Print this Article


විඳින දුෂ්කරතා කටුක අත්දැකීම් ජීවිතයට පන්නරයක් කර ගන්නවා - නෙල්ලිගල හාමුදුරුවෝ

විඳින දුෂ්කරතා කටුක අත්දැකීම් ජීවිතයට පන්නරයක් කර ගන්නවා - නෙල්ලිගල හාමුදුරුවෝ

සම්බුද්ධ ශාසනයට, හෙළ දීපයට යම් විපතක් කරදරයක් සිදු වන්නට යන හැම විටෙක දී ම රටත් සම්බුද්ධ ශාසනයත් රැක ගන්නට ජාතියේ මුර දේවතාවුන් වහන්සේ පෙරමුණ ගත්හ. අතීත, අනාගත, වර්තමාන යන තුන් කල්හිම බොදු උරුමය සුරැකෙන්නේ ඒ මහා යතිවරයන් වහන්සේගේ අත්‍යුදාර කැපවීම හා අප්‍රතිහත ධෛර්ය නිසාම ය.

බෞද්ධාගමික ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති පුදබිම්වලට අන්තවාදීන්ගේ දැඩි බලපෑම් එල්ල වන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. වත්මන්හි ද ආන්දෝලනයට තුඩුදුන් එවැනි පුදබිම් රැසක් ගැන වාර්තා වුණි.

කූරගල පුදබිම ද එසේ අන්තවාදී පිරිස්වල ග්‍රහණයට හසුවෙමින් පවතින්නකි. අතීත යතිවරයන් වහන්සේ ගිය මඟ යමින් ඒ පුදබිම් රැක ගනිමින් බොදු උරුමය ආරක්ෂා කර දෙන්නට අපේ නෙල්ලිගල හාමුදුරුවෝ ඉදිරිපත් ව සිටිති. වතුරකුඹුරේ ධම්මරතන හිමි, සම්බුදු දහමට, බෞද්ධ ජනතාවට, උපන් බිමට, ගහට කොළට, සතා සීපාවට ආදරය කරන උන්වහන්සේ නෙල්ලිගල හාමුදුරුවෝ නමින් ප්‍රකට වූයේ ද මෙසේ අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වෙමින් පැවැති නෙල්ලිගල පුදබිම බේරාගෙන ආරක්ෂා කොට ගත් නිසා ය. අද නෙල්ලිගල පුදබිම දෙස් විදෙස් බොදුනුවන්ගේ ආකර්ශණය දිනාගත් ගෞරවාදරයට ලක් වූ පුදබිමකි. මේ, අස්ගිරි මහා විහාර කර්මාචාර්ය යටිහලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ජීවිත අත්දැකීම් පිළිබඳ කළ සාකච්ඡාවක සාරාංශයකි.

ගමට ආදරය කරන, ගමේකමට ආදරය කරන ඔබ වහන්සේගේ ළමා කාලය ගෙවෙන්නේ බොහොම සුන්දර ගැමි පරිසරයක. ඒ මතකයේ චමත්කාරජනක බව අදටත් ඔබ වහන්සේගේ සිතට දැනෙවා ඇති නේද අපේ හාමුදුරුවනේ.

ලස්සන කඳු වළල්ලකින් වටවුණු, යලට මහට සරුසාර වන රෑනගල කෙත්යාය අයිනේ මගේ ගම පිහිටලා තිබුණේ. මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වතුරකුඹුර කියන සුන්දර ගම. අපි කොල්ලො කුරුට්ටො කාලේ ගත කළේ බොහොම සුන්දර ළමා කාලයක්. ගහකොළ, කුරුලු කොබෙයියන්, සතා සීපාවුන්, ඇළේ දොළේ ඉන්න දණ්ඩියාගේ පටන් අපේ ඇටමිදුළු දක්වා ම බද්ධවෙලයි තිබුණේ.

නාගරික පරිසරවල මොනතරම් කටයුතු කළත්, රටේ ලෝකයේ කොතැන ගියත් ළමා කාලයේ හිතේ ඇඳුණු දේ, ගතට දැනුණු දේ, ඇසට පෙනුණ දේ, නාසයට දැනුණු දේ අමතක කරන්නේ කොහොමද? බහ තෝරන දා ඉඳන්, වැටි වැටී ඇවිදින කාලේ ඉඳන්, ස්වභාවික පරිසරයත්, ගැමිකමත් සමඟයි අප ජීවත්වුණේ. කන්දේ, ලන්දේ, වෙල් ඉපනැල්ලේ ඇවිදලා, කෙළි සෙල්ලම් කරමින්, ගඩාගෙඩි කමින් ගෙවුණු කාලයක්. අපට කන්න ඇපල් තිබුණේ නෑ. මිදි, පෙයාර්ස් තිබුණේ නෑ. ඒත් අපි දන්නවා, බක් මහ එද්දී අඹගස් පූදිනවා. කජු ගස්වල කජු නාඹර හැදෙනවා. නුවර කජු අඩුයි. ගමේ කජු ගස් කීය ද තිබුණේ, ගණන අපි දන්නවා. ජම්බෝල ගෙඩියක්, නාරං ගෙඩියක්, කන්න මා දං කැළේට ගිහින් මා දං කන්න අප හුරුවෙලා තිබුණා.

කෙළි දෙළෙන් ගත කළ ඒ සුන්දර ළමා කාලයේ දී මව්පියන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන්, යහළුවන්ගෙන් ඈත්වෙලා උතුම් පැවිදි ජීවිතයට එන්නට ඔබ වහන්සේගේ පුංචි හිත පෙළඹුණේ කෙසේද?

කසාවතක් දරාගෙන සසුන්කෙතේ තවත් එක් පුරුකක් වෙනවා කියන හැඟීම පුංචි කාලේ ඉඳන් මගේ හිතේ තිබුණු බලාපොරොත්තුවක්. මගේ ගමේ පන්සල වතුරකුඹුරේ ගැරැක්පිටිය පුරාණ විහාරය, මගේ ජීවිතයේ සොඳුරු මතකයන්ගෙන් හරි අඩක් රැඳුණු පුණ්‍ය භූමියක්. ඒ ජීවිතය පුරාම අප කළේ පින්කම්.

මම හරිම කැමැතියි මල් පූජාවට. අපි හැම පෝය දවසකටම යහළුවෝ සමඟ එකතුවෙලා අපේ ගමට යන පාරේ අම්බලම්පිටිය හන්දියේ පුංචි මල් දන්සලක් දුන්නා. මා හිතන්නේ, අවුරුදු පහළොවකට, විස්සකට එහා හැදුණු අරලිය මල් ගහක් තිබෙනවා නම්, මම බඩගාපු නැති අරලිය ගහක් නෑ. මම බඩගාපු නැති ඇහැළ ගහක් නෑ. මල් දන්සලෙන් පන්සලට මල් ගෙනයන මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට මල් ආසනයේ ඒ මල් පූජා කර තිබෙනවා දකින දසුන තමයි මගේ පුංචි කාලේ මහමෙරක් දැක්කා හා සමානව තිබෙන සුන්දර අත්දැකීම.

ඒ දර්ශනය තාම සිතේ ඇඳිලා තිබෙනවා. අපේ ගැරැප්පිටිය පන්සලේ විහාරයේ සුවඳ තාමත් මගේ නාසය දන්නවා. මල් ආසනයේ සුවඳ දැනෙනවා. මම තවමත් ඒ සුවඳට කැමැතියි.

මල් පිරිලා පෝය දවසේ ශාන්ත පරිසරය, පන්සලේ ලොකු හාමුදුරුවෝ, වතුරකුඹුරේ ඉස්කෝලේ දී අපි ගුටි කෑ අපේ විදුහල්පති, වර්තමාන මල්වතු මහා විහාරයේ ජ්‍යෙෂ්ඨ අනුනායක දිඹුල් කුඹුරේ විමල ධම්ම අනුනායක හිමිපාණන් වහන්සේගේ ආදර්ශය මට පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න පෙළඹවීමක් කරන්න ඇති.

ඒ වගේම වෙසක් මාසේ අපි පුංචි බීම දන්සලක් දෙනවා. මුදල් සොයා ගත්තේ ගෙයක් ගානේ ඇවිදලයි. ඒ කාලේ ඉඳන් මගේ ජීවිතයේ තිබුණේ පින හඹා යෑමක්.

ඒ පින්බර ජීවිතය අර්ථවත් කරන්නට, තමන්ගේ ආදරණීය දරුවා සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට උතුම් මව්පිය දෙපළ මොන තරම් පරාර්ථකාමී වන්නට ඇති ද? පැවිදි වන්නට යන ගමනට ඔබ වහන්සේට ආශිර්වාද කළ අම්මා අප්පච්චී ගැන පවසන්නට තිබෙන්නේ මොනවා ද?

දරුවො මොන තරම් සිටියත් අම්මා කෙනෙකුගේ හදවතේ වීරයා වෙන්නේ මහණ වුණ දරුවා. අපේ අම්මගේත් වීරයා මමයි. මුලදී, අම්මාගෙන් දුරස් වී පැවිදි වනවාට අම්මා කැමැති වුණේ නෑ. අම්මා සතියක් ඇඬුවා. මගේ සිත වෙනස්කරන්න උත්සාහ කළා. ඒත් මගේ අදහස වෙනස් වුණේ නෑ. එදා මම පැවිදිවෙන්න ගෙදරින් එළියට බහින දවසේ සමන්පිච්ච මල් පිරවූ වතුර වීදුරුවක් අරගෙනයි අම්මා ඉස්සරහට ආවේ.

“මගේ අප්පච්චිට දළදා හාමුදුරුවන්ගේ සරණයි. කවදාවත් වරදින්න එපා.” කියලා අම්මා කීවා. මගේ අම්මා කෝණාර මුදියන්සේලාගේ ප්‍රේමාවතී කෝනාර. අප්පච්චි වලිසුන්දර මුදියන්සේලාගේ පියරත්න වලිසුන්දර. අම්මයි, අප්පච්චියි හරිම ධෛර්යවන්ත චරිත. මහ පොළොවත් සමඟ හැප්පුණු චරිත. කන්න බොන්න නැතිව අපි දුක් වින්ඳේ නෑ. අම්මයි, අප්පච්චියි අපට සියල්ල ලබා දී තිබුණා.

වසර දාහතරක් පුරා ලැබූ ජීවිතයේ සෙනෙහෙබර අත්දැකීම්වලින් වෙන්වී ඔබ වහන්සේ ලද උතුම් පැවිදි ජීවිතයේ අත්දැකීම් පිළිබඳ මතකය සිහිපත් කළ හැකි ද?

2000 වසරේ අගෝස්තු මාසයේ අස්ගිරි විහාරයේ මංගල උපෝසථාගාරයේ දී මම සහෝදර භික්ෂූන් වහන්සේ දෙනමක් සමඟ පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. මගේ ගුරුදේව උත්තමයන් වහන්සේ ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට අස්ගිරි විහාරයේ අවුරුදු 5 ක් පමණ කාලය ගෙවලා මා යටිහලගලට යනවා. ඒත් සුන්දර ගමක්. ඒ නිසාම මා වැඩි ඇල්මක් දැක්වූයේ යටිහලගලට.

අපේ අස්ගිරි මහා විහාරයේ මුල්ලේගම සඟ පරපුරට අයිති එකම පැරැණි විහාරස්ථානය යටිහලගල රාජමහා විහාරයයි. අපේ පරම්පරාවේ කිසිදු ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියේ නෑ. පාළුවට ගිහින් තිබුණේ. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය පටන් ගත්තේ යටිහලගලින්.

යටිහලගල මිනිස්සු පන්සල් දෙකක් සමඟ බෙදී සිටියා. කෙතේ, බැතේ, මඟුලේ, මරණයේ පවා දායකයෝ දෙපැත්තේ. දීර්ඝ කාලයක් එතරම් උඩුමුල් ගිය ප්‍රශ්නයක්. පන්සල් භේදය තිබුණා. මේ ප්‍රශ්නය නිසා මිනිස්සු බොහෝ පව් පුරවා ගත්තා. පීඩා වින්දා. මගේ එකම අරමුණ තිබුණේ යටිහලගල මිනිසුන්ට සුගතිය අත්කර දෙන්නටයි. බොහෝ දුක් විඳලා සාකච්ඡා මාර්ගයෙන් ම ඒ ප්‍රශ්නය විසඳුවා. අද ඒ පන්සල් දෙකේම මිනිසුන් බොහොම සමඟියෙන් ජීවත් වෙනවා.

යටිහලගලට ඒකාලේ වතුර, විදුලිය නෑ. මගේ පුරුද්දක් තිබුණා. හැම සෙනසුරාදා දවසකම කිරි ආහාර සකසාගෙන දළදා හාමුදුරුවන්ට පූජා කරන්නට ගෙන යනවා. යටිහලගල ඉඳන් දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න දළදා මාළිගාවට කිලෝමීටර් 11 ක් පමණ තිබෙනවා. බස් එකේ යන්න ඒ කාලේ රුපියල් 12 ක් ඕනෑ.

දවස් තුනක් පාන්දර දෙකට නැඟිටලා කිරි ආහාර පිළියෙළ කරගෙන යටිහලගල ඉඳන් දළදා මාළිගාවට පයින් වැඩම කර තිබෙනවා. බස් එකට දෙන්න රුපියල් දොළහක් නැතිව. වැඩි ඈතක නොවෙයි මා මේ කියන්නේ 2005 - 2007 වගේ කාලයේ. ඉතින් කිරි ආහාර පූජා කරලා අස්ගිරියට ගිහින් ලොකු හාමුදුරුවන්ගෙන් බස් එකට මුදල් ඉල්ලාගෙන ආපසු එනවා.

ජරා ජීර්ණ වෙමින් තිබුණු යටිහලගල රාජමහා විහාරය සංවර්ධනය කරන්නට, යටිහලගල රාජමහා විහාරය ලෝකයට අරගෙන යන්නට මා බොහෝ කැප වුණා.

බොදු ජනතාව ඔබ වහන්සේ හඳුනන්නේ බොහෝ පරිත්‍යාගශීලි හිමිනමක් ලෙසට යි. ඒ ගැන පවසන්නට තිබෙන්නේ කුමක් ද?

පින හඹා යෑම මගේ පුරුද්දක් බව කීවානේ. ලංකාවේ විහාරස්ථාන දහයකට සෑ රදුන් වහන්සේලා සාදවා දෙන්නට මට හැකි වුණා. විහාර ගෙයක් නැති පන්සල්වලට විහාරාරාම සාදවා දුන්නා. අද මම සතුටුවන සුවිශේෂී දෙය ලංකාවේ ආනන්ද බෝධි වංස කතාවක් අලුතෙන් ලියන්නට මට හැකියාව ලැබීම යි. ඉන්දියාවේ වැඩ සිටින ආනන්ද බෝධි හාමුදුරුවන්ගෙන් ලබාගත් බෝධි අංකුර 800 ක් මේ වන විටත් ලංකාවේ විහාරස්ථානයන්ට බෙදා දී තිබෙනවා. ඒවාට බොදු ජනතාව වන්දනා මාන කරනවා. මේ වන විටත් මා සතුව බෝධින් වහන්සේ තුන්සිය නමක් වැඩ සිටිනවා. අවශ්‍ය ඕනෑම කෙනකුට උන්වහන්සේ පරිත්‍යාග කරනවා. ඒ වගේම මම දහස් ගණන් තරුණ ප්‍රජාව ධර්මයට අරගෙන තිබෙනවා. දුගතියෙන් ගලවලා සුගතියට යොමු කර තිබෙනවා.

එක් අවස්ථාවක බෙලිගල හා රතුගල කියන සාම්ප්‍රදායික ගම්මාන දෙක අන්‍යාගම්කරණය වෙන්නට ගියා. විශේෂයෙන් ම ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ආරාධනාවකට අනුව ආදිවාසී ජන උරුම විහාරය නමින් විහාරයක් දඹාන ගුරුකුඹුරේ ගොඩ නැඟුවා. ඒ තුළින් ආදිවාසී ගම්මානයක් තෙරුවන් සරණ ගියා.

සම්බුදු දහම රැකගැනීම වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන ඔබ වහන්සේ දෙස් විදෙස් බෞද්ධ ජනතාව අතර වඩාත් ගෞරවාදරයට පාත්‍ර වී වැඩ සිටින්නේ අන්තවාදී පිරිස් විසින් බෞද්ධයන් වෙතින් උදුරා ගන්නට වෑයම් කරනු ලබන බෞද්ධ උරුමයන් ආරක්ෂා කරගන්නට වෙර වීරිය දරන ස්වාමීන් වහන්සේ නමක් ලෙසයි. තරුණ ස්වාමීන් වහන්සේ නමක් ලෙස ඔබ වහන්සේ ඒ සඳහා ආරම්භක පියවර තබන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන්. ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකි ද?

මේ පින්බිමට නෙල්ලිගල කියලා නම දැම්මේ මම. වතුරකුඹුරේ මිනිස්සු තවමත් එන්නේ ගලට යනවා කියලයි. කළුගල කියලයි කියන්නේ. අපි පුංචි කොල්ලො කාලේ මෙහි බෝ පැළයක් සිටෙව්වා. අන්‍යාගමිකයන් සිටිය පෙදෙසක් නිසා ඒ කාලෙම බෝ ගස කපා විනාශ කර දමා තිබුණා.

නෙල්ලිගල කඳු පර්වතය ගැන ලස්සන ජනප්‍රවාදයක් තිබෙනවා. ඒ කාලයේ මෙහි ලස්සන ගල් දොරක් තිබුණාලු. ගල්දොර ඇතුළේ රනින් කළ දෑකැති, නඟුල්, පෝරු ලෑලි ආදී කෘෂිඋපකරණ තිබුණාලු. යටිනුවර ජීවත්වන කැමැති අයට ඇවිත් රන් දෑකැති තුනක්, රිදී දෑකැති පහක් ගෙනගොස් කුඹුරේ ගොයම් කපා ආපසු ගෙනවිත් තබන්නට පුළුවන්. දවසක් මේ ගල්දොරේ යතුර ගෙන යද්දී එක් මිනිසෙක් අතින් යතුර කුඹුරට වැටිලා මඬේ සැඟවී ගිහින්. යතුර වැටුණු කුඹුරට යතුර කුඹුර කියන නම් ලැබුණා. ටික කාලයක් යද්දී ව්‍යවහාරයේ පහසුව පිණිස යතුර කුඹුර වතුර කුඹුර වුණා. වතුර කුඹුරේ යතුර නැති වූ නිසා ලෝකයාගෙන් නෙල්ලිගල වහන්වෙලා ගියා. හුදකලා වුණා. එතැන් පටන් අවුරුදු සිය දහස් ගණනකට පස්සේ එම යතුර නැති වූ වතුර කුඹුරේ ඉඳලා මා යතුර අරන් ඇවිත් නෙල්ලිගල දොර විවෘත කළා. ලෝකයට. රත්තරන් කෘෂි උපකරණ ගන්න නොවෙයි. සසුන් කෙත අස්වද්දන්නට. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන් හදන්නට. සත්වග සිත් පිනෙන් පුරවන්නට.

එදා මේ භූමිය මහ කැලෑවක්. පාරක් නෑ. විදුලිය නෑ. එහෙත් මාත් එක්ක මේ භූමිය නිදහස් කරගන්නට සේනාවක් වගේ හිටියා මහා තරුණ පිරිසක්. මගේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ටික මේ පින් බිම ගොඩ ගන්නට බොහෝ සේ වෙහෙස මහන්සි වුණා. අවට පන්සල්වල ස්වාමීන් වහන්සේ මහා ශක්තියක් වුණා. 2012 අවුරුද්දේ මේ භූමිය නිදහස් කර ගන්න ගෙන ගිය උත්සාහය යුද්ධයක් වගේ. විවිධ ප්‍රශ්න ආවා. අන්‍යාගමික ප්‍රශ්න. පළාතේ සමහර දේශපාලනඥයින් අපට රිදෙව්වා. අන්තවාදී මුස්ලිම් කල්ලියක් ඇවිත් පල්ලියක් හදන්නට සූදානම් වුණා.

එදා අපේ සිත තිබුණේ නෙල්ලිගල කඳු මුදුණේ ශාක්‍යසිංහ සෑය හදනවා කියන අධිෂ්ඨානයේමයි. දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගල පුරවරයේ සුදෝ සුදුවට බබළන, අහස් කුස දක්වා විහිදුන මහා සෑයක් සෑදීමයි.

එහිදී දායක පින්වතුන් දැක්වූ අනුග්‍රහය සිහිපත් කළ යුතුමයි. සෑය සාදා නිම කරන්නට තිබුණේ දින අනූවයි. කිලෝමීටර දෙක හමාරක් දුර සිට ගල් අදින්නට ඕනෑ. අඟල් 12 ක් දිග අඟල් 06 ක් පළල ගඩොලු දෙදහසක් ගිහින් තිබෙනවා. හැම වැලි කැටයක්ම ඇද්දේ අපි කරපිටින්. අපට කන්න නෑ. බොන්න නෑ. මහ කැළයක්. කොස් ගෙඩියක් කාලා, වැල ගෙඩියක් කාලා, කුරුම්බා ගෙඩියක් බීලා. තේ ටිකක් නැතිව අපි හරියට දුක් වින්දා. හැබැයි ගැටතලේ පන්සලේ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට දානේ ටික බෙදලා, දානේ බාස්කට් එක නෙල්ලිගලට ගෙනත් දුන්නා. ටික දවසකට පස්සේ කොල්ලො ටික පව් කියලා අම්මලා රොටී ටික පුච්චලා ගෙනත් දුන්නා. එදා මෙදා තුර නෙල්ලිගල සංවිධානය වන්නේ තරුණයන්ගෙන්. නෙල්ලිගල අරමුණ තරුණයන් හැදීමයි. තරුණයන් විෂයය කරගත් පාඨමාලාවන් තිබෙන ආයතනයක්.

නෙල්ලිගල රැකගත් ඔබ වහන්සේ කූරගල පුදබිම රැක ගන්නටයි දැන් ඉදිරිපත් වී සිටින්නේ. මහා කැලෑවක, අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් මැද කන්ටේනර් පෙට්ටියක නැවතී සිටිමින් ඒ දුෂ්කර, අති බාරදූර ව්‍යායාමයට ඇප කැප වන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබුණේ කෙසේද?

මට ජීවිතේ විඳින්නට ලැබුණු දුෂ්කරතා පන්නරයක් වුණා. කටුක අත්දැකීම් මට දුන්නේ ඉන්ධනයක්. මට මෙතැනට එන්නට ශක්තියක් වුණේත් මා මුහුණ දුන් ප්‍රශ්නමයි.

පන්සිය පනස් ජාතක පොතේ එක ජාතක කතාවක හෝ නෑ බෝසතාණන් වහන්සේට සාධාරණයක් සිදු වූ තැනක්. ඇතෙක් ව ඉපදුණාම දළ දෙක ඉල්ලනවා. මුවෙක් ව ඉපදුණාම දං ගෙඩියට ගෙල තියනවා. රජෙක් වුණාම රජකම ඉල්ලනවා. බිරිඳ, දරුවෝ දෙන්නා ඉල්ලුවා. කරදරයක්ම පැමිණියත් බෝසතාණන් වහන්සේට පාරමිතා පුරා ගන්නට ආශිර්වාදයක් වුණා. මම ජීවිතේ ප්‍රශ්න ඒ වගේ දැක්කා. ඒවා ජීවිතයට අවියක් කර ගත්තා. වැලි කඩදාසියක් හැටියට දැක්කා. මුලින්ම වැලි කඩදාසියෙන් කපා දමන විට රළුයි. ටික වේලාවක් යද්දී එය ගෙවී යනවා. මනා නිමැවුමක් ලැබෙනවා. එනිසා ධර්මය තිබෙන ඇත්තාට ප්‍රශ්නය වනාහි වැලි කඩදාසියක් වගෙයි. හැම ප්‍රශ්නයක් ම විසඳාගෙන හැරවුම් ලක්ෂයකට එනවා.