මිනිසත් බව සිඳබිඳලන්නෝ
අස්ගිරිමහාවිහාරයෙහි උපාධ්‍යාය,
කාරක සංඝසභික
වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
මේ ලෝකයේ ජීවත්වන හැම සත්වයෙක් ම වඩාත් කැමැත්තක් දක්වන්නේ අන් කවර දෙයකටත් වඩා
තමන්ගේ ජීවිතයට යි. මේ කාරණය විශ්ව සත්‍යයක්. ලෝකයේ සැම ආගමක් ම පහළ වී තිබෙන්නේ
පුද්ගලයාගේ ජීවිතයේ සැපත සොයා දීමට යි. ඒ මොකද කියනවා නම් ජිවත්වන සත්වයා අපේක්ෂා
කරන්නේ සැපවන්ත ජිවිතයක් ම ගත කිරීමට යි.
එය උන්වහන්සේගේ වචනයෙන් ම කියනවා නම් ”සබ්බෙසං ජීවිතං පියං” යන බුදු වදන පෙන්වා දිය
හැකි යි. ඒවගේ ම මේ ජිවත්වීම සුවදායක වෙන්නට ම ඕන. නැතිනම් එයින් පලක් වෙන්නේ නැහැ.
ඉතින් මේ ජීවත්වීම හරයක් නැති තත්වයට පත්වන කාරණා පහක් බුදුරජාණන් වහන්සේ අපට
පෙන්වා දීලා තිබෙනවා. ඒ කාරණා පහට අප භාවිත කරන වචනය තමා පන්සිල් යන වචනය.
සත්ව ඝාතනය, අන්සතු දෙය පැහැර ගැනීම, පරඅඹු හා පරපුරුෂ සේවනය, බොරුව හෙවත් මුසා බස්
කීම හා රහමෙර පානය යන මේ කරුණු පහ. එහි දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ පස්
ආකාර දුෂ්චරිතයෙහි යම් අයෙක් යෙදෙනවා නම් ඒ පුද්ගලයා තමන්ගේ මුල හාරා දමා ගන්නවා
කියා. ඒ කියන්නේ මුලින් ම ඔහු කඩා වැටිලා අවසාන යි කියන එක යි.
මේ කියන පංච දුශ්චරිතයෙහි යෙදීම නිසා ඒ පුද්ගලයා වාසය කරන ගේදොර අභාවයට යනවා. අඳුරු
වෙනවා. සමාජයේ අපකීර්තියට පත්වෙනවා. ගේදොර අවුල් වියවුල් බහුල වෙනවා. එකිනෙකා විනාශ
මුඛයට ඇද වැටෙනවා.
මේ සමාජය පිළිබඳ විමසිලිමත් වුවහොත් මෙවැන්නට කොතෙකුත් නිදසුන් සමාජයෙන් අද දවසේ
අපට දැක බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ පමණක් නොව නීතියේ රැහැණට පහසුවෙන් අසු වී
දඟගෙවල අනන්ත දුක් ගැහැට විඳීන්නට පවා සිදු වෙනවා. මේ නිසා මොලොව දීම තැවීමෙන්,
අසහනයෙන් ජීවත් වෙන්නට පවා සිදු වී පරලොව ඒකාන්ත වශයෙන් ප්‍රේත ලෝකාදියෙහි වැටී
අනන්ත අප්‍රමාණ සංසාරික දුක් විඳීන්නට සිදු වෙනවා.
එපමණක් නොව හැමදාම ත් සුසුම් ලමින් දුක් අඳෝනා කියමින් ජීවත් වෙන්නට සිදු වෙනවා. මේ
අනුව තමන්ගේ මූල තමන් විසින් ම හාරා සිඳ දමා ගෙන පිරිහී ගොස් බලවත් විපතට පත් වෙනවා
කියන කරුණ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී තිබෙනවා.
තමන්ගේ මූලය හෙවත් ජීවත් වීමේ පදනම ශක්තිය තමන් විසින් සිඳ ගැනීමක් සිදු කර ගන්නවා
නම් සමාජය මෙයට වගකිව යුතු නොවෙ යි. එහි වගකීම පැවරෙන්නේ තමන් වෙත ම යි.
කෙටියෙන් ම කියනවා නම් තමන්ටත් තමන්ගේ පවුලේ සමාජිකයන්ට ත් ඉදිරියට ජිවත් වෙන්නට
ඇති ශක්තිය අවසාන කර ගෙන හැමදාමත් සමාජය ඉදිරියේ දුක් අඳෙීනා තෙපලමින් කාලය ගත
කරන්නට තරම් අවාසනාවන්ත තත්වයට පත් වෙනවා නම් ඔහු මේ දුර්ලභ වශයෙන් ලබා ගත් මිනිසත්
බවට මොනතරම් නිගරු කර ජීවත් වෙන අයෙක් ද? මිනිසත් බව සිඳබිඳ ගත්තෙක් ද යන්න අපට
සිතා ගත හැකි යි.
වර්තමානය වෙනවිට සමාජ මාධ්‍ය හරහා යමින් සංසරණයට ඉඩ හැර තිබෙන අතැම් දර්ශන දෙස නෙත්
යොමා සිහියෙන් විමසා බැලුවහොත් මේ වනවිට අප සමාජයෙහි උතුම් මාතෘත්වයට හා පිතෘත්වයට
පවා නිගා දෙන අන්දමින් මව්පියන් දරුවන් එක්ක එක මේසයේ එකට වාඩි වී මත්වතුරෙන් තොලකට
සනහා ගනිමින් එකට පැදුරු එළා වාඩි ලා ගෙන සූදුක්‍රීඩාවෙහි යෙදෙමින් කාලය ගත කරන
ආකාරයත්, ප්‍රසිද්ධ විභාගවලට පෙනි සිට විභාගය අවසාන කරන දවසේ බාලිකාවන් ඔවුනොවුන්
පහරට පහර ගසමින් අවිනීතව හැසිරෙන, කලහ කර ගන්නා ආකාරයත්. ගැහැනු පිරිමි සිසුන් එකට
එක් වී විභාගය අවසන් කරන දින මත්වතුර සාජ්ජයන් පවත්වමින් පී‍්‍රතිය භුක්ති විඳීන
ආකාරයත් දිහා විමසිලිමත් ව බලනවිට පැහැදිලි ව පෙනී යන්නේ කුමක් ද?
මේ පංච දුශ්චරිතයෙන් ම ඔවුන් ජීවත් වන පරිසරය සෝදාපාලුවකට ලක් වී ඇති බව නො වේද?
අප ඉදිරියේ ඇති දැවැන්ත ම අභියෝගය වන්නේ මේ අතිශය භයානක තත්වයට කඩිනම් පිළිතුරක්
නැති නම් විසඳුමක් සොයා ක්‍රියා කිරිම යි. එහි දී අපට බෞද්ධයන් වශයෙන් පෙන්වා දී
ඇති මෙම පංචශීල ප්‍රතිපදාවේ හරය හා ප්‍රායෝගික අරුත දරුවන්ට කියා දී ඔවුන් යහමඟට
ගැනීමේ කාලය එළඹී තිබෙන බව අප විසින් දැඩි ව අවධාරණය කර ගතයුතු වෙනවා.
මේ ලිපියෙන් අපට පැහැදිලි කර දෙන්නට අවස්ථාව සැලසෙන්නේ මෙම ප්‍රතිපදාවෙහි එන පළමු
වන ශික්ෂා පදයෙන් හෙවත් ප්‍රාණඝාතයෙන් වෙන් වීම කියන මේ අරුත සාක්ෂාත් කර ගන්නේ
කෙසේ ද කියන මේ කරුණ ගැන පමණ යි.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන අවධියෙහි එක්තරා දවසක
අනාථපිණ්ඩික සිටු උපාසකවරයා නිමිති කර ධර්ම සාකච්ඡාවක් සිදු වුණා. එහි දී්
බුදුරජාණන් වහන්සේ මේ උපාසකවරයාට පෙන්වා දෙනවා ”ගැහැවි සිටු පුත්‍රය, මේ ලෝකයේ
ජීවත් වන පුද්ගලයාට කරුණු පහක් නිසා සමාජයේ ජීවත් වනවිට භය හා වෛර සිතිවිලි පහක්
ඇති වෙනවා. එයින් පළමු වැන්න ප්‍රාණඝාතය යි ” කියා.
උන්වහන්සේ පෙන්වා දුන්නා සත්ව ඝාතනය අංක එකට එන බව.
ඉතින් අපි විවිධ අවස්ථාවල දී පන්සිල් සමාදන් වනවිට මේ සිල්පද පහේ එන පළමුවැනි
ශික්ෂා පදයෙන් අපි සමාජය ඉදිරියේ පොරොන්දුවක් ලබා දෙනවා ”මම ප්‍රාණඝාතයෙන්
වැළකෙනවා.” කියා.
දැන් අපි සොයා බැලිය යුතු වෙනවා. කුමක් ද මේ ප්‍රාණඝාතය කියන්නේ කියලා.
මෙහි දී මේ සිල් පදය සමාදන් වන අය ප්‍රකාශ කරන්නේ ඒ සත්ව ඝාතනය යන ක්‍රියාවෙන් තමන්
දුරු වෙනවා යන්න පිළිගෙන තමන්ගේ දිවි පැවැත්ම සකස් කර ගන්නවා යන්න යි. ඉතින් මේ පණ
හෙවත් ප්‍රාණ යන්නෙහි අරුත වන්නේ ජීවිතින්ද්‍රිය යි. එය ඝාතනය කිරීමෙන් සිදු වන්නේ
තවත් සත්වයකුගේ ජීවත් වීමේ අයිතිය විනාශ කිරීම යි. උදුරා දැමිම යි.
මෙහි දී තවත් සත්වයෙකුගේ ජීවත්වීමේ අයිතිය වෙනත් අයකු විසින් විනාශ කිරීමෙන්
සිදුවන්නේ දෙදෙනාට ම ඔවුනොවුන් අතර, වෛර සිතිවිලි ජනිත කරවීමක්. ඒ නිසා ඝාතනයට
ලක්වන සත්වයාගේත්, ඝාතනය කරන්නාගේත් වෛරී සිතිවිලි ශක්තිමත් වීමෙන් ඔවුනොවුනට
වෛරක්කාරයෝ බවට අනිවාර්යයෙන් ම පත් වෙනවා. ඒ විතරකුත් නොවේ දෙදෙනාම ඔවුනොවුන්ට
භයෙන් තැති ගෙන ජිවත් වෙනවා.
මේ තත්වය තිරිසන් ගත සතුන් අතර, මෙන් ම මිනිස් වර්ගයා තුළින් ද අපට දැකිය හැකි
වෙනවා. එයන් සිදු වන්නේ කුමක් ද? මේ සමස්ත සමාජතලය ම දූෂණය වීම යි. සමාජය තුළ භය හා
වෛරය වැපිරීම යි. මේ නිසා එවැනි සමාජයක ජීිවත් වීමේ දී හැම කෙනෙක් ම භයෙන් හා
වෛරයෙන් ජිවත් වෙනවා. මේ නිසා තම තමන්ගේ මූලය තමන් විසින් ම දෙදරවා විනාශ කර
දැමීමෙන් අසරණ තත්වයට පත් වෙනවා. එසේ නොව මෙත් සිතිවිලිවලින් යුක්තව කාටත් බිය නො
දෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා සමාජයේ ශාන්ත සන්සුන් ගතියක් ඇති වෙනවා. කිසිවකුත්
භයට තැති ගැන්මකට පත් නො වී ජීවත් වෙනවා.
අකුසල වශයෙන් ගත්තහම මෙම ප්‍රාණඝාතය ආනන්තරිය පාප කර්මයක් දක්වා ම උත්සන්න ව යාමෙන්
පුද්ගලයා දරුණු අවීචි ආදි අපායයන්හි උත්පත්තිය ලබමින් අනන්තවත් සංසාරික දුක්
විඳීන්නට හේතු වන ආකාරයෙන් ක්‍රියා කරන්නටත් පුළුවන්. මෙහි දී මෙම බරපතළ අකුසල
කර්මයේ තරම ප්‍රමාණය කිරීමේ දී පුද්ගලයාගේ චේතනාව ක්‍රියාත්මක වන ආකාරය ද වැදගත්
වෙනවා.
මී ළඟට අපේ අවධානය යොමු විය යුතු කරුණ වන්නේ ඝාතනයක් සිදු වීම තුළ ඝාතනයට ලක්වන
සත්වයාගේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් දක්නට ලැබෙන මහත් බව යි. ඒ අනුව තමා එම
අකුසල කර්මයේ ප්‍රමාණය තිරණය වන්නේ. මේ ක්‍රමයෙන් බලන විටයි දෙමාපියන්, රහතන්
වහන්සේලා ඝාතනයට ලක්වන විට එය බරපතළ අකුසලයක් වශයෙන් නැති නම් ආනන්තරීය පාප කර්මයක්
බවට පත් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි ලේ බිඳුවක් පමණකුදු සෙලවෙන ආකාරයෙන්
තුවාලයක් සිදු කිරීමෙන් ආනන්තරීය පාප කර්මයක් බවට පත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ
අනන්ත අප්‍රමාණ ගුණ පිළිබඳ පවත්නා මහන්තතාව අනුව යි.
අද අප ජිවත් වන සමාජයේ ගවඝාතනයට විරුද්ධ ව හඬක් නැඟි පවතිනවා. එහි ද ඇත්තේ සත්වයාගේ
ප්‍රමාණාත්මක වශයෙන් පවත්නා විශාලත්වයත් ඊටත් වඩා මේ සත්වයා මිනිස් වර්ගයාට සපයන
සේවාවේ ප්‍රමාණය ත් අනුව සත්ව ඝාතනයක් සිදුකිරීමේ දී අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය
වශයෙන් කොටස් කර බැලීමට ත් ඒ අකුසලයේ තරම තීරණය කිරීමට ත් සිදු වෙනවා. මේ අනුව සත්ව
ඝාතනය අකුසලයක් වශයෙන් සම්පුර්ණ වීමට අවශ්‍ය කරන කරුණු පහ ද මෙහි දී සම්පුර්ණ විය
යුතු බව අප අවධාරණය කළ යුතු වෙනවා. |