Print this Article


යළි පිබිදෙන කූරගල තපෝවනයේ ඓතිහාසික බෞද්ධ උරුමය

යළි පිබිදෙන කූරගල තපෝවනයේ ඓතිහාසික බෞද්ධ උරුමය

කූරගලට මැදින් පොහොය තවත් ඓතිහාසික දිනයක් වෙනු නියත ය. මැදින් පොහොය දින මුල්ගල තැබෙන ඒ මහා චෛත්‍යය නොබෝ දිනකින් ශ්වේත වර්ණයෙන් බැබළෙනු ඇත.

කූරගල කඳු මස්තකයට පිවිසුණු කල නෙත් යුගලට පහළින් හරිත වර්ණ කාලතිත්ථ කෙත් යාය ද, ඒ අතර ගලා බසින වලවේ කොමලිය ද, එයින් පිරීයන නීලවර්ණ වැව් දාමය ද දෙඇසට සමව සිටින එකිනෙකට අත්වැල් බැඳගත් කඳු පන්තිය ද නෙත් යුගලට ඉහත්තාවෙන් නෙක රටා මවන අහස්කුස ද ගත සනසවන සිහින් සුළං දාරාව ද ගතට සිතට දනවන්නේ දිව්‍යමය රසයකි. අමෘතයකි.

මේ සා සොබාසිරි පිරි නිහඬ අරණක් ඕනෑම වන්නේ මනැස වඩන උත්තමයන්ට ම පමණි. එය එලෙසම අතීතයේ දී සිදුව ඇත. ඉතින් අප මේ පිවිසෙන්නේ දිව්‍ය සිරි ගෙනෙන නිහඬ පරිසරයක නික්ලේෂී යතිවරයාණන් වහන්සේලා නිවන පැතූ කූරගල ආරණ්‍ය සේනාසනයට යි.

සමන් දෙවි රැකවරණය ලබන සබරගමු පළාතේ ශ්‍රී පාද මස්තකයෙන් පින් බරිතව මැණික් ජනිත කරන්නා වූ රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තන්ජන්තැන්න ග්‍රාම නිලධාරී වසමට අයත්ව කූරගල බෞද්ධ ආරාම සංකීර්ණය පිහිටා තිබේ. ගැඹුරු පර්වත ප්‍රාන්තයක උස්ව පිහිටි කූරගල හා හිටුවන්ගල කඳු ශිඛර දෙක ප්‍රධාන කොටගෙන මෙම තපෝවන අරණ පිහිටා ඇත.

දකුණු - ගිනිකොන දිශානුගතව අඩි 500- 1500 ක් සමෝච්ඡ රේඛා අතර බෑවුමක විහිදෙන පර්වත මාලයේ උසම ශිඛරය කූරගල වේ. මෙම ප්‍රදේශය කඳුකර වියළි වෘක්ෂලතා කලාපයට අයත්වුව ද තෙත් හා වියළි සංක්‍රාන්ති කලාපයක අවසාන ඉමෙහි පිහිටා ඇත. කඳුවැටියේ පිළිවෙලින් අනෙකුත් උසම ස්ථාන වන්නේ හිටුවන්ගල, කවුඩුමානහෙළ, කලුගල හා බඹරගලයි.

නෙතට රසඳුනක් වූ හාත්පස පරිසරය භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාගේ නිරාමිස ප්‍රීතිය ජනනය කරන කදිම තෝතැන්නක් බව නොරහසකි. කඳු මුදුනත හිස් අවකාශයට යොමු වූ ලෙන් ආරාම තුළින් දැකිය හැකි වලවේ නිම්නයේ හාත්පස පරිසරය චමත්කාර ජනක ය.

ක්‍රි.පූ. 2-3 සියවසට අයත් සේ ගැනෙන කටාරම් කොටා පූර්ව බ්‍රාහ්මී අකුරින් සටහන්ව පවතින ලෙන් ආරාම භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ විසූ බවට කදිම සාධක ය. කඳු මුදුනත හිස් අහස සිපගන්නා සංරක්ෂිත ස්ථූපය එයට පිවිසීමට ගලින් තැනූ පාද ගන්ඨිකා මෙහි ඓතිහාසික අගය තීව්ර කරයි. කූරගල තපෝවනය හුදකලා නොකරමින් තදාසන්නයේ පිහිටි ගල්ටැම්යාය, බුදුගල, ඇඳගල, දහයියාගල, දියඉන්න ආදී ක්‍රී.පූ. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 10 වන සියවස දක්වා කාලයට අයත් පුරාවිද්‍යාත්මක නටඹුන් විහිද ඇත.

එබැවින් කූරගල හා සබැඳී මෙම ප්‍රදේශය අතීත බෞද්ධ උරුමයේ තෝතැන්නක් බව සත්‍යම ය.

මිහිඳු මාහිමිගේ ආගමනයත් සමඟ බුද්ධ දර්ශනය මෙරට රාජ්‍ය ආගම බවටත්, අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකුමාරවරුන්ගේ පැවිද්දත් සමඟ සංඝ සමාජය මෙරට සනුහරේ මාර්ගෝපදේශකයන් බවට පත් විය. සඟ පරපුරේ වර්ධනයත් සමඟ බුද්ධ දර්ශනයේ නියමාර්ථය සෙවූ එම උත්තමයන්ගේ පරිභෝජනය සඳහා රට වට පැතිරගත් ස්වභාවික ලෙන් සකසා පිදීමේ පූජා විධියක් මෙරට ඇරඹෙන්නට විය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම දඩයමින් හා පලවැල නෙළාගනිමින් ජීවත් වූ මානවයන් ලැගුම් ස්ථාන වශයෙන් මූලිකව ම ස්වභාවික ගල්ලෙන් භාවිත කරන ලද බවට සාධක හමුවේ. එනම් ලක්දිව ඉතිහාසයේ මානව ක්‍රියාකාරකම්වල මූලාරම්භය ලෙන් ආශ්‍රිතව සිදු වී ඇත. මෙරට තෙත් කලාපයට අයත් පාරිසරික කලාපය තුළින් කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹලෙන, බුලත්සිංහල ෆාහියන් ලෙන, අත්තනගල්ල අලවල ලෙන හා රත්නපුර බෙලිගල්ගේ ලෙන් ප්‍රාග් මානව ක්‍රියාකාරකම් හඳුනාගත් ලෙන් කිහිපයකි.

කූරගලද එවන් අතීත ප්‍රාග් මානවයන්ට සෙවණ සෑදූ ලෙන් පද්ධතියකින් සමන්විත ය. මෙම තපෝවන ආරාමයේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණීමකින් අදින් වසර 16000 කට පූර්වයේ මෙම පුණ්‍ය භූමියේ බලංගොඩ මානවයා ද දිවිගෙවා ඇති බවට සාධක සොයාගන්නා ලදී. එපමණක් නොව එම මානවයාගේ අස්ථි සැකිල්ලක් ද මෙම බිමේ සැඟව තිබී මතු කරගන්නා ලදී. ප්‍රාග් මානවයාගේ වාස භවනෙන් පසුව මෙම පුණ්‍ය භූමිය කමටහන් වැඩූ යතිවරයාණන් වහන්සේලාගේ පා පහස ලැබූ භූමියක් බවට පත්විය.

ඒ ක්‍රී. පූ. 2-3 සියවස්වල දී ය. එනම් මීට වසර 2300 කට පමණ පූර්වයේ දී ය.

බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසූ එක් නිවාස වර්ගයක් ලෙස ගල්ලෙන් හඳුනාගත හැකිවේ. උන්වහන්සේ වැඩ විසූ මෙවැනි ගල්ලෙන් පිළිබඳව අට්ඨකතා සාහිත්‍ය තුළින් මෙන්ම වංසකතා ලේඛනවලින් අපට හමුවේ. බුදුරජාණන් වහන්සේ වැඩ විසූ රත්ගල ගුහාව ගඳකිලිය, ගන්ධකුටිය ලෙස සිංහල බෝධිවංසයෙන් හඳුන්වා දී තිබේ. එසේම බුදුන් වහන්සේ නිතර වාසය කළ පිප්පාල ගුහාව අලලා ඉන්දීය පුරාවිද්‍යාඥයින් විසින් පර්යේෂණ සිදුකර ඇත. එසේම ගිජ්ජකූටයේ බුදුරදුන් වාසය කළ ගුහා දෙකක් ද වේ. එසේම “භාග්‍යවතුන් වහන්සේ වේදියක පර්වතයෙහි ඉන්දසාල ගුහාවෙහි වාසය කරන සේක” යනුවෙන් මජ්ක්‍ධිම නිකායට්ඨ කතාවෙහි සදහන් කර තිබේ. තවද භාග්‍යවතුන් වහන්සේට වාසය පිණිස පූජා කළ එක් ලෙනක් පිළිබඳව සඳහන්ව ඇත. එම ලෙනෙහි නාමය සූකරබත වෙයි. බුදුන් වහන්සේ ජීවමානව ගල් ලෙන් තුළ වාසය කළා සේ ම තම ශ්‍රාවක සංඝයාට ද ගල්ලෙන් තුළ වාසය උචිත ලෙස අනුදැන වදාරා තිබේ. සාරත්ථප්පකාසිනියෙහි සඳහන් වනුයේ ලෙන්, මණ්ඩප හා කූටාගාර යනු පුණ්‍යවන්ත වූ භික්ෂුවක් විසින් අයත් කර ගනු ලබන බොහෝ උසස් සෙනසුන් වශයෙනි. විශුද්ධි මාර්ගයට අනූව ගුහාවල සහ ලෙන්වල වසන භික්ෂූන් ද මහේශාඛ්‍ය ශ්‍රමණයන් වහන්සේ ලෙස හඳුන්වා දී ඇත. තවද මහා පින් ඇති භික්ෂූන්ට ලැබෙන බොහෝ ප්‍රණීත සේනාසන අතරට ලෙන් අයත් කර තිබේ.

එම නිසා ලක්දිව බුදු සසුනේ සමාරම්භක අවධියේ මුල්ම භික්ෂූ නිවසක් වූයේ ස්වභාවික පර්වත සහ ගල් ලෙන් ය. ඒ බව හඳුනාගැනෙනුයේ මෙවැනි ගල් ලෙන් වල වැසි දිය ආවරණයක් ලෙස ඒවායේ ඉහළ මුහුණතේ කොටවා තිබෙන කටාරමට මඳක් පහළින් දැකිය හැකිවන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා ලේඛන වල අනුසාරයෙනි. මෙවැනි ගල්ලෙන් සහිත භික්ෂූ ආරාමයක් පිළිබඳව වංසකතා සාක්ෂි හමුවන පළමු අවස්ථාව දීපවංශයේ සඳහන් වන මිහිඳු හිමියන්ගේ වස් විසීම ක්‍රියාවලය හා සබැඳේ. උන්වහන්සේ වස් විසීම සඳහා මිහින්තලයට ගිය බව ද, ඒ සඳහා අටසැට ලෙන් පූජා කළ බව සහ ලෙන් ආරාමයක් බවට පත් කළ ආකාරය එහි දැක්වේ.

මෙවැනි ගල්ලෙනකට ගෘහය හෙවත් ගෙය යන වචනය ව්‍යවහාර කළ බවට පිදුරන්ගල ලෙන් සංකීර්ණයෙන් හමුවූ එක් ශිලා ලිපියකින් සනාථ වේ. එම ලිපියේ සඳහන්ව තිබෙන ‘ලෙනගේ’ යන පදය සංස්කෘතයේ ගෘහය යන්නට පර්යාය වෙයි. එම වචනය ලෙන යන වචනය සමඟ යෙදෙන බැවින් ලෙන හෙවත් ගුහාව ගෘහය හෙවත් නිවාසය බවට පත්ව ඇත.

මේ ආකාරයෙන් පර්වත භූමි භික්ෂූ නිවාස සඳහා තෝරාගැනීමට බලපෑ ප්‍රධාන කාරණා අතර ප්‍රාග් ඓතිහාසික ලෙන් නිවාස භාවිතයේ ඌරුව, කඳු මුදුන් හා බැඳුණු පුරාණ ආගමික හා අභිචාර විධි, පර්වත බෑවුම් සහ ලෙන් වැනි ස්ථානවල තිබෙන ස්වභාවික ආරක්ෂාව මෙන්ම භාවනානුයෝගී භික්ෂූන්ට අවශ්‍ය වූ හුදෙකලා බව මෙවන් පරිසර පද්ධතීන් හි නිරන්තරයෙන් ගැබ්වී තිබෙන අතර, බෞද්ධ සාහිත්‍යයේ ඉගැන්වීම්වලින් ගුහා නිවස්නය භික්ෂූන්ට කැපවූ එක් නිවස්න වර්ගයක් ලෙසින් අනුදැන වදාරා තිබීම ද ඊට බලපෑ හේතුවක් වන්නට ඇත.

මෙවැනි ස්වභාවික ලෙනක් ගෘහයක් ලෙස හෙවත් ගෙයක් දක්වා පරිවර්තනය කිරීමේ දී ඒ වෙනුවෙන් සිදුකළයුතුවන අනිවාර්ය මිනිස් මැදිහත්වීම අංගුත්තර නිකායට්ඨකතාවේ සඳහන් වන සිතුල්පව්වේ තිස්ස තෙරුන්ගේ කථාවෙන් මොනවට නිරූපණය වේ. සිතුල් පව් වැසි තිස්ස තෙරුන් තම වැඩිමහලු තෙරුන් වෙනුවෙන් ගල්ලෙනක් තෝරාගෙන එය වාසස්ථානයක් බවට පත්කළ අයුරු එහි දැක්වේ. ඊට අනූව එම ගල්ලෙන තුළ දැව පුරවා, දවා, ඉන්පසුව ලෙන සෝදා, ගඩොල් වලින් වටකර බිත්ති පිරියම්කර ලෙන් කර්මාන්තය කර ඇත.

කූරගල තපෝවන ආරාම සංකීර්ණයෙන් කටාරම් රහිත ලෙන්, කටාරම් හා පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි සහිත ලෙන් හා කටාරම් පමණක් සහිත ලෙන් ගණනාවක් දැකගත හැකි වේ. මෙම සියලු ලෙන් අතීත යතිවරයාණන් වහන්සේලාගේ පරිභෝජන අවශ්‍යතා සැපිරූ බවට සැකයක් නොමැත.

මෙහි වන ලෙන් ද්විත්වයක කටාරමට පහළින් පූර්ව බ්‍රාහ්මී අකුරින් කොටන ලද ශිලා ලිපි ද්විත්වයක් දැකගත හැකිවේ. මුල් සමයේ සී.එච්.කොලින්ස් මහතා විසින් වාර්තා කර අර්ථගන්වන ලද මෙම ලිපි පරණවිතාන මහතා විසින් 1970 වර්ෂයේ රචිත පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන නම් ග්‍රන්ථයේ නිවැරදිව කියවීමක් සහිතව පළකර ඇත.

එක් ලිපියක “දතහ ශමුදහ ලෙන” යන්න ද, අනෙක් ලිපියේ “පරමුඛ ශූමනහ පරමුඛ ශූමය” යන්න ද වේ. ඒවාහි අරුත පිළිවෙලින් දත්තගේ සහ සමුදගේ ලෙන හා ප්‍රදාන සුමනගේ සහ ප්‍රධානී සුමයගේ ලෙස දැක්විය හැක. මෙම කෙටි ලෙන් ලිපි වලින් අවධාරණය කර ඇත්තේ ඉහත නම් සඳහන් ප්‍රදේශාධිපති බෞද්ධ ප්‍රභූවරු සඟසතු කොට මෙම ලෙන් පිදූ බව ය.

බොහෝ ලෙන් ලිපිවල දැකගන්නට ඇති අගත අනගත චතුදිශ ශගශ දිනෙ (අතීත අනාගත සතර දිශාවෙන් පැමිණියාවූ නොපැමිණියාවූ ද භික්ෂු සංඝයාට පූජා කළ වගයි) යන වචන මෙම ලෙන් ලිපි වල දැකගන්නට නොලැබීමෙන් පෙනීයන්නේ මෙම ලිපි අනුරාධපුර යුගයේ මුල් අවධියට නෑකම් කියන බව ය.

එසේම කඳු ශිඛරය මත ඇති ස්ථූපය, ස්ථූපයට පිවිසීමට කඳු බෑවුම හරහා යොමුව ඇති සකසන ලද පඩි වාස්තු විද්‍යාවේ කදිම නිර්මාණයකි. මෙම ආරාම සංකීර්ණයේ වන බොහෝ ලෙන් තුළ සිට පිටත බැලූවිට පෙනෙනුයේ තෙරක් නොපෙනෙන අහස හා සොබා සිරියයි. මෙම අපූරු පිහිටීම වීතරාගි භික්ෂූන්ට සිත එක්තැන් කරගෙන මාර්ගඵල අවබෝධ කර ගැනීමටත්, සසර මග කෙටි කරගෙන නිවන් මඟ පසක් කරගැනීමටත් හැකිවන්නට ඇත.

දුමින්දාගමනයත් සමඟ සිදුවූ මහා බෝධි රෝපණයත් සමඟ එයින් පැන නැගුනු පළමු අෂ්ඨඵල බෝධි අංකුරයන්ගෙන් එක් පැළයක් රෝපිත ව ඇත්තේ මෙම කූරගල පින්බිමට නුදුරින් පිහිටි ප්‍රදේශයක වේ. එය වර්තමානයේ හඳගිරිය ලෙස හඳුනාගනු ලබයි. එහිවන බෝධීන් වහන්සේ අද පවා විරාජමානව ශාන්ත සුන්දර පරිසරයක වැඩ හිඳීනා අතර මෙහි බෝධිඝරය අනුරාධපුර පැරැණි බෝධිඝර හා සම්‍යරූපී ලක්‍ෂණවලින් යුක්තවේ.

කූරගල පින්බිම ස්ථානගත ව ඇත්තේ තවත් මෙවන් බෞද්ධාගමික ආරාමික නටඹුන් ගොන්නක් වටකරගෙන ය.

කූරගල ගල්ලෙන් තපෝ වනයකට අයත්වේ. ජනප්‍රවාදිත අදහස අනුව මෙහි පැරැණි නාමය කූරගල නොව කුහරගල වේ. එම නම ව්‍යවහාරවීමට හේතුවී ඇත්තේ හිටුවන්ගල පර්වතය මුදුනේ නැගෙනහිර බෑවුමේ ස්වභාවික ව පිහිටි ගල් දෙබොක්කාවක් කුහරයක් ලෙස තරමක ගැඹුරට පිහිටා තිබීමයි. එය අඩි 15-20 ක් පමණ ගැඹුරට මිනිසුන් දෙදෙනකුට පමණ එකවර බැසිය හැකි කුහරයකි. ඝන අන්ධකාරයෙන් යුත් කුහරය දිගේ මඳක් පහළට බැසීමේ දී පර්වත තලයේ නැෙඟනහිර මුහුණතට සූර්යාලෝකය වැටීමෙන් විවරවූ පැලුම් තුලින් ආලෝකය මතුවේ.

කූරගල ගවේෂණ වාර්තාවේ සඳහන් පරිදි අතීතයේ දී මෙම පර්වතය තණ්ඩුලෙය්‍යක පබ්බත ලෙස හඳුන්වා ඇත. තුන් සිංහලයේ රුහුණු රට උතුරු දිග කඩඉම හෙවත් රුහුණු මායා දෙරට වෙන් කෙරුණු කඩ ඉම වශයෙන් සලකා ඇත්තේ මෙම කූරගල කඳුවැටියයි. තණ්ඩුලෙය්‍යක පබ්බත යනු වී සුලභ පර්වතය යන අරුත ගෙනේ. කූරගල කන්ද පාමුල අදටත් දැකගන්නට ඇත්තේ අක්කර දහස් ගණන් පුරා පැතිරගිය සුවිසල් කෙත් යායයි. එනම් කාලතිත්ථ වෙල්යායයි.

කූරගල තපෝවන ආරාමය පිහිටි කල්තොට යනු රෝහණ රාජධානියට සමගාමීව පැවැති උප රාජධානියක් බවට සාධක වේ. ක්‍රි.පූ. අවධියේ (210-250) රජ පැමිණි දෙවැනිපෑතිස් රජ දවස ගව්වෙන් ගව්ව බෝධී රෝපණය කරවා විහාර ද කළ බව මහාවංස බෝධීවංස ආදී වංස කථාවන්හි සඳහන්වේ.

එම බෝධී රෝපණය කරවූ ගම්වල නාමාවලියක් බෞද්ධ සාහිත්‍යයේ වන අතර එහි සඳගිරිය, තනකිරියන්වල, ගොඩකුඹුර වෑගුණ පට්ටිය හා කල්තොට නාමයන් වන අතර ඒවා කල්තොට ප්‍රදේශය ආශ්‍රිතව විහිද පවතී. අනුරාධපුර, පොළොන්නරුව ආදී මහා නගරවලට නොදෙවෙනි ගොවිතැනින් දියුණු ජනාකීර්ණ මනා සරුසාර භූමි ප්‍රදේශයක් බව අද වුව ද දැකගත හැකිවේ. කල්තොට ඉස්මත්තේ හෙවත් කල්තොට රාජධානියේ බටහිර ඉමේ බැඳී දෙපා (දෙපසට ජලය ගෙන යාහැකි) අමුණෙන් මුළු කල්තොට ප්‍රදේශයම කුඹුරු අස්වද්දා එහි වැඩි ජලය වේලි ඔයට බස්වා වේලිඔය සම්පූර්ණයෙන් හරස්කර මැද බැද්දේ කොන්ගලින් බඳීන ලද අමුණේ ජලාශයෙන් වැවෙන් වැවට එම දිය බස්වා කුඹුරු කරමින් වැව් 138 ක් කරවා තවත් වැව් 18 ක් බන්දවා මුළු ප්‍රදේශයම එකම වෙල්යායක් හා ජනාකීර්ණ ප්‍රදේශයක්ව පැවති බව 1940-1964 හපුතලේ භූමි සිතියමෙන් ද පෙනේ. මෙම ප්‍රදේශයේ නටබුන්ව ඇති වැව් හා අමුණු පිළිබඳව විමසනවිට කල්තොට සිට මාගම දක්වා එකම වෙල්යායක් ව තිබුණු බව සනාථ වේ. වලවේ ගඟින් එගොඩ මෙගොඩ දෙපසට ම වතුර ගෙනයාමට කල්තොට දෙපා අමුණ පිළිබඳව පැරැණි ජන කවියක මෙසේ සඳහන් ය.

කල් බලලා එක වරුස තෙ සීයෙදි වෙසඟෙහි පුරසැටවක රවිදා

සිත යොදලා ගහතුරු මීනෙද රවි හෝරාවට ඇරඹුනදා

සුර නිමලා මහ විකුමැති යෝදය දෙපසට දියදෙන අමුණ බැඳා

තිස හදලා පස වැඩි කිරියැති මාවෙල් යාදෙක මාගම පරදා

මෙම කවියට අනුව තිස් කිරියන් නොහොත් වී අමුණු 2240 ක් මෙගොඩද එපමණම ප්‍රමාණයක් වලවේ ගඟෙන් එගොඩ ද කුඹුරු තිබී ඇත. මෙම ප්‍රදේශයේ එකල වීරමහසූරිය නම් රජෙකු සිට ඇති අතර ඔහුගේ කාලයේදී කූරගල කන්දත් බඹරගල කන්දත් යාකර බැම්මක් බැඳ ඉද්දගල වැව කරන ලද බව ජනප්‍රවාදයේ එයි.

ක්‍රිි.පූ. 2-3 වන සියවසේ සිට බෞද්ධ ආරාම සංකීර්ණයක් ලෙස විරාජමාන කූරගල තපෝවනය පසුකාලීන ව ජරාවාසවී තිබේ. ගොඩනැගිලි සම්ප්‍රදාය දියුණුවීමත් සමඟ ගල්, ගඩොල්, දැව භාවිතයෙන් ආරාම ඉදිවන්නට වූ අතර ඒ නිසාම භික්ෂූන් ගල්ලෙන් භාවිතයෙන් ඉවත්වන්නට විය. ඒ සමග බොහෝ පැරැණි ලෙන් ආරාම සංකීර්ණ භාවිතයෙන් ඉවත් ව තිබේ. එසේම රාජධානි බිඳවැටීම, ආක්‍රමණ හා ජනතාව ජනාකීර්ණ ප්‍රදේශවෙත සංක්‍රමණය වීමත් සමග පැරැණි ම ලෙන් ආරාම සංකීර්ණ භාවිතයෙන් ඉවත්වුණි. මෙසේ වසර සිය දහස් ගණනක් සංඝයා වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ මෙම පින්බිම පසුකාලීනව ඉස්ලාම් භක්තිකයන්ගේ වන්දනා ස්ථානයක් බවට පත්ව ඇත. ඉස්ලාම් භක්තිකයන්ගේ කූරගල සම්ප්‍රාප්තිය හා මෙහි ඔවුන්ට වන සබඳතාවය පිළිබඳව ඉස්ලාම් භක්තිකයන්ට වෙනම කථිකාවක් ඇත. 1932 වර්ෂයේදී සී.එච්.කොලින්ස් මහතා විසින් රාජකීය ආසියාතික සඟරාවට ඊඩඥ ඒපජඩචඥධතධඨර ධට බඩඥ ඕඪදබඥදදච මැයෙන් ලියනලද ලිපියේ කූරගල පිළිබඳව ද සඳහන් වේ. ඔහු කූරගලට පැමිණෙන විටත් එම පරිශ්‍රයේ ලෙන් ආශ්‍රය කොට මුස්ලිම් ජාතිකයන් සිට ඇත. ඔහුගේ වාර්තාවට අනුව කූරගල කඳු මුදුනේ ඇති ගල් ලෙනක් තුළට මුස්ලිම් පූජකයෙක් පිවිස ඇති අතර නැවත ඔහු පැමිණ නැත.

මේ නිසා ලෙන තුළ ඇති උමං කුහරය මක්කම දක්වා තිබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. නමුත් ජනප්‍රවාදවලට අනුව මෙම උමගෙන් පිවිසිය හැක්කේ බුදුගලට ය.

බෞද්ධ පාලනයෙන් ගිලිහුනු සමයක මුස්ලිම් භක්තිකයන් විසින් කූරගල පරිශ්‍රය අධිස්වභාවික විශ්වාස හා ශුද්ධ වස්තු හා බැඳී ආකල්පය මත භාවිතයට ගෙන ඇත. මක්කම යනු මුස්ලිම් භක්තිකයන්ගේ ශුද්ධ ස්ථානය වේ. ඊට කූරගල පරිශ්‍රය බද්ධකර ආගමික සංකල්පය වර්ධනය කිරීමට මෙන්ම තහවුරු කිරීමට ඔවුන් උත්සාහ ගෙන ඇත. සමකාලීනව තම ආගමික සංකල්පයන් ව්‍යාප්ත කිරීමට සමාජයෙන් බාධාවක් නොවුණ නිසාවෙන් එකී පරිශ්‍රය තුළ ඉස්ලාම් භක්තිකයන් ස්ථානගත වූහ. ආගමක් වර්ධනය වීමට මූලික වශයෙන් පූජාවිධි පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය ය. එසේම ඊට සම්බන්ධ ආගමික විශ්වාසයන් වඩාත් තර්කානුකූල ලෙස ගොඩනැගීම කළයුතු ය. තවද ඒ සඳහා සංවිධානය වූ පිරිසක් සිටීම ද වඩා වැදගත්වේ. ගල්ලෙන්වල ස්වභාවික පිහිටීම මෙන්ම ලෙන් ආශ්‍රිතව ඇති බ්‍රාහ්මී අක්ෂර මගින් ඉස්ලාමීය අනන්‍යතා ලක්ෂණ බව පෙන්වමින් තර්කානුකූල ලෙස මුස්ලිම් ආගමික භක්තිකයන් අතර විශ්වාස ගොඩනඟාගැනීමට ඔවුන් කටයුතු කර ඇත. තවද තම ආගමික නිකායේ නායකයන්ගේ සොහොන් කොත් පිහිටුවමින් ආගමික විශ්වාස භූමිය හා බැඳී පවතින ලෙසට උපක්‍රමශීලී ව කටයුතු යොදා ඇත. එසේම පාලන අධිකාරියක් ද ඒ තුළ ගොඩනැඟී ඇත. ආගමික ස්ථානයක් පවත්වාගෙන යාමට ප්‍රජා සහභාගිත්වය ද වැදගත් වේ. බලන්ගොඩ හා කල්තොට ප්‍රදේශය අශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් වැඩි පිරිසක් මුස්ලිම් ජාතිකයන් වෙති. කූරගල පැවැත්ම සඳහා විවිධ ආධාර මුදල් සපයමින් ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම විවිධ කටයුතුවලට මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වය ලැබ කූරගල තම ආගමට ළංකර ගැනීමේ ප්‍රයත්නයේ දී ඉස්ලාම් භක්තිකයන් ක්‍රි.පූ.අවධියේ ලියවුණු පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි ඔවුන්ගේ අනන්‍යතා ලක්ෂණ සහිතව ප්‍රචළිත කර ඇත. එනම් අර්ථ ගන්වා ඇත. “දතහ ශමුදහ ලෙනෙ” යන්න “දත්ථාසේලාන්” ලෙස වැරදි විග්‍රහයක සිට ඔවුන්ගේ ශුද්ධ ස්ථානය හැඳීන්වීමට යොදාගෙන ඇත.

තව ද ලේඛිත බ්‍රාහ්මී අක්ෂර “කුරන්’ අකුරු යනුවෙන් වැරදි ලෙස හඳුන්වන බව කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් සබරගමුවේ පැරණි ලියවිලි කෘතියේ සඳහන් කර තිබේ. එසේම ඉස්ලාම් බැතිමතුන් කටාරම් සහිත ලෙනක අභිමුඛව ඇති පර්වත කොටසක අරාබි අක්ෂරයෙන් ශිලා ලේඛනයක් කොටා ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට උත්සාහගෙන තිබේ.

කූරගල බෞද්ධ උරුමය පිළිබඳව රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි, විකිලියේ නාරද හිමි හා රාජකීය පණ්ඩිත වටද්දර ඤාණීස්වර හිමියන් සාහිත්‍යයමය වශයෙන් කරුණු

හෙළිකරමින් විශාල සේවාවක් කර ඇත. වටද්දර ඤානීස්වර හිමියන් බුදුන් වහන්සේ දිවා විහරණය කළ දිවා ගුහාව කූරගල ආශ්‍රිතව ස්ථානගතව ඇති බවට ද මතයක් දක්වා ඇත.

ප්‍රාග් මානවයාගේ වාසභවනයක් ලෙස ඇරඹි පසුව බෞද්ධ භික්ෂූන්ගේ අරමුණු සාක්ෂාත් කරන්නා වූ තපෝවන ආරාමයක් බවට පත්ව බොහෝ කාලයක් විරාජමානව පැවැතිණි. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක විමසා බැලීමේ දී මෙම භූමියේ නිරවද්‍ය අයිතිය බෞද්ධ ආරාම සංකීර්ණයකට අයත්වන බව සක්සුදක් සේ පැහැදිලිවේ.