Print this Article


දැව ජාවාරම්කරුවන්ගෙන් , නිධන් සොරුන්ගෙන් නාමල් උයන රැක ගත්තේ මොර ගහක් උඩ පැලක් හදාගෙනයි - වනවාසී රාහුල හිමියෝ

දැව ජාවාරම්කරුවන්ගෙන් , නිධන් සොරුන්ගෙන් නාමල් උයන රැක ගත්තේ මොර ගහක් උඩ පැලක් හදාගෙනයි - වනවාසී රාහුල හිමියෝ

මෙරට විශාලතම නා වනය සහිත වසර මිලියන දසලක්ෂ පන්සිය පනහකට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිූවාණා නිධිය සහිත ජාතික නාමල් උයන ,මෙරට බොහෝ දෙනා අතර ප්‍රචලිත කළ ,ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියන්ගේ භාරකාරත්වයෙන් පවතින අතර , උන්වහන්සේ මෙම බිමට වැඩම කර අද (28) දිනට වසර තිහක් සපිරේ.

කොළඹ – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පැමිණ මඩාටුගම හන්දියෙන් ආඩියාගල පාරේ කිලෝමීටර් අටක් පමණ ගමන් කර නාමල් උයන වෙත ප්‍රවේශ විය හැකි ය. මෙම භූමිය අතීතයේ සශ්‍රීක වන භූමියක් ලෙස පැවති අතර, අක්කර 2000ක් වැනි පුළුල් පරාසයක විහිදී පවතිනව බව නාමල් උයන භාරකාර වනවාසි රාහුල හිමියෝ පෙන්වා දෙති .

අනුරාධපුර රාජධානියේ සිව් දිගින් වටවූ සශ්‍රීක වාරි කර්මාන්තය මගින්, පෝෂිත නාමල් උයන , මහා ඉඳීගොල්ලාගම වැව, දිග් ඇන්නෑව වැව, රණව වැව, ඉබ්බන්කටුව වැව හා කලා වැවෙන් වට වී , පිහිටා ඇති මනරම් අභය භූමියකි

දඹුල්ල ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘත්තය, ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජු ගේ කාලය දක්වා විහිදෙන බව සඳහන් ය . එකී ඉතිහාසය මැනවින් කියාපාන අනුරාධපුර යුගයේ පෞරාණික නටබුන් ‍රැසක් මෙම භූමියේ දැකගත හැකි ය . බෝධිඝර, පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් එකී ඉතිහාසයේ සාක්ෂි මෙහි එන දෙස් විදෙස් සංචාරකයිනට දැකගත හැකි ය . ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වූ අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් තවත් වැදගත් කරුණකි .

අක්කර 2000 කින් සමන්විත ජාතික නාමල් උයනේ ,පරිසර පද්ධති රැසක් දක්නට ලැබෙන බව වනවාසි රාහුල හිමියෝ පෙන්වා දෙති . ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇත්තේ ද ජාතික නාමල් උයනේ ය. මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා හා දිය නා ආදි විශේෂයන් ඇති බව රාහුල හිමියෝ සඳහන් කරති .

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නා ගසට අමතරව නාමල් උයන තුළ හල්මිල්ල, කළුවර, මිල්ල ආදි ශාක රැසක් ද දක්නට ලැබෙන අතර මෙරටට ආවේනික වූ හා ආවේනික නො වූ පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72 ක් හා කෘමි විශේෂ 75 ක් ඇති බවත් පර්යේෂණ මඟින් අනාවරණය වී තිබෙන බව උන්වහන්සේ සඳහන් කරති .

පුරාවිද්‍යා රක්ෂිතයක් ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වෙයි . ජාතික නාමල් උයනට ජාතික මෙන්ම ජාත්‍යන්තර අවධානය හිමිවනුයේ ඓතිහාසික යුගයට අයත් වසර ගණනක් ඉපැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධිය හේතුවෙනි. එය දකුණු ආසි‍යාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙස වනවාසි රාහුල හිමියෝ පෙන්වා දෙති . අතීතයේ ඇත්තෝ මෙය “ලුණු ගල් දෙබල , ගල්පාත්තරේ හා නා මූකලාන” යන නම් වලින් හඳුන්වා ඇති බව ද රාහුල හිමි සඳහන් කරන තවත් කරුණකි.

මහවැලි අධිකාරියේ සිටි ඉංජිනේරුවකු වන ඩයස් මහතා මෙම පාෂණයේ ඇති වටිනාකම තමන්ට මුලින්ම පැහැදිලි කළ බව රාහුල හිමියෝ සඳහන් කරති .

අක්කර 600 ක් පමණ පෙදෙසක විසිර ඇති මෙම රෝස තිරිවානා නිධිය , කඳු පන්ති හතකින් සමන්විත ය . පුරා විද්‍යාත්මක පර්යේෂණවලට අනුව රෝස තිරිවානවලින් නිපැයු පබළු හමුවී ඇති අතර , සිය පෙම්වතිය සිහිවීම සඳහා සාජාහන් රජු ඉදි කළ ටජ් මහල් මන්දිරය අලංකාර කිරීමට ද මෙම රෝස තිරිවාන යොදා ගෙන ඇති බව සඳහනක් කර ඇත.

වසර තිහක කාලයක් තිස්සේ මෙම මනරම් අභය භූමීය මෙන්ම රෝස තිරිවානා නිධිය රැකගනිමින් ජාතියට කළ උදාර මෙහෙවර පිළිබඳ රාහුල හිමියන්ට ඇත්තේ ගෞරවනීය අභිමානයකි .

“ අද දිනට අවුරුදු තිහක් සම්පූර්ණ වෙනවා මෙම භූමියට මම ඇවිත් . පැවිදි හිමි නමක් විදිහට හිටි පිළිම වහන්සේ හදලා නැහැ. නමුත් මම ලෝකයට අවශ්‍ය ම කරන පිරිසුදු ඔක්සිජන් මුදාහරින භුමියක් ආරක්ෂා කළා . මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ වන බිම මම ආරක්ෂා කරලා දීලා තියෙනවා . 2018 වසරේ දී මම මෙම අභය භූමීය හා රෝස තිරිවානා නිධිය මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා දුන්නා . අත් හැරීම කියන දේ මම පුරුදු කළා . අපි රැස් කරන්න නෙමෙයි අස්කරන්න පුරුදු වෙන්න ඕන . රණව විහාරස්ථානයේ ඉඳලා 1991 මාර්තු 28 මම මේ භූමියට එනකොට මෙය දැව ජවාරම් කරුවන්ගේ , නිධන් හොරුන්ගේ , දඩයම් කරුවන්ගේ පරාදීසයක් වෙලා තිබුණේ . මම ඇවිත් මොර ගහක් උඩ පැලක් හදාගෙන මේ ජාතික මෙහෙවර ආරම්භ කළා . ඒ සඳහා මේ රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විශේෂයෙන් ලේක් හවුස් පුවත්පත් ඉටුකළ මෙහෙවර මේ මොහොතේ සිහිපත් කළ යුතුයි “.

මධ්‍යම සංස්කෘතික අරමුදල , පුරාවිද්‍යා දේපාර්තමේන්තුව , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,භූ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම භූමිය ආරක්ෂා කරන්න ඉටුකරන්නේ විශාල මෙහෙයක් . එමෙන්ම නොබෝ දිනකින් මෙම අභය භූමීය ජාතික උරුමයක් බවට පත්කරන්න මේ වනවිට සියලු සැලසුම් සැකසෙමින් පවතින බව සඳහන් කළ යුතුයි .

“මම මේ අභය භූමිය වසර තිහක් තිස්සේ ආරක්ෂා කළා . ඒ නිසා මම ජාතියට විශාල සේවයක් කළා . අදට යෙදෙන මේ දශක තුනක කාලය නිසාම මතු පරපුර උදෙසා දීප ව්‍යාප්තව ‘හුස්මක් හිටවමු ‘ නමින් රුක් රෝපණ වැඩසටහනක් ද සිදුවෙන බවත් හැකි හැමවිටම අප පැළයක් සිටවමු කියන යෝජනාවත් මා සඳහන් කරන්නේ ගෞරවයෙන් .