උමතුවෙන් ඇරඹි
පසුතැවීමෙන් අවසන්වන
සිතිවිලි හඳුනාගන්න
ශාස්ත්‍රපති
මැදවල ධම්මධාරණි
මෙහෙණින් වහන්සේ
විසිඑක්වන සියවස තුළ ජීවත් වන ඔබට, ජීවිතය යහපත්ව පවත්වා ගැනීම අතිශය දුෂ්කර වේ. ඔබ
ගනු දෙනු කරන සමාජය ඔබ බලාපොරොත්තූ නොවූ පුද්ගලයන් ගෙන් අනූන තැනක් වීම එයට හේතුව
යි.
අතීත සමාජය හා වර්තමාන සමාජය සියලු අංශයන්ගෙන් ම වෙනස් ය. කෙනෙක් එය ආර්ථික හා
තාක්‍ෂණික දියුණුව ලෙසත්, කෙනෙක් එසේ සිදු වීම මිනිසාගේ දියුණුව ලෙසත් අර්ථ ගැන්විය
හැකි ය. කෙසේ වෙතත් මේ සියලු වෙනස් වීම් මෙන්ම ආගමික හා සංස්කෘතික දියුණුවත් ඉතා
ඉහළින් පැවතෙන වර්තමාන සමාජය තුළ දිනෙන් දින පුද්ගල හැසිරීම ඉතා සීඝ්‍රයෙන් අයහපත්
වෙමින් පවතී.
සියලු ආගම් ප්‍රතිපත්තියට මූලික ස්ථානයක් දීම වෙනුවට සංස්කෘතික අංශ වලින් පිරි
ආගමික ක්‍රියාවන් කෙරෙහි මූලිකත්වයක් ලබා දෙමින් අතීත සමාජයට සාපේක්‍ෂව විශාල
විසිතුරු පින්කම් වල නියැළෙමින් ඒ තුළින් සමාජ ගෞරව අපේක්‍ෂාවෙන් කටයුතු කරන අයුරු
දැක ගත හැකි ය.
සිත පුහුණු කරමු
ඔබ මේ වන විට කුමන සමාජ ස්ථරයක, කුමන නිලයක, කුමන වයස් කාණ්ඩයක සිටිය ද එය වැදගත්
වනුයේ ඒ ඒ අවස්ථාවේ දී ඔබ හැසිරෙන ආකාරය අනුව ය. හැසිරීමෙන් ප්‍රකට වනුයේ පුද්ගල
චින්තනයේ ස්වභාවය යි. පුද්ගල චින්තනය යහපත් වීම යනු සෑම විටම තමාටත්, අනුන්ටත්
යහපත් ක්‍රියාවෙහි පමණක් කටයුතු කිරීමට හැකි යහපත් පෞරුෂයෙන් හෙබි පුද්ගලයෙක්
වීමයි.
බුදු දහම තුළ ඉගැන්වෙන්නේ එම යහපත් සිතිවිලි සහිත පුද්ගලයකු බවට පත් වීමට තම සිත
පුහුණු කළ යුතු අයුරු ය. සියලු ම බුදුවරුන්ගේ දේශනාව ලෙස සැලකෙන ධර්ම පාඨය මෙහිදී
ඉතා වැදගත් වේ. යම් පුද්ගලයෙක් මේ කරුණු අනුව තම සිත මෙහෙය වනු ලබයි නම්, ඔහු සෑම
විටම තමාටත් අනුන්ටත් යහපත් හැසිරීමෙන්, යහපත් වචනයෙන්, යහපත් සිතිවිල්ලෙන් අනූන
උතුම් පුද්ගලයෙක් වේ.
සියලු පාපයන් ගෙන් වෙන් වීම, කුසල් කටයුතුවල නිරත වීම, සිත පිරිසිදු කිරීම යන මෙම
පියවර අනුව තම සිත පුහුණු කරවීමට යම් පුද්ගලයෙක් කටයුතු කරයි නම්, ඔහු ධර්මයට අනුව
තම ජිවීතය සාර්ථක කර ගන්නා තැනත්තෙකි.
අත්‍යවශ්‍ය උත්සාහය
ජීවිතය යනු අප එකිනෙකාට අවශ්‍ය පරිදි හැසිරවිය හැකි දෙයක් නොවේ. එය සොබා දහමට අනුව
පාලනය වන්නකි. වයසින් වැඩීම, ශරීරය වැඩීම, යම් යම් අවස්ථාවන් හී රෝග වලට ලක් වීම,
තම ශරීර අවයව දුර්වල වීම, ඒවා ක්‍ෂය වීම, විනාශ වීම, කැමති දේ නොලැබීම, තමන් කැමති
අයගෙන් වෙන් වීමට සිදු වීම, අකමැති අය සමඟ ජීවත් වීමට ලැබීම, මරණයට පත් වීම යන
අවස්ථා ජීවිතයේ සෑම පුද්ගලයකු හටම අත් විඳීමට ලැබෙන සිදු වීම් වේ.
මෙම සෑම අවස්ථාවක ම අප විසින් සිදු නොකට යුතු දේ කරමින් මේවා වෙනස් කිරීමට හෝ මේවා
වැළැක්වීමට අනවශ්‍ය උත්සාහයක නිරත වේ. එසේ වෙනස් කිරීමට ගන්නා සෑම උත්සාහයක් තුළින්
ම සිදු වෙන්නේ තම සිත කණස්සල්ලට පත් වී ජිවීතය කළ කිරීමට පත් කර ගැනීම ය.
ජීවිත කනස්සල්ල ඇති සෑම විටම පුද්ගලයා උත්සහ කරන්නේ එයට විරුද්ධව කටයුතු කොට තම
බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ය. මෙහිදී වැදගත් වන්නේ මෙම සිත් පීඩාව දුරු කිරීමට
යැයි සිතා ඔබ ක්‍රියාත්මක කරන්නේ නිවැරදි සිතිවිලි ද යන්න පිළිබඳ ඔබ තුළ ඇති අවබෝධය
සහ එයට නිවැරදිම පිළිවෙත ඔබ අනුගමනය කරන්නේ ද යන ධර්මානූකූල අවබෝධය ඔබ තුළ පැවතීම
ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සැම විටම ප්‍රායෝගික දර්ශනය කි. එය කිසි විටෙකත් මතක
තබා ගත යුතු ධර්ම කරුණු වලින් පමණක් අනූන වූවක් නොව. සැම විටම ඔබ ඔබේ සියලු කටයුතු
හා බැඳී පවතින සිතිවිලි ධර්මයට අනූකූලව උපදවා ගෙන කටයුතු කිරීමට උත්සහ කරන්න. එවිට
ඔබගේ සෑම වචනයක් ම, සෑම ක්‍රියාවක් ම ධර්මානූකූල වේ.
ප්‍රායෝගික වන්න
බුදු දහමේ සැබෑ සුවය ප්‍රායෝගිකව අත් විඳීමට නම්, අත්‍යවශ්‍යයෙන් ම දියුණු කළ යුතු
හෙවත් පුහුණු කළ යුතු ප්‍රතිපත්ති කිහිපයක් වේ. පළමුව තමන් සියලු සමාජ විරෝධී
ක්‍රියාවන් වලින් වැළකීම සිදු කළ යුතු ය. වැළකීම පමණක් නොව එසේ සමාජ විරෝධි ක්‍රියා
පිළිබඳව සිතීම පවා සමාජ අසාධාරණයට හේතු වන බව තෙරුම් ගෙන එයින් වැළකිය යුතු ය.
දෙවැන්න නම් අන් අය සමාජ විරෝධි වැඩ කෙරෙහි යොමු නොකළ යුතු ය. තමා වැළකී අන් අය ඒ
සඳහා යෙද වීම, තමා එම සමාජ විරෝධි ක්‍රියාවට පෙළඹෙන්නා සේ හැඟීමක් ඇති කර ගත යුතු
ය. අන් අය එසේ පෙළඹ වීමට සිතීම පවා තමන් ඒ වරද කළා සේ අවබෝධ කොට එසේ සිතීමෙන් පවා
වැළකිය යුතු ය. තෙවැන්න නම් යම් පුද්ගලයකු විසින් සමාජ විරොධී ක්‍රියා සිදු කරයි
නම්, ඔබ එයට විරුද්ධ විය යුතු ය. කිසි විටෙක එම වරදට අනුබල නොදිය යුතු ය. වරද දැක
එයට අනුබල දේ නම් තමන් විසින් එම වරද සිදු කළා සේ සැලකිය යුතු ය. සැම විටම ධර්මය
යනු කියවීමක් හෝ ඉගෙන ගැනීමක් හෝ කටපාඩම් කිරීමක් හෝ ශ්‍රවණය කිරීම පමණක් කොට
නොසලකන්න. වැදගත් වන්නේ තමා දැනටමත් දන්නා ධර්ම කාරණා ජිවීතය තුළ ක්‍රියාවට නැංවීම
ය. එසේ යහපත් සංකල්පනාවෙන් යුතුව ගෙවන සෑම දිනයක් ම ඔබට මෙන්ම සමාජයට යහපත් වේ. එයම
ඔබට සාර්ථක වීමට හා සමාජය යහපත් කරලීමට හේතු වනු ඇත.
කේන්තිය
සෙන් ආචාර්ය වරයකු වෙත පැමිණි එක් ශ්‍රාවකයකු මෙසේ ඇසී ය, ආචාර්යන් වහන්ස, මට පාලනය
කරගන්න අසීරු තරමට දරුණු කේන්තියක් එනවා. මගේ මේ කේන්ති ගතිය කොහොම ද නැති කර ගන්නේ
?’ යි ඇසීය. ඒ ඇසූ ආචාර්ය බන්කේයි “ඒක හරි පුදුමයක් නේ ? කරුණාකරලා ඒක මට පෙන්නන්න”
යි පැවසී ය. “දැන් නම් ඒක පෙන්නන්න අමාරුයි” “කොයි වෙලාවෙ ද පෙන්වන්න පුලුවන්” “ඒක
හිටි හැටියේ බලාපොරොත්තු රහිතවයි, ඇතිවෙන්නේ.” “එහෙම නම්, ඒක ඔබේ නියම හැටි ස්වභාව
වෙන්න විදියක් නැහැ. නියම ස්වභාව නම් ඕනෑම මොහොතක පෙන්වන්න පුලුවන් වෙන්න ඕනෑ. ඒක
නිසා ඔය කේන්ති ගතිය ඇති වෙන කොට පොඩ්ඩක් කල්පනා කරන්න. මේක මගේ ජන්ම උරුමයක්වත්
මව්පියන්ගෙන් ලැබුණු දායාදයක්වත් නෙමෙයි. ඒක එහෙම නෙවේද කියලා කල්පනා කරලා බලන්න
යැයි ආචාර්යවරයා තම ශ්‍රාවකයාට කරුණු පැහැදිලි කළහ. ඔබටත් මෙලෙස අධික කේන්තිය ඇති
වන විට එය ඔබ විසින්ම ඇති කරගත් සිතිවිල්ලක් බව නුවණින් දකින්න. කේන්තිය, යනු
උමතුවෙන් ආරම්භ වී පසු තැවීමෙන් අවසන් වෙන අවාසනාවන්ත සිතිවිල්ලක් වේ. එබැවින් ඔබ
සෑම අවස්ථාවකම සතියෙන් යුක්තව කටයුතු කරන්න ඔබේ සිතට සතිමත් බව පුහුණු කරන්න. සැම
විට ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරන්න |