දුටුගැමුණු මහ රජතුමා -
27:
ගැමුණු හිතුවක්කාරයි
සෝමා දේවිය දොස් පවරයි
“ගිරි රාජ්‍යය ගැමුණු කුමරු අල්ලා ගත්තා” යැයි කියන කතාවේ සත්‍යයක් තිබේද? කුමාරයා
පලා ගියා නම් දැන් ගිරි රාජ්‍ය අරාජික වේවි ද?
“නැහැ දේවීන් වහන්ස, ගිරි රාජ්‍ය අරාජික වී නැහැ. ගැමුණු කුමාරයා රාජ්‍ය බලය තමන්
වෙතට පවරාගත් බව ඇත්ත. ගැමුණු කුමාරයාට ප්‍රසාදය පළකරන හමුදා සේනාංක සහ ඉහළ
නිලධාරින් අඩකටත් වඩා වැඩි පිරිසක් ගිරි රාජ්‍යයේ රැඳුණා. එම සම්පත් අපට බොහෝ
ප්‍රයෝජනවත් වෙන බව, ගැමුණු කුමාරයා පැවසුවා. ගිරි රාජ්‍ය පාලනය භාරගන්නා ලෙසට
ඔවුන් හසුන්පතකින් දාව ආචාර්යතුමාට දැනුම් දී තිබුණා.
“එහි පාලන කටයුතු වලට දාව ආචාර්යතුමාට සහයෝගය ලබා දෙන ලෙසට ගැමුණු කුමාරයා මට නියම
කළා. මෙහි එන්නට ප්‍රමාද වූයේ ඒ නිසයි.”
“වේළුසුමන දාව ආචාර්යතුමා ගිරි රාජ්‍ය පාලනය කරන්නේ කැමැත්තෙන්ද? කා වෙනුවෙන්ද?”
“ගැමුණු කුමරු වෙනුවෙන්?
“ඔහු කලින් තීරණය කර තිබුණේ වහාම මාගම බලා ඒමයි. ඔහු ඒ සඳහා සූදානමින් සිටිනා විටයි
මා එහි ගියේ. ඒ අතරතුර ලැබුණු හීපතක් නිසා ආචාර්යතුමා පුදුමයට පත්වුණා.”
“හී පත කාගෙන්ද?”
“ගැමුණු කුමාරයාගෙන්”
“එය සිදුවිය නොහැකියි. පලාගිය ගැමුණු කුමාරයා හීයක් එවන්න් කෙසේද?”
විහාර මහා දේවියට සියල්ල අවුල් සහගත ය. විවිධාකාරයේ සිදුවීම් මාලාව අනුපිළිවෙළකට
සකසා ගන්නේ කෙසේදැයි කල්පනා කළා ය. පසුගිය සිද්ධි මාලාවත් සිහියට නැඟීය.
ගැමුණු කුමරුට පැන යාමට ඉලක්කයක් තිබුණේ නැහැ. කැලණියට යාමට කැමතිදැයි විමසුමත් ඔහු
ඊට කැමති වුණේ නැහැ. මේ නිසා ගිරි නුවරට යැවීම, සඳහා සෝමා දේවියත්, ගිරි අබා රජුත්
කැමති කරවා ගැනීමට තමන් වෑයම් කළ ආකාරය ඇයට සිහිපත් වූවා ය. අභය රජු ඉතා අමාරුවෙන්
කැමැත්ත පළ කළත් සෝමා දේවිය කිසිසේත් එකඟ කර ගැනීමට බැරි වුණා.
මේ නිසා පසුව ඇය මගේ යහන් ගබඩාවට කැඳවා ගෙන ගොස්, කැලණියෙන් පැමිණෙද්දී පිය
රජතුමාගෙන් මට ලැබුණු රත්රන්, මුතු, මැණික් පිරුණු මංජුසාවක් දුන්නා. ඒවා දුටු විගස
ඇය කැමති වුණා. “අක්කණ්ඩියට පිටුපාන්න බැරි නිසා මම මේක කරන්නම්.” ඇය බොහොම
කැමැත්තෙන් මංජුසාවත් රැගෙන ගියා.
විහාරමහා දේවිය ගැඹුරු කල්පනාවක ගැලී සිටිය බව වේළුසුමන දුටුවේ ය. ඇය බොහෝ
වේදනාවෙන් පසුවන බව ද අවබෝධ විය.
“වේළුසුමන. මා මුහුණ පා සිටින්නේ ලොකු ගැටලුවක. ගැමුණු කුමරු පිළිබඳ මට සියලු
තොරතුරු දැනගන්නට ඕනෑ. රජතුමා ගේ සෞඛ්‍ය තත්ත්වය මේ දිනවල එතරම්ම හොඳ නැහැ. නමුත්
කුමාරයා ගැන සියලු තොරතුරු දැනගන්නා තුරු මට රජතුමාට මුහුණ දෙන්නට බැහැ. ඒ නිසා
තමන් දන්නා සියලු තොරතුරු මට පවසන්න.”
‘වේළුසුමන, දැන් යන්න.’
හොඳමයි දේවින් වහන්ස, සෙනෙවියා ඇගෙන් සමුගෙන මහනෙල හමුවනු පිණිස ගියේ ය.
වේළුසුමනගේ සිතෙහි ඇත්තේ අප්‍රමාණ සතුටකි. යුද්ධය ප්‍රමාද වුවත් ගැමුණු කුමාරයාගේ
සැලසුම්වල විශිෂ්ටත්වය ඔහුට හැඟේ. මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා තමාට ද හවුල්
වන්නට ලැබීම ජාතික මෙහෙවරක් ලෙස ඔහු සිතයි.
රජමාළිගයේ එදා ඇතිවූ හදිසි තත්ත්වය නිසා මෑණියන්ගේ අණට කීකරු විය යුතු බව අවබෝධ වූ
හෙයින් ගැමුණු කුමරු ගිරි නුවරට ගියේ ය.
ඒ දිගටම රැඳී සිටින අදහසින් නොවේ. එහිදී තමාට වෙන්කර දුන් පුරෝහිත මැඳුරේ තිබු පොත්
ගුලෙහි රාජ්‍ය පාලනය, විවිධ දාර්ශනික විෂයයන් පිළිබඳ පොත්පත් හැදෑරීමට කුමරු වැඩි
කැමැත්තක් දැක්වීය. තරුණ ජවයක් තිබුණු කුමරු විවේකය ලැබුණු සෑම විටකම වෙස් වළාගෙන
රට පුරා ඇවිදිමින් කරුණුූ සොයා බැලීය. එය සෝමා දේවියට එතරම් රුචි නොවීය. රාත්‍රී
භෝජනයකට තමා ද සහභාගි වූ ඇතැම් දිනවල දුටුගැමුණු කුමාරයා රට පුරා ඇවිදිමින් කරුණු
අසා දැනගැනීම ගැන වාද විවාද ඇති විය. මෙබඳු වාද විවාද සමහර දිනවල කෙළවර වූයේ තරමක
උණුසුම් ස්වරූපයෙනි.
මේ ආකාරයට යම් යම් මතවාද පැවතියත් ගැමුණු කුමරු ගිරි නුවරින් පලා යාමට තරම් හේතු වූ
බැරෑරුම් සිදුවීම් නොවූ බව දාව ආචාර්යතුමා පවසයි. එහි අවසානය හිතාමතා අවුල් කළේ
සෝමා දේවිය යැයි ඔහු අදහස් කරයි.
දිනක් රාත්‍රී අටට පමණ රාජමාළිගයට ගොස් පුරුදු පරිදි රාත්‍රී භෝජනය අනුභව කළේ ය.
අවසානයේ උද්‍යානයට ගොස් කතාබහට වැටුණේ ය.
“ගැමුණු , අද පාන්දරින්ම අශ්වයකු පිටේ බුත්තල ප්‍රදේශවල ඇවිදින්නට ගිය බව මට
දැනගන්නට ලැබුණා. ආරක්ෂක භටයන් ගැමුණු පසුපස පැන්නුවත් ටික දුරක් ගොස් අතුරුදහන්
වුණාලු. ගිරි අබා රජු කීවේ නොරුස්සන ස්වරූපයෙනි.”
“මම ගියා මාමණ්ඩිය, රාජකීය අස්හලේ වේගවත්ම අශ්වයාගේ පිටේ යන්න හිතුණා. පුදුම ජවයක්
තියෙන අශ්වයෙක්. වෙන කිසිවකුටත් ඌ කීකරු නැහැ.”
“කිහිප දිනක් උගේ හිස අතගාමින් ඌ හීලෑ කරගත්තා. අද උදෑසන උගේ පිට නැඟ බුත්තලට ගොස්
ආපසු එන්නට මට අඩ හෝරාවක්වත් ගතවුණේ නැහැ.”
“ ඌ හීලෑ කරගත්තු එක පුදුමයක් ගැමුණු. පුංචි කාළේ ඉඳලම ඌ අකීකරුයි. රජ ගෙදර කිසිදු
අශ්වාරෝහකයකුට ඌ හීලෑ කරගන්න බැරිවුණා.”
“අශ්වයා නොවෙයි හිතුවක්කාර ගැමුණු ඔබයි හිතුවක්කාර. යම් විදියකින් බුත්තල ආරක්ෂක
භටයන් ඔබට ඊතලයකින් විද්දා නම් මොකද වෙන්නේ? ගැමුණු දැන් මෙහේ හිටියා හොඳටම ඇති.”
“ඔව්, දේවීන් වහන්ස, දැන් මෙහි සිටියා හොඳටම ඇති. මාගමට යමු කියා මා නිතරම කුමාරයාට
කියනවා.
“ගැමුණු මම කිහිප දවසක්ම බලා සිටියා. ඔබ මාමණ්ඩිය සමඟ කතා කරන්නේ මුළු රටේම රජකම
ඔබට ලැබුණා වගෙයි. අමතක කරන්න එපා ගැමුණු, ඔබ අපේ පිළිසරණින් හැංගිලා ඉන්න බව“.
දරාගත නොහැකි කෝපයෙන් සිටි සෝමා දේවිය කුමාරයාගේ ඇඟට කඩා පැන්නාය.
නුඹ හිතාගෙන ඉන්නේ නුඹේ අම්මගෙ වස්තුවට යටවෙලා අපි වහල්කම් කරන්න ඕන කියලා. ඔය
ආඩම්බරකම්, හිතුවක්කාරකම් පෙන්වන්නේ මේක ගත්ත නිසානේ. මෙන්න උඹේ අම්මගෙ නිධානය. මේක
අරගෙන දැන්ම පිටවෙයන්.”
රජ බිසවකට නොගැළපෙන අයුරින් ඇය කතා කළ ආකාරයට සියල්ලෝම තුෂ්නිම්භූතව බලා සිටියහ.
ඇය මංජුසාව කුමාරයා ළඟට විසි කළාය.
කුමාරයා වික්ෂිප්තව නැඟී සිටියේ ය. කිසිවක් කතා කරගන්නට නොහැකිව ගොළු වී සිටියේ ය.
ඔහු රජ මාළිගයෙන් පිට විය.
අයන්ති විතාන |