Print this Article


හන්තාන කඳුවැටියේ සඳගිරි මහා සෑ රදුන්ටකොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය

හන්තාන කඳුවැටියේ සඳගිරි මහා සෑ රදුන්ටකොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය

මුහුදු මට්ටමේ සිට අඩි 3720 ක උසක් දක්වා පැතිරී පවත්නා හන්තාන කඳුවැටියේ අඩි 3039 ක උසින් ඉදිවන සඳගිරි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීමේ මහා පු‍ෙණ්‍යාත්සවය අද (28) පුන් පොහෝ දින පස්වරුවේ සිදු කිරීමට නියමිත ය.


ගඟසිරිපුර ධම්මාලෝක හිමි

වසර පහක් පුරා ගඩොලින් ගඩොල බැඳී හන්තාන කඳු මුදුනේ වළාකුළු සිප ගන්නා ඉසව්ව දක්වා ගොඩනැඟුණු චෛත්‍යයේ අලංකාරය ඉස්මතු කරන්නට හාත්පස පුරා පැතිර පවත්නා හරිත වර්ණ වෘක්ෂලතාවෝ ලබාදී තිබෙන්නේ මහත් වූ ආශිර්වාදයකි. මීටර 100 ක වට ප්‍රමාණයකින් යුත් සඳගිරි මහා සෑයේ උස අඩි 108 කි.මහනුවර දිස්ත්‍රික්කයේ උසම ස්ථානයේ ස්ථාපනය වූ මෙය මහනුවර දක්නට ලැබෙන විශාලතම චෛත්‍යය වීම විශේෂත්වයකි.

කොත් පැළඳවීමේ මංගල්‍යයෙන් අනතුරුව ධවල වර්ණයෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ හැඩගැන්වූ පසු එය ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන මහනුවර ලෝක උරුම නගරයට හන්තාන දෙසින් පායා එන සඳක් සේ දිස්වනු නො අනුමාන ය.

වර්ෂ 2017 ජනවාරී මස 27 දින මුල්ගල් තැබීමෙන් ආරම්භ වූ මෙහි ඉදි කිරීම් සඳහා මේවන විට වැයවී තිබෙන මුදල රුපියල් ලක්ෂ 660 කි. දෙස් විදෙස් පරිසර හිතකාමින්ගේ අවධානය දිනාගත් හන්තාන කඳු මුදුනේ සඳගිරි සෑය ඉදි කිරීමට හැකිවීම තමන් වහන්සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ දුටු සිහිනයක් සැබෑ විමක් ලෙස මෙම අපූරු නිර්මාණයේ මෙහෙයුම්කරු වූ හන්තාන සඳගිරි මහා සෑ විහාරාධිපති,ශාස්ත්‍රවේදී ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ පවසති.

“හන්තාන කියන්නේ ලෝකය පුරා ජීවත්වන මිනිස්සු දැඩි ලෙස ආදරය කරන ස්වභාවික සුන්දරත්වය තවමත් සුරැකී පවත්නා භූමියක්. මේ ප්‍රදේශයට විටින් විට මීදුම කඩාපාත් වෙන්නේ හරියට ගහ කොළ පවා නොසෙල්වන ආකාරයේ සීතලක් සමඟින්. ගහ කොළ ගහණ පරිසරය තුළින් විශාල චෛත්‍යයක් මතුව ආවොත් ඒක හරියට කඳු මුදුනකින් සඳක් පයා එන විලාසයක් ගනිවී යැයි මම කල්පනා කළා. ඒ අනුව තමයි 2009 වසරේ දී සඳගිරි මහා සෑය නම සිත තුළ ඉපදුණේ.

2014 දෙසැම්බර් 25 දින ලෑලි කුටියක් ඉදි කර මෙම ස්ථානයට වැඩම කළා.ලංකාවේ හැම නගරය ම සංකේතාත්මක දා ගැබක් තිබෙනවා. අනුරාධපුර රුවන්වැලි මහා සෑය, පොළොන්නරුවේ සෝමාවතිය, බුත්තල යුදඟනාව, තිස්සමහාරාමය, කැලණිය, මහියංගණය, කතරගම කිරිවෙහෙර ඊට උදාහරණ කිහිපයක්. දළදා වහන්සේ වැඩ සිටින මහනුවර පූජා නගරයේ සංකේතාත්මක දාගැබක් ඉදි කරන්න ඕන කියලා මම කල්පනා කළා. ඒ අනුව මහජන ආධාර ලබා ගනිමින් අඩියෙන් අඩිය ඉහළට ගිහින් අඩි 108 ක උසින් යුත් චෛත්‍යය නිර්මාණය කළා.” ඒ උන්වහන්සේගේ අදහස ය.

සඳගිරි සෑය ගොඩනැගී තිබෙන්නේ අඩි දෙකක උසින් යුත් කොන්ක්‍රීට් අත්තිවාරමක් මත ය.ඒ සඳහා පමණක් වැයවී තිබෙන මුදල රුපියල් ලක්ෂ 60 කි.

“රුවන්වැලි මහා සෑය ඉදිවුණේ විශ්වකර්ම දිව්‍යරාජයා ගල්වඩුවාට ආවේශ වෙලා පෙන්වා දුන් ආකෘතියකට අනුව යි. දිය බුබුළක පිරිපුන් හැඩය අනුව තමයි චෛත්‍යය ගර්භය නිර්මාණය වී තිබෙන්නේ. රුවන්වැලි මහ සෑයේ හැඩතලවලට සමානව තමයි සඳගිරි මහා සෑය ගොඩනැඟුවේ“.

ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ පවසති.

වර්ෂ 2000 දෙසැම්බර් 22 දින ගිරාඹේ ආනන්ද අනු නාහිමියන් ගුරුකොට අනුරාධපුර සාරානන්ද පිරිවෙණේ දී පැවිදි දිවියට එළැඹි ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ 2010 වසරේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වී 2015 වසරේ දී උපාධිය ලබා ඇත. එතැන් සිට උන්වහන්සේ සියලු කැපකිරීම් කරනු ලැබ ඇත්තේ සඳගිරි මහා සෑය ගොඩ නගන්නට ය.

උන්වහන්සේගේ මහන්සියේ ප්‍රතිපල ලබන මැදින් පුන් පොහෝ දින චෛත්‍යය රාජයාණන් වහන්සේට නෙළුම් මල් ලක්ෂයක් පූජා කිරීමට නියමිත ය.

චෛත්‍යය ඉදිරිපස ඇති නා රජු සහ දේව පිළිරුව විවෘත කිරීමෙන් පසු කොත් පැළඳවීමේ පුණ්‍යොත්සවය සිදු කිරීමට සැලසුම්කර තිබෙන්නේ හෙලිකොප්ටරයක් ආධාරයෙන් චෛත්‍යරාජයාණන් මතට පිච්ච මල් ඉසින අතරතුර ය. එම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය,සඳගිරි මහා සෑය සංවර්ධන කමිටුවේ අනුශාසක කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය.