්නේ කලාතුරකිනි. අපේ රටේ මානව ශිෂ්ටාචාරය ගොඩනැගුණේ ම අධිෂ්ඨානශීලි මානවයන්ගෙන් ය. ඒ අතර මහා රාවණ පුවත ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ය.

අදීන සිංහල ජාතික ශිෂ්ටාචාරය සෝබාවත් වූයේ බුදු දහම ලැබීමෙන් ය. ඉන් පසුව දේශීයත්වය ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී සිටි තැනැත්තන් ජාතික විරුවන් සේ ඉතිහාස ගත විය. මහා විජයබාහු, දුටුගැමුණු,පැරකුම් ආදී රජවරුන් ද එම කර්තව්‍යයෙහිම පුරෝගාමී වූහ.

පෙර යුගය මෙන්ම මෑත යුගය ද ඉතිහාස ගත වන්නේ රට වෙනුවෙන් පෙනී සිටි ජාතික වීර චරිත තුළිනි. 19 වන සියවස දෙස අධ්‍යනය කිරීමේදී වඩාත් කැපී පෙනෙන චරිත රාශියක් මතු වේ. 1815 බ්‍රිතාන්‍ය යටත් විජිතයට නතුවූ අපේ රට, ජාතිය, ආගම හා මව් බස බේරා ගැනීමේ පුරෝගාමී වූ විශේෂ චරිත අතර වාරියපොළ සුමංගල හිමි, හික්කඩුවේ සුමංගල හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, අනගාරික ධර්මපාල තුමා , සුදුජාතික ඕල්කොට් තුමා ආදි ගිහි පැවිදි චරිත හඳුනාගත හැකි ය.

අප කතා නායකයාණෝ රටට, ජාතියට මහා මෙහෙවරක් කළ සිය ගණන් දෑ හිතකාමීන් පිරිවරාගත් ජාතික සටනෙහි වීරයෙකි. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ප්‍රසිද්ධිය නොසෙව්වේ ය. නම්බුව, පදවි, තානාන්තර ගරු නොකළේ ය. රිදවිය යුතු තැන රිදෙව්වේ ය. කිව යුතු දේ කියූ, කළ යුතු දේ කළ මේ මහා දේශ මාමකයාණන් ජාතියට ජීවය සැපයුවේ මාධ්‍ය කලාව තුළිනි.

සුදු පාලකයන්ගේ යකඩ සපත්තුවේ හඬ අසා, ගිනි බටයේ හඬ අසා, වැටුණුූ ජාතිය නඟා සිටුවන්නට ඇප කැප වූ ඩී.ආර්.විජයවර්ධනයන් ක්‍රි.ව. 1886 පෙබරවාරි 16 සේදවත්ත නම් ග්‍රාමයේ උපන්නේ ය. සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුතු පවුලේ තුන්වැනියා ය. මුලින්ම සේදවත්ත පාසලට ද, අනතුරුව මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයේ ද අධ්‍යාපනය හැදෑරුවේ ය. විජයවර්ධනයන් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන අවධියෙහි ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී වූ ජවහර්ලාල් නේරු හා ගෝපාල් ක්‍රිෂ්ණන් වැනි උගතුන් ඇසුරු කරන්නට විය. ක්‍රේම්බිජ් විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය හිමිකර ගත්තේ ය. “සිලෝන් නැෂනල් ඇසෝසියේෂන්” නම් සංගමයේ සම ලේකම් තනතුරට පත් විය.

1919 වසර ලංකා ඉතිහාසයේ ඔහු තැබූ නව ජාතික නිදහස් සටනට පණ දෙන ලංකා ජාතික සංගමය බිහි කරන්නට පුරෝගාමී වූහ.

විජයවර්ධනයන් විසින් පවත්වා ගෙන ගිය දිනමිණ පුවත්පත තුළින් ලංකා ජාතික සංගමයේ ප්‍රකාශන ද, ජාතික සටන් ව්‍යාපාර ද දියත් කරන ලදී. 1815 උඩරට ගිවිසුම ගැන ජනතා සිත් අවධි කළේය. 1915 වන විට සුද්දන් අපේ රට අල්ලා වසර සියයකි. ඔහු තම පන්හිඳ අවියක් කොට ගත්තේ දිනමිණ පුවත්පත මගිනි. ‘ඩේලිනිව්ස්’ පුවත්පත තුළින් ජාතික සටන වඩාත් වේගයෙන් ඉදිරියට ගෙන ගියහ. ආගමික හා ජාතික නිදහස පතා කරන ලද විරෝධාර සටන තුළ ඔහු පුවත්පතින් ඉටු කළ කාර්යය අතිමහත් ය. හමුදා බලයකට වඩා පුවත්පත තුළින් ජනතා බලය ඉස්මතු කළහ. සුද්දන්ගේ දැඩි නීති රීති හා අසාධාරණ බදු ක්‍රම හෙළා දැක නිදා සිටි ජාතිය අවධි කළේ ය. භාෂාව, සාහිත්‍ය හා කලා ශිල්ප ජනතා බුද්ධිය සරුසාර කළේය.

මිථ්‍යාදෘෂ්ටික මිෂනාරි ආගම් බුදුදහම පිළිබඳ දැක්වූ ආකල්පය ඔහු හොඳින් දැන සිටියේ ය. පන්සල්, විහාරාරාම ගොඩනඟන්නට ඔහු කැප විය . පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සංඝාවාස ගොඩනඟමින් දානමාන පූජා කළේය. බුදු දහම පදනම් කරගත් පවුලක ජීවත් වූ . විජයවර්ධන ශ්‍රීමතාණන් ගොඩනැ¼ගූ මාධ්‍ය මධ්‍යස්ථානය, ලේක්හවුස් ආයතනය අද දක්වාම මාධ්‍ය කලාවේ පෙරගමන්කරුවන් අතර මුද්‍රිත මාධ්‍යයේ ආගමික හා සම්භාව්‍ය පැතිකඩක් ආරක්ෂා කොට ගෙන පවත්වා ගෙන යයි.

සිංහල බෞද්ධ රටේ බෞද්ධයන් වෙනුවෙන් ආරම්භ වූ වටිනාම පුවත්පත නම් බුදුසරණ පුවත්පතයි. එය බෞද්ධයන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනය කරමින් ගෙන යන දැවැන්ත ධර්ම භාණ්ඩාගාරයකි. බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය අභිධර්මය හා භාවනා, දහම් දැනුම, ළමා මනස පෝෂණය කරන දහම් සිතුවිලි ඇතුළු බොහෝ සාරගර්භ ලිපි එහි ඇතුළත් වේ.

බුදුසරණ පුවත්පත ආරම්භයට මහා පෙළඹවීමක් වූයේ ද විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දූරදර්ශී දැක්ම ය.

1930 දී එතුමා ආරම්භ කළ සිළුමිණ පුවත්පත ජාතියට ආමන්ත්‍රණය කළ, ජාතිය අවදි කළ මහා පුවත්පතක් විය. අපේ ජාතිකත්වය, සංස්කෘතිය, සභ්‍යත්වය , භාෂාව , සාහිත්‍ය ඔප් නැංවූ ජාතික උරුමයන් පිළිබඳ දැනුම ලබා දුන් තෝතැන්නක් විය.

කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානය, බම්බලපිටියේ වජිරාරාම විහාරස්ථානවල ප්‍රධාන දායකත්වය උසුලමින් ඒවායේ දියුණුවට කළ සේවය අපමණ ය.

ලේක්හවුස් ආයතනයෙන් අදටත් ක්‍රියාත්මක මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව, වෙසක් පින්කම් ඇතුළු විවිධ ආගමික පින්කම් එතුමා බලාපොරොත්තු වූ අරමුණු මල්ඵල ගැන්වීමේ වෙසෙස් අවස්ථාවන් ය.

දෑ හිතකාමී, මානව දයාවෙන් සවිමත් අධිෂ්ඨානශීලි හා කාර්ය ශූර චරිතයක ප්‍රතිබිම්බය එම චරිතය තුළින් දෘශ්‍යමාන වේ. ලෝක බල අරගලයේ නූතන ජාතිවාදී, ආගම්වාදී මිෂනාරීත්වය පරාජය කරන්නට එතුමන් වැනි විරුවන් අප ජාතියට තව තවත් බිහි වේවායි ප්‍රාර්ථනා කරමි.