Print this Article


බොදු බලය

බොදු බලය

"කාසි නෝට්ටු හා භෞතික වස්තූන් සුලභ වීම පමණක් බෞද්ධයන්ගේ දියුණුව මනින සාධකයක් නො වන අතර ආධ්‍යාත්මික ධනෝපායනයට මුල් තැන දී සිදු කෙරෙන භෞතික සංවර්ධනයෙන් පමණක් බුද්ධශාසනය සුරැකෙනු ඇත. බුද්ධශාසනය ආරක්ෂා වීමෙන් පමණක් සිංහල ජාතිය ආරක්ෂා වනු ඇත. සිංහල ජාතිය ආරක්ෂා වීමෙන් පමණක් බුද්ධශාසනය ආරක්ෂා වනු ඇත. සිංහල ජාතියත් බුද්ධශාසනයත් සුරැකීමෙන් පමණක් සීහල දීපය හා බෞද්ධ උරුමය ආරක්ෂා වනු ඇත."
 

‘බලය’ විවිධාකාර ය. ධන බලය, කුල – නිල ,රූප, පිරිස් බලය ආදී වශයෙන් හඳුන්වන්නේ බලයේ ප්‍රභේද කිහිපයකි. තමා සතුව යමක් ඇති බව බලය යැයි කිව හැකි ය. භෞතික තත්වයන් ඇති බව පමණක් බලය ලෙස සලකන බොහෝ දෙනා ආධ්‍යාත්මික (මානසික) බලයන් කෙරෙහි අවධානය යොමු නො කරයි. කායික හා බාහිර බලයන් පමණක් උසස් කොට සලකයි. එහෙත් පුරුෂ ගණනින් කෝටි දසදහසක තරම් පුදුම සහගත කායික බලයක් හිමි බුදුරජාණන් වහන්සේ විස්මිත මානසික බලයන් පහක් පෙන්වා වදාළහ.

සද්ධා බලය

ලෝභාදී පාප ධර්මයන්ට සෙලවිය නො හැකි තරමට, කෙලෙස් පීඩනය දරාගත හැකි තරමට ශක්තිමත් වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසය ශ්‍රද්ධා බලය යි. එමඟින් කෙලෙසුන් පැරදවිය හැකි අතර කුසල් දහම් සම්පාදනය කළ හැකි ය. එහෙත් සාමාන්‍ය ශ්‍රද්ධාව කෙලෙස් බලපෑමට ඔරොත්තු දෙන්නක් නොවේ. ධර්මශ්‍රවණ , ධර්ම සාකච්ඡා ආදියෙන් හදිසියේ ඇතිවන ශ්‍රද්ධාව නිසා දානාදී පින් කිරීමට සිතන ඇත්තන්ගේ සිතට සැණෙකින් තෘෂ්ණාව ඉපදී එම පින් සිතිවිලි අතුරුදන් වී යයි. අදහස් කළ කිසිදු පින්කමක් නො කරයි. ශ්‍රද්ධාවට වඩා තෘෂ්ණාව බලවත් වේ නම් පාපභරිත මානසිකත්වයක් ඇතිවේ. ඔහු දිනෙන් දින ගුණධර්මයන්ගෙන් පරිහානියට පත්වේ.

දීර්ඝ කාලයක පටන් සත්ත්ව සන්තානයෙහි ලැගුම් ගත් තෘෂ්ණා මානාදී අකුසල් නැසීමට සමත්වන ශ්‍රද්ධාව මහා බලයකි. මුළු ධර්ම මාර්ගයම රඳා පවතින්නේ ශ්‍රද්ධාව නම් බලය මත යි. එය බෞද්ධයකුට තිබිය යුතු මූල ශක්තිය වන අතර ඉන් මතු දියුණුූ කරන සියලු ගුණධර්මයන් හි ප්‍රතිෂ්ඨාධාරය ද වේ. නිතර බුදුගුණ මෙනෙහි කිරීම ශ්‍රද්ධා සම්පන්න වීමට හේතු වේ. ධර්මය ඇසීම හා සාකච්ඡා කිරීම, දහම් පොත පත ඉගෙනීම හා කියවීම ද සමථ විදසුන් භාවනාවන් හි නිරත වීම ද හේතුවෙන් බලවත් ශ්‍රද්ධාවක් ඇතිකර ගත හැකි ය. ශ්‍රද්ධාව බලවත් වන පමණට පින බලවත් වේ. පින බලවත් වන වේගය අනුව මාර්ගඵලාවබෝධය වෙත සමීප වේ. යමෙක් පිනට ගර්හා කරත් නම් ඔවුහු ශ්‍රද්ධා බලයෙන් තොර වූවෝ ය. බුදුසසුන තුළ බලවතකු වීමේ පළමු සුදුසුකම වන ශ්‍රද්ධා සම්පත්තිය යමෙකු තුළ වේ නම් ඔහු යාචකයෙකු වුව ද කුලහීනයෙකු වුව ද සැබෑ බලවතෙකි.

බුදු සසුනෙන් අන්‍ය වූ පුද්ගලයන් හා ඉගැන්වීම් පිළිබඳ විශ්වාසය හා පැහැදීම ශ්‍රද්ධාව නොව මිත්‍යා අධිමෝක්ෂය හෙවත් සාවද්‍ය ග්‍රහණයකි. එබැවින් අන්‍යාගමිකයන්ට ශ්‍රද්ධා මාත්‍රයක් නොමැති අතර ඇත්තේ බියජනක තැතිගැන්මකින් මෙහෙයවනු ලබන මනඞකල්පිත දාසත්වයකට ආරෝපණය කරන ලද යැදිල්ලක් පමණි. ශ්‍රද්ධා බලය නොමැති කිසි කෙනෙකුගෙන් සැබෑ සිංහලකමත්, බෞද්ධකමත් බලාපොරොත්තු විය නො හැකිය. ජාතික හැඟීම හා තමන්ගේ උරුමය පිළිබඳ හැඟීම ද කරුණා, මෛත්‍රී ගුණයන් ද හටගන්නේ ශ්‍රද්ධාවන්තයාගේ සිතේ පමණි. ශ්‍රද්ධාවක් නොමැති නාමික බෞද්ධයා ශාසන ද්‍රෝහියෙක් හා ජාතිද්‍රෝහියෙක් වේ. එවැන්නකුට ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයන්ගෙන් හා පුදබිම්වලින් ඵලක් නැත. බණ ඇසීම් කියවීම් වලින් ඵලක් නැත. සංස්කෘතිය හා අපේකම කියා දෙයක් නැත.

මෙකල කූරගල වැනි සිංහල බෞද්ධ පුදබිම මිත්‍යාදෘෂ්ටිකයන්ගේ ග්‍රහණයට නතුව ඇත්තේ ශ්‍රද්ධා මාත්‍රයක් නොමැති නාමික බෞද්ධයන්ගේ ක්‍රියා කලාපය නිසා ය. ශ්‍රද්ධාවන්ත ගිහියා කිසි කලෙකත් භික්ෂුව හා විහාරාරාම තනි කළේ නැත. චෛත්‍ය හා බෝධිය පාළු කළේ නැත. තම ජීවිතය සේ සලකා ශාසන දායාදය රැක්කේ ශ්‍රද්ධාවන්තයා ය.

පැරණි මුතුන් මිත්තන් ගල ලෙයින් හා ලය ලෙයින් පුදා රැකගත් හෙළබිමේ බෞද්ධ උරුමය මිහිදන් කරන්නේ අන්‍යාගමිකයන් නොව ආත්මාර්ථකාමී නාමික බෞද්ධයන් ය. ඔවුන් මැවුම්වාදීන්ට ද වඩා භයානක වේ.

බෞද්ධ වේෂයෙන් පෙනී සිට ශාසන හා ජාතික උරුමය කෙලෙසන බෞද්ධ වේෂධාරීන්ගෙන් බුදුසසුන බේරා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ඔබ හට ය. එහෙත් එය සිදුකළ හැක්කේ ඔබේ හදවත තුළින් මතුවන අව්‍යාජ ශ්‍රද්ධා බලයක් තිබේ නම් පමණි. ශක්තිමත් ශ්‍රද්ධා භක්තියක් ඇති බෞද්ධයා ම රටේ ද, ජාතියේ ද, ආගමේ ද, ආරක්ෂකයා වේ.

වීරිය බලය

බෞද්ධයකු තුළ තිබිය යුතු දෙවන බලය වීර්ය ය යි. ආත්මාර්ථය හා පරාර්ථය සිදුකිරීම පිණිස හේතුවන කායික මානසික උත්සාහය වීර්යය නම් වේ. තම සිත පාපයෙන් මුදවා ගැනීම පිණිස ගනු ලබන ප්‍රයත්නය තුළ නිරායාසයෙන් ම පරාර්ථය සිදුවේ. තමා රකින්නා අනුන් රකින්නෙකු බව බුදුදහම තුළ අවධාරිත ඉගැන්වීමකි. වීර්යය බලවත් වන පමණට ලෞකික දියුණුව ඇතිවේ. බලවත් ශ්‍රද්ධාව තුළින් එම දියුණුව අනවද්‍ය වන අතර ලෝකෝත්තර තත්වයන්ට ද හේතු වේ.

කුසීතකම වීර්යයට සතුරු ධර්මයකි. කම්මැලියාට සැබෑ බෞද්ධයකු විය නො හැකි ය. සීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත බුදු මග ගමන් කිරීමට හා තමාගෙන් ඉටුවිය යුතු ජාතික, ශාසනික මෙහෙවර ඉටුකිරීම පිණිස බලවත් උනන්දුවක් අවශ්‍ය වේ. නො පසුබස්නා බව, දරා ගැනීම, උපක්‍රමශීලි වීම, දූරදර්ශී වීම හා ඉදිරිපත් වීම යන කරුණු සඳහා හේතුවන්නේ වීර්යය බලය යි.

සැබෑ බෞද්ධයා තමාට ඇති පුද්ගලික අනතුර වන කෙලෙස් ධර්මයන් ද පොදු අනතුර වන මිත්‍යාදෘෂ්ටික බලවේගයන් ද දුරු කිරීම පිණිස සමඟිව කටයුතු කරයි. බෞද්ධයන් අතර සමඟිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකරයි. උදාසීන බවින් තොරව දාන සීලාදී ප්‍රතිපදාවෙහි යෙදීම ද පිණිස ජාතික හා ශාසනික දියුණුව පිණිස ද වීර්යය නම් වූ බලය හැර අන් ධර්මයක් නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම ලෙස දියුණු වන්නේ මෙම වීර්යය බලය යි.

සති බලය

පුද්ගලයකු ගේ මනස පඤ්චකාමයෙන් මුදවා කුසල පක්ෂයට හරවන කුසල ධර්මයන්හි පිහිටවන චෛතසික ශක්තිය සතිය නම් වේ. එය දියුණු වන විට ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගයේ සත්වන අංගය වන සම්මා සතිය බවට පත්වේ. ශ්‍රද්ධාවෙන් හා වීර්යයෙන් අනුග්‍රහ ලැබූ සතිබලය නිසා බෞද්ධයා සවිඤ්ඤාණික ලෙස සිදුවීම් දෙස බලයි. ජීවිතයේ අධ්‍යාත්මික හා බාහිර අංශයන් මනාව හසුරුවා කල්පනාකාරීව ජීවත් වේ. තමා හා අවට පරිසරයෙහි වෙනස්කම් දෙස මනාව නිරීක්ෂණය කරමින් වීර්යයෙන් හා ශ්‍රද්ධාවෙන් කළ යුත්ත අප්‍රමාදී ව සිදුකරයි. බෞද්ධ සමාජයට හා බෞද්ධ උරුමයන්ට ඇති තර්ජනයක් මෙන්ම අනතුරු හඳුනා ගෙන ආරක්ෂා වීම පිණිස කටයුතු කළ හැක්කේ සතිබලය තිබේ නම් පමණි.

සමාධි බලය

බෞද්ධයන්ට තිබිය යුතුම මීළඟ බලය සමාධි බලය යි. සිත හැම දෙයකටම යොමු වන විට එක් දෙයක් පිළිබඳවත් හරිහැටි දැනීමක් ඇති නොවේ. සිත නිරන්තරයෙන් පඤ්චකාම අරමුණුවලට දුවමින් පවතින විට පුද්ගලයකුගේ මානසිකත්වය ශක්තිමත් නොවේ. කාමය යනු පෞරුෂත්වය බිඳහෙලන මෝහනීය ධර්මයකි. වත්මන් බෞද්ධයන්ට ඇති ලොකුම අනතුර පඤ්චකාමය යි.

ඉන් මෝහනයට පත්ව අගෝචරයෙහි හා විසමයෙහි හැසිරෙමින් තමාගේ බෞද්ධකමට නො ගැලපෙන දේ සිදුවන්නේ චිත්තේකාග්‍රතාව නම් සමාධි බලය නොමැතිව විසිරුණු මනසකින් යුක්ත වීම නිසා ය.

චංචල දිය බඳුනකින් තම මුහුණෙහි ඡායාව හරිහැටි නො පෙනෙන්නාක් මෙන් නිතර විසිරී ගිය සිතක් ඇත්තෙකුට තම මානසික පසුබිම පිළිබඳවත් හරිහැටි නො වැටහේ. එවන් පසුබිමක තම රට, ජාතිය, ආගම වැනි ප්‍රස්තුතයන් පිළිබඳව සාවදානවීමට තරම් නිදහස් චින්තනයක් හිමි මානසිකත්වයක් බලාපොරොත්තු විය නොහැක. එවැන්නකුට කොපමණ ධනාදිය තිබුණත් ඔහු දුර්වලයෙකි. තමාට හෝ ශාසනයට හෝ ප්‍රයෝජනයක් නැත්තෙකි.

ප්‍රඥා බලය

ජීවිතය හා සම්බන්ධ වන අරමුණු පිරිසුදු හා නිවැරැදි ලෙස දැනගන්නා ධර්ම ස්වභාවය ප්‍රඥාව යි. එය ආලෝකයක් වැනි ය. ඇස් දුර්වල වූවෙකුට උපැස් යුවලක් බඳු ය. ප්‍රඥා හීනත්වය තරම් බෙලහීනබවක් බෞද්ධයකුට තවත් නැත. අරමුණු පිළිබඳ නුමුලාව තත්ත්වාකාරයෙන් විනිශ්චයක් ඇතිකර ගැනීමට උපකාර වන ප්‍රඥාව බලයක් වෙමින් බෞද්ධයා සම්මා දිට්ඨියෙහි පිහිටුවයි. එවිට ඔහු අන්ධකාරයෙන් අතමිදී සත්‍යාවබෝධය වෙත සමීප වේ.

සමථ හා විදර්ශනා භාවනාද්වය වර්ධනය කිරීම මගින් ඍජුවම ප්‍රඥාව දියුණු වේ. එවිට තීක්ෂණ දැක්මක් සහිතව ප්‍රතිපාක්ෂික කාරණාවන් මැඩලමින් තමන්ටත් තම සහෝදර බෞද්ධ ප්‍රජාවටත් විරුද්ධව එන බලවේග මර්දනය කිරීමේ හැකියාව ඇතිවේ. බෞද්ධයන් ශක්තිමත් වන්නේ ඉහත කී ශ්‍රද්ධාදී පංච බලයන් දියුණු වූ තරම ට ය. කාසි නෝට්ටු හා භෞතික වස්තූන් සුලභ වීම පමණක් බෞද්ධයන්ගේ දියුණුව මනින සාධකයක් නො වන අතර ආධ්‍යාත්මික ධනෝපායනයට මුල් තැන දී සිදු කෙරෙන භෞතික සංවර්ධනයෙන් පමණක් බුද්ධ ශාසනය සුරැකෙනු ඇත. බුද්ධශාසනය ආරක්ෂා වීමෙන් පමණක් සිංහල ජාතිය ආරක්ෂා වනු ඇත. සිංහල ජාතිය ආරක්ෂා වීමෙන් පමණක් බුද්ධශාසනය ආරක්ෂා වනු ඇත. සිංහල ජාතියත් බුද්ධශාසනයත් සුරැකීමෙන් පමණක් සීහල දීපය හා බෞද්ධ උරුමය ආරක්ෂා වනු ඇත.