Print this Article


සංවර සිතක් වේ නම් ඕනෑම අභියෝගයක් ජය ගන්නට පුළුවන්සංවර සිතක් වේ නම් ඕනෑම අභියෝගයක් ජය ගන්නට පුළුවන්

සංවර සිතක් වේ නම් ඕනෑම අභියෝගයක් ජය ගන්නට පුළුවන්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යොචෙ වස්ස සතං ජීවේ
දුප්පඤ්ඤො අසමාහිතො
ඒකාහං ජීවිතං සෙය්‍යො
පඤ්ඤා වන්තස්ස ඣායිනො

“යම් පුද්ගලයකු අනුවණකමින් හා සිත තැන්පත් කර නො ගෙන වසර සියයක් ජීවත් වනවාට වඩා නිවැරැදි අවබෝධයෙන් හා තැන්පත් වූ මනසින් ගත කරන එක දවස ද උතුම් වේ”

අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේ දී බාණු කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ ගේ අතවැසි නවක භික්ෂූන් වහන්සේලා පිරිසකට දේශනා කරන ලද මෙම ගාථාව ධම්ම පදයේ සහස්ස වර්ගයේ සඳහන් වෙයි.

බුද්ධ කාලයේ කොණ්ඩඤ්ඤ නමින් හැඳින් වූ භික්ෂූන් වහන්සේ නමක් බුදුරදුන්ගෙන් කමටහන් රැගෙන වනගත වී තෙමසක් භාවනා කර රහත් වූහ. ආපසු බුදුරදුන් හමුවීමට වඩින අතරමඟ රාත්‍රී කාලය එක් ගල් තලාවක සමාපත්ති සුවයෙන් වැඩ සිටියහ.

එදවස ගමක් කොල්ල කන ලද සොරු කණ්ඩායමක් සෙරා ගත් බඩු ඇතුළත් මලු තොගයක් ද රැගෙන එම ගල්තලාවට පැමිණියහ. ගමන් වෙහෙස නිසා ඔවුහු ගෙනෙන ලද බඩු මලු එක් ස්ථානයක තබා එහිම නිදන්නට වූහ. පසුදින උදයේම තම බඩු මලු ටික ගැනීමට ගිය සොරු පිරිස දුටු දෙයින් බියට පත් වූහ.

හේතුව තම බඩු මලු භික්ෂූන් වහන්සේ නමකගේ ශරීරය මත තබා තිබීම යි. බියට පත් ඔවුන් එම ස්ථානයෙන් දිව යාමට සූදානම් වන විට සමාපත්ති සුවයෙන් නැගී සිටි උන්වහන්සේ කාරුණික ව ඔවුන්ට කතා කර තමන්ගෙන් කිසිවකුට කරදරයක් නො වන බවත්, එම බඩු ඉවත් කර ගන්නා ලෙසත් පැවසූහ. පුදුමයට පත් වූ ඔවුහු වහා බඩු මලු ඉවත් කරගෙන උන්වහන්සේගෙන් සමාව ගත්හ. භික්ෂූන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළහ.

පැහැදීමට පත් සොරු පිරිස එහි ම පැවිදි වූහ. එම නවක භික්ෂූන් වහන්සේලා සමඟ බුදුරදුන් හමුවට ගිය කොණ්ඩඤ්ඤ හිමියන් ඔවුන් ගැන තොරතුරු ප්‍රකාශ කළේ ය.

අනුවණකමින් හා අසංවර වූ මනසින් අකුසල් කරමින් ගත කළ ජීවිතයට වඩා නිවැරැදි අවබෝධයෙන් තම සිත සංවර කරගෙන ගත කරන මෙම ජීවිතයේ වටිනාකම පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ධර්ම දේශනා කළ සේක. දම් දෙසුම අවසානයේ එම නවක භික්ෂූන් වහන්සේලා පිරිස උතුම් රහත් ඵලයට පත්වූහ.

පින්වත්නි, අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව මඟින් පෙන්වා දුන් දහම් කරුණු කෙරෙහි අවදානය යොමු කිරීමෙන් අපගේ ජීවිතය ද ආලෝකවත් කරගත හැකි වෙයි. නිවැරැදි අවබෝධයෙන් තොරව කටයුතු කරන සෑම අවස්ථාවක ම ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල සිතිවිලි මඟින් අප සිත අසංවර වෙයි. එසේ අකුසල සිතිවිලි මගින් සිත අසංවර වූ විට පර පණ නැසීම, සොරකම් කිරීම, වැරැදි ලෙස කම් සැප විඳීම, බොරු කීම, මත් වතුර බීම වැනි විවිධ පාපී ක්‍රියාවන්ට යොමු වෙයි. එසේ පස් පව්, දස අකුසල් වලට යොමු වී ගත කරන ජීවිතය ඔහුටත් සමාජයටත් ඉමහත් විපත් කරදර ගෙන දෙයි.

දහමට අනුගත නො වූ එවැනි අනුවණයන් තව තවත් සසර ගමන පීඩාකාරි ලෙස දිගු කරගන්නා බව

දීඝො බාලානං සංසාරෙ සද්ධම්මං අවිජානතං යන

බුද්ධ දේශනාවෙන් පැහැදිලි වෙයි. පෙර කරන ලද අපමණ පින් බලයෙන් ලබා ගත් මෙම වටිනා මිනිස් ජීවිතය එවැනි පහත් තත්ත්වයකට පත් කර ගැනීම තමා තමාට ම කර ගන්නා සතුරුකමකි.

ලබා ගත් උසස් වූ මිනිස් ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා ප්‍රඥාව තරම් වටිනා වෙනත් මැණිකක් නොමැති බව බුදුරදුන් අවධාරණය කර ඇත. එනිසා ප්‍රඥාව ඇති කර ගැනීම දෙලොව සුව හා නිවන් සුව සලසා ගැනීමට උපකාරි වන බව “සුඛෝ පඤ්ඤාය පටිලාහො” යන දහම් පාඨයෙන් පහදා දී ඇත.

අපේ සිතේ ඇති වන කුසල සිතිවිල්ලක් වන ප්‍රඥාව ත්‍රිහේතුක කුසල මූලයන්ගෙන් එකකි. අමෝහය නමින් හඳුන්වන මෙය උපදවා ගැනීමට කායික වාචසික සංවරය අවශ්‍ය වෙයි. එදිනෙදා ජීවිතයේ සිදු කරන දාන, ශීල. භාවනා දී කුදු මහත් පින්කම් අලෝබ, අද්වේශ, අමෝහ යන කුසල මූලයන් පෙරදැරි කරගෙන සිදුකරන විට අකුසල සිතිවිලි තදංග වශයෙන් තාවකාලික ව යටපත් වී මානසික තැන්පත්කම හා ප්‍රඥාව ඇති වෙයි.

සමථ හා විදර්ශනා භාවනාව තුළින් එය තව තවත් දියුණු කර ගැනීමෙන් පඤ්ච නීවරණයන් යටපත් කර ගෙන චිත්ත සමාධිය ද අනිත්‍ය . දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධයෙන් විදර්ශනා ප්‍රඥාව උපදවාගෙන උතුම් නිවන් සුව අවබෝධ කර ගත හැකි ය.