භාග්‍යවතුන් වහන්සේ
පංච නේත්‍රයකින්
සමන්විත වන සේක
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
අප භාග්‍යවතුන් වහන්සේ චක්ඛුමා - නෙත් ඇති සේක. උන්වහන්සේගේ නේත්‍රයෝ මේවා ය. බුද්ධ
චක්ඛු - බුද්ධ නේත්‍රය, සමන්තචක්ඛු - සමතැස හෙවත් සර්වඥතා ඥාන නේත්‍රය, දිබ්බ චක්ඛු
- දිව්‍ය නේත්‍රය, පඤ්ඤා චක්ඛු - ප්‍රඥා නේත්‍රය, මාංශ චක්ඛු මහාපුරුෂ
ලක්ෂණයෙන් හෙබි නේත්‍රය ය.
බුද්ධ නේත්‍රය
බුද්ධ නේත්‍රය හෙවත් බුදුඇස යනු ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණයත් ආසයානුසය ඤාණයත් ය.
ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණයෙන් කරනු ලබන්නේ දමනය කළයුතු සත්ත්වයන් තුළ කෙතෙක් දුරට
ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු ව පවතිත් දැයි බැලීම ය. ආසයානුසය ඤාණයෙන් කරනු
ලබන්නේ ඒ ඒ සත්ත්වයන් සසර පුරුදු කොට තිබෙන්නේ කවර ධර්මයන් ද, ඒවා ඔවුන්ගේ
අභ්‍යන්තරයේ බලපවත්වනුයේ කෙසේදැයි විමසා බැලීම ය.
සමතැස නේත්‍රය
සමතැස හෙවත් හාත්පස දකිනා නේත්‍රය යනු සර්වඥතා ඥානය යි. මෙයට ම අනාවරණ ඤාණය කියාත්
කියනු ලැබේ. මේ ඤාණය ඉදිරියෙහි උන්වහන්සේට අතීත, අනාගත, වර්තමාන, දුර වේවා, ළඟ,
ආධ්‍යාත්මික, බාහිර කිසිදු බාධාවකින් තොරව සියල්ල විවෘත ව පවතින්නේ ය. අවශ්‍ය ඕනෑම
විටක කිසිදු බාධාවකින් තොරව සර්වඥතා ඥානයෙන් අදාළ කරුණ දැකගත හැක්කේ ය.
දිව්‍ය නේත්‍රය
දිව්‍ය නේත්‍රය ඉතා අසිරිමත් ඇසකි. සාමාන්‍ය මිනිස් දැක්ම ඉක්මගිය ඇසකි. එනම් දිවැස
ය. භාග්‍යවතුන් වහන්සේ මේ දිවැසින් සත්ත්වයන් චුත වෙන අයුරු දකින සේක. එසේ ම ඔවුන්
උපදින අයුරු ද දකින සේක. අපට සාමාන්‍ය මිනිසා මැරෙනා සැටි පෙනෙයි. එනමුදු ඔහුගේ
විඤ්ඤාණය චුතවෙන අයුරු නොපෙනෙයි. ඒ හා බැඳුණු කර්ම සංස්කාරයන් නොපෙනෙයි. කර්මානුරූප
ව චුතවෙන අයුරු නොපෙනෙයි. එසේ ම භව පච්චයා ජාති යන ධර්ම න්‍යායට අනුව එසේ චුත වූ
සත්ත්වයා භවය ප්‍රත්‍යයෙන් උපදින අයුරු නොපෙනෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ
දිවැසින් මනාව දකිනා සේක. එසේ ම දුර ඈත ලෝකවල වාසය කරන සත්ත්වයන් ද දකින සේක. ඔවුන්
පවා චුතවෙන, උපදින අයුරු දකින සේක. උන්වහන්සේගේ දිව්‍ය නේත්‍රය ඉදිරියේ වැසීගිය
කිසිවක් නැත්තේ ය.
ප්‍රඥා නේත්‍රය
උන්වහන්සේ තුළ පැවති මේ ප්‍රඥා චක්ෂුසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්තිස්
බෝධිපාක්ෂික ධර්ම, මාර්ගඵල ආදිය පිළිබඳව මනාව දකින සේක. එසේ ම ලොවෙහි ඇති තාක් හේතු
ප්‍රත්‍ය ධර්මයන්, සංඛත ධර්මයන්, කාල දේශ විකල්ප විරහිතව විනිවිද දකින සේක. එසේ ම
නිවනෙහි යථා ස්වභාවය ද දකින සේක.
මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබි නේත්‍රය
භාග්‍යවතුන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණයෙන් හෙබි ප්‍රකෘති නේත්‍රය යි. උන්වහන්සේට
බුදු නෙතින් දැඩි අඳුරෙහි පවා කිසි බාධාවකින් තොරව යොදුනක් දුර දැකිය හැක්කේ ය.
භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ ගොඩනැඟී තිබූ මහා ධර්මකාය තුළ අනේකවිධ ආශ්චර්යයන්
පිරී තිබුණේ ය. ඒ අතර ත්‍රිවිධ ප්‍රාතිහාර්යයක් ද තිබුණේ ය.
ත්‍රිවිධ ප්‍රාතිහාර්යන්ගෙන්
සමන්විත වන සේක
සෘද්ධි ප්‍රාතිහාර්යය
එතෙක් මෙතෙක් ලොව පහළ වූ සෘද්ධිමතුන් අතර භාග්‍යවතුන් වහන්සේට සමකළ හැකි කිසිවෙක්
නොසිටියේ ය. උන්වහන්සේගේ සෘද්ධි බලය ඉතා විසිතුරු ය; මනරම් ය; අද්භූත ය.
උන්වහන්සේ තමන් වහන්සේ තනිව සිට බොහෝ බුදුවරු පෙන්වති. තමන් වහන්සේ බොහෝ බුදුවරුන්
ලෙස පෙනී සිට නැවත එක් බුදුකෙනෙක් වෙති. එසේ ම භාග්‍යවතුන් වහන්සේ අලුතින්
බුදුකෙනෙකුන් මවා ඒ බුදුන්ගෙන් ප්‍රශ්න විචාරති. එවිට මවන ලද බුදුහු පිළිතුරු දෙති.
විටෙක පෙනෙති. විටෙක නොපෙනෙති. එසේ ම බිත්ති ප්‍රාකාර පර්වත විනිවිද යමින් ඒ කිසිවක
නොවැදී අහසේ සෙයින් සුව සේ වඩිති. දියෙහි කිමිදෙන සෙයින් පොළොවෙහි කිමිදෙති. උඩට
මතුවෙති. පොළොව මතුපිට වඩින සෙයින් දිය මත ශාන්ත ගමනින් වඩිති. අහසින් යන කුරුල්ලකු
සෙයින් අහසෙහි කැමති ඉරියව් පවත්වති. මේ සා මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙනාත්
අත්ලෙන් පිරිමදිති. බඹලොව තෙක් කයින් වසඟයෙහි පවත්වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ
සෘද්ධිය මෙබඳු ය.
ආදේශනා ප්‍රාතිහාර්යය
අප භාග්‍යවතුන් වහන්සේ නිමිත්තෙන් ද කරුණු දක්වන සේක. ‘තොපගේ සිත මෙබඳු ය. තොපගේ
සිත මෙබඳුත් වෙයි. තොප දැන් මේ අයුරු සිතයි’ යනාදී වශයෙන් අන්‍යයන්ගේ චිත්තාචාරයන්
පවත්වන ආකාරය ගැන දන්වන සේක. එය එපරිදි ම වෙයි. අන් පරිදි නොවෙයි. එසේ ම දෙවියන්ගේ
හඬ අසාත් උන්වහන්සේට කිව හැක්කේ ය. එසේ ම මිනිසුන් කල්පනා කරන, සිතින් කතා කරන
විතර්ක විෂ්ඵාර ශබ්දය අසාත් කිව හැකිය. එසේ ම විතර්ක විචාර රහිත සමාධියට සමවැදී
අන්‍ය සත්ත්වයන්ගේ චිත්තාචාරයන් පිරිසිඳ දැක කිව හැක්කේය. එය එසේ ම වෙයි. අන් පරිදි
නොවෙයි. ආදේශනා ප්‍රාතිහාර්යය යනු මෙය ය.
අනුශාසනා ප්‍රාතිහාර්යය
භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් කෙරෙහි දක්වන ලද්දේ අනුපමේය වූ
දයානුකම්පාවකි.උන්වහන්සේ අවසාන හුස්මපොද හෙළනාතුරු ම අන්‍යයන්ගේ යහපත උදෙසා
අනුශාසනා කළ සේක. උන්වහන්සේ කෙටියෙනුත් කියති. විස්තර වශයෙනුත් කියති. උපමා
උපමේයයන් දක්වමිනුත් කියති.
අන්‍යයන්ගේ නිකෙලෙස් වීම අරමුණු කොට විමුක්ති කතා කියති. සසරෙහි ඇති දුක්ඛිත බවත්
ඉන් අත්මිදීමත් ගැන කියති. සත්ත්වයා නොදැන සිටි ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්
ගැන කියති. පුණ්‍ය කර්මයන්ගේ සැප විපාකත්, පාප කර්මයන්ගේ දුක් විපාකත් කියති.
නිරයේ දුකත්, අපා දුකෙහි ඇති දුක්ඛිත බවත් කියති. දෙව්ලොව සැපත්, නිවනේ මිහිරත්
කියති.‘මේවා අකුසල් ය, මෙය නොකරව්! මේවා කුසල් ය, මෙය කරව්! මෙය මෙසේ මෙනෙහි කරව්!
මෙය මෙනෙහි නොකරව්! මේවා දුරුකරව්! මේවා උපදවාගෙන සැපසේ වසව්!’ කියා නැවත නැවතත්
අවවාද කරති. පැහැදිලි කරති. විග්‍රහ කරති. බෙදා දක්වති. ඉස්මතු කර පෙන්වති.
අනුශාසනා කරති. උත්සාහවත් කරති. තෙද ගන්වති. සතුටට පමුණුවති. අනුශාසනී
ප්‍රාතිහාර්යය යනු මෙය යි.
මේ ත්‍රිවිධ ප්‍රාතිහාර්යය තුළින් උන්වහන්සේ කැමති වූයේ ඉද්ධි ප්‍රාතිහාර්යයට නොවේ.
එහි ඇති මායාකාරී රටාව කෙරෙහි උන්වහන්සේ නොපැහැදී සිටි සේක. එසේ ම ආදේශනා
ප්‍රාතිහාර්යය කෙරෙහිත් නොපැහැදී සිටි සේක. නමුත් ලෝක සත්ත්වයා වඩ වඩාත් පහදින්නේ ඒ
දෙකට ය. මක් නිසා ද යත්; ඔවුන්ගේ වැටහීම දුබල නිසා ය.
අප භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා ප්‍රාතිහාර්යයට ම ඉතා කැමති සේක. මෙය නම් මහා
අසිරිමත් දෙයකි! සෘද්ධි ප්‍රාතිහාර්යය පවා උන්වහන්සේ භාවිත කරන ලද්දේ ධර්මානුශාසනාව
පිණිස මිස මිනිසුන් කුල්මත් කරවීමට නොවේ.
මහා ප්‍රඥාවන්තයා උන්වහන්සේ ම ය. ඒ තුළින් ලෝක සත්වයා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්,
ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වීර්යයෙන්, සමාධියෙන්, විමුක්තියෙන් වැඩෙයි.
නිරාමිෂ සැපයෙන් වැඩෙයි. දුකෙන් නිදහස් වෙයි. සනාතන සැපය අත්පත් කරගනියි. |