Print this Article


අට්ඨකථාවෙන් දිස්වෙන ඉපැරණි හෙළ දීපය

අට්ඨකථාවෙන් දිස්වෙන ඉපැරණි හෙළ දීපය

ත්‍රිපිටකයේ ගැඹුරු පද පාලි භාෂාවෙන් විවරණය කළ අට්ඨකථා නම් ග්‍රන්ථ සමුදායක් ශ්‍රී ලංකාවේ බෞද්ධ අප සතුව පවතී. ක්‍රි.ව. 5 සියවස දී පමණ බුද්ධඝෝෂාදී යතිවරුන් විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථ අප සතු ඉතා වටිනා දායාදයක් බව අමතක නොකළ යුත්තකි.

මේවායෙහි ලක්දිව සහ භාරතීය සිදුවීම් ගැන සඳහන් කොට ඇත්තේ ඒවා ඓතිහාසික ලේඛන බවට පත් කිරීමේ අරමුණින් නොව හුදෙක් ධර්ම කරුණු විවරණය කිරීමට අවශ්‍ය නිදර්ශන දැක්වීම් වශයෙනි.

අපගේ ඉතිහාස තොරතුරු ඇතුළත් ප්‍රධාන වංසකථා දෙක වන මහාවංසයෙහි හා දීපවංසයෙහි පවා දක්නට නො ලැබෙන ඇතැම් වැදගත් ඓතිහාසික කරුණු රාශියක් මෙම අටුවා ග්‍රන්ථවල තිබීම ඊට හේතුවයි.

මෙම පාලි අට්ඨකථා රචනා කළේ හුදෙක් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා විසිනි. සම්පජාන මුසාවාදය හෙවත් දැන දැන බොරු කීම වරදක් බව දත් උන්වහන්සේලාට දැන දැන බොරුකීමේ අවශ්‍යතාවක් නොවූ අතර, මූලික අභිප්‍රාය වූයේ ධර්ම කරුණුවලට විවිරණ සැපයීමයි.

අනෙක් අතින් විදේශිකයකු වන අට්ඨකථාචරිය බුද්ධඝෝෂ හිමියන්ට ලංකාවේ ඉතිහාසය ලියා තැබීමේ කිසිදු අවශ්‍යතාවක් ද නොවීය. මේ නිසා අටුවාචාරීන් වහන්සේලා ඇතුළු මහාවිහාරික යතිවරු පක්‍ෂග්‍රාහිත්වයෙන් තොරව සිංහලයාගේ සිරිත් විරිත්, ආහාර පාන, අධ්‍යාපනය, චින්තන රටාව, අපරාධ හා දඬුවම්, ආගම හා කලාව ආදියේ සියලු යහපත් හා අයහපත් තැන් විනිවිද දැක ඒවා නිසි පරිදි වාර්තා කිරීමට සමත් වූහ.

තවද දීපවංස හා මහාවංස සම්පාදකයන්ට මෙන් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් රජය හා ආගම අතර සම්බන්ධතාව තහවුරු කිරීමට සිදුවූ පරිදි අට්ඨකථා සම්පාදක තෙරවරුන්ට බලපෑමක් නොවීය. එබැවින්ම මහාවංස දීපවංස යන ප්‍රධාන වංශ කථා දෙකෙහි මෙන් රජවරු, ඔවුන්ගේ ජීවන තොරතුරු, ආගමික හා ජාතික අනුග්‍රහයන් ආදිය පමණක් වාර්තා කිරීමට අටුවාකරුවන්ට සිදු නොවුණි. එහෙයින්ම සිංහලයාගේ කැත්තේ උදැල්ලේ ඇඳුමේ පැළඳුමේ තොරතුරු පවා අට්ඨකථාවල විශ්වසනීය ලෙස සටහන් වේ. අට්ඨකථාවල පැරණි ශ්‍රී ලංකාව ගැන කියැවෙන කරුණුවලට විශ්වසනීය පදනමක් ගොඩ නැෙඟනුයේ ඒ අයුරිනි.

සිංහලයාගේ සමාරම්භය

විජය කුමරුගේ පැමිණීම හෙවත් සිංහලයාගේ සමාරම්භයත් බුදුරදුන්ගේ පිරිනිවීමත් සිදු වූයේ එක ම වර්ෂයක දී බව සමන්තපාසාදිකා නම් අටුවාවේ සඳහන් වේ. මෙම අටුවාවෙහි සිංහල ජාතියේ සංස්කෘතික සමාරම්භය ඇතුළු ශාසනික තොරතුරු රැසක් ද, අශෝක අධිරාජයා සමඟ දෙවනපෑතිස් මිහිපලුන් පැවැත් වූ හිතෛෂී බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මහින්දාගමනය සිදු වූ බවත්, ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය තහවුරු වූ අයුරුත් මැනවින් පෙන්වා දී තිබේ.

මෙරට අධ්‍යාපනය, චිත්‍ර, මුර්ති, කැටයම්, කාව්‍ය නාටකාදී කලාංගයන් පමණක් නොව ගෘහ නිර්මාණ ශිල්පය හා සුළු කර්මාන්තාදියත් ඉන්දියානු බලපෑමෙන් විකසිත වූ බව පැවසීම මහාවංශයට අනුකූල ය. බුදුදහම මෙරට ව්‍යාප්ත කරලීම සඳහා සිංහල මහ රජවරුන්ගේ දායකත්වය උපරිම අයුරින් ලැබුණු බව අටුවාකරු සඳහන් කරන්නේ මහත් අභිරුචියෙනි.

දේවානම්පියතිස්ස, වළගම්බා, සද්ධාතිස්ස ආදී රජවරුන් අපමණ ශ්‍රද්ධාවකින් ක්‍රියා කළ බව සඳහන් කොට ඇත. බුදුදහම ලංකාවට හඳුන්වා දීමෙන් පසු එහි චිරස්තිථිය සඳහා ස්ථිරසාර වැඩ පිළිවෙළ රාශියක් සිදුවී ඇත. අටුවාවලට අනුව මහාවංසයේ හෝ දීපවංශයේ සඳහන් නො වන වැදගත් විනය සජ්ඣායනාවක් ලංකාවේදී සිදුවිය. ථූපාරාමයේ දී සිදු වූ මෙයට භික්‍ෂූන් 68000 ක් රැස් වූ බව සඳහන් වේ.

සංඛ්‍යාත්මක ව බලන විට විෂමතා තිබිය හැකි නමුත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු වූවක් බව සිතිය හැකි ය. “තෙන ඛො පන සමයෙන ඛුද්ධො භගවා වෙරඤ්ජායං විහරති නළෙරුපුචිමන්දමූලෙ”යි සජ්ඣායනා කළ විට පෘථිවිය කම්පා වූ බව එහි සඳහන් වේ. මෙබඳු වැදගත් සිදුවීමක් වංස කථාවලට ඇතුළු නො වූයේ කවර නිසා දැයි විමසා බැලීම අටුවා හා වංස කථා දෙකෙහි ස්වභාවය තේරුම් ගැනීමට ඉවහල් වේ.

බුදු දහම රාජ්‍ය ආගමයි

ශ්‍රී ලාංකික රාජ පරම්පරාව සැලකූ විට මුල් වකවානුවේ දී දේවානම්පියතිස්ස රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික පදනමට දැමූ සවි ශක්තිමත් අත්තිවාරම කිසි දිනෙකත් අමතක නොකළ යුත්තකි. දේශපාලනය, ආගම හා නීතියේ කාර්යභාරය පිළිබඳ පැහැදිලි විනිශ්චයක් ඔහුට තිබුණු බව අටුවාවලින් පෙනේ. විශේෂයෙන් ශාසනය පිළිබඳව සැලකීමේ දී ලංකාවේ ශාසනය පිහිටුවීම සඳහා අවශ්‍ය වෙහෙර විහාර, ස්තූප, උපොෂථාගාර, උද්‍යානාදිය, ශ්‍රී මහා බෝධි ශාඛාවන් දිවයිනේ නොයෙකුත් ස්ථානවල රෝපණය කරවීම මෙන්ම තම මෙහෙසිය ඇතුළු හෙළ කතුන් පන්සීයක් පැවිදි කිරීම වැනි විශාල කාර්‍යභාරයක් දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉටු කරන ලදී. මේ හැරුණුවිට රුවන්වැලි මහසෑය කරවන ලෙස අයැද ශිලා ලේඛනයක් කරවා අනාගත පරපුරට දන්වා සිටි බව ද සඳහන් ය.

මෙලෙස බුදුදහම රාජ්‍ය ආගම බවට පත්කිරීමේ මූලික පියවර තබන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසින් බව අවිවාදයෙන් පිළිගත යුතු ය. දුටුගැමුණු පරාක්‍රමබාහු වැනි රජවරුන්ට මෙම ක්‍රමය පූර්වාදර්ශයක් වූ බව නො අනුමාන ය.

බුදුදහම ගැන අවදියෙන්

ක්‍රි.ව. 5 සියවස දක්වා රාජාවලියේ රජවරු කීප දෙනකු පිළිබඳ බොහෝ තතු සටහන් කර තැබීමට අටුවාකරුවන් මහත් සේ රුචිකර ඇත. මේ අතර දෙවනපෑතිස්, දුටුගැමුණු ආදී රජවරුන් පිළිබඳ මහත් භක්තියකින් සිහිපත් කළේ ඔහුගේ උදාර සේවාව නිසා විය යුතු ම ය. ඒ හැරුණු විට සද්ධාතිස්ස, භාතිය, වසභ, මහදාඨිකමහානාග, වළගම්බා, කූටකණ්ණතිස්ස දාඨාකනාග යනාදී රජවරු ගැන ද කීමට ඔවුහු ප්‍රිය කළහ.

රාජ්‍ය පාලනය ගැන පමණක් නොව සද්ධාතිස්ස රජුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු රැසක් ද අටුවාවල දක්නට ලැබේ. බුද්ධඝෝෂ හිමියන් එම රජු ‘ධාර්මික තිස්ස’ යන නමින් හඳුන්වා ඇත. දිනක් මෙම රජතුමා අන්තඞපුර ස්ත්‍රීන් සමඟ බණ ඇසීමට ගොස් මුහුණ පෑ බලවත් අකරතැබ්බයක් ගැන මනෝරථපූරණි නම් අටුවාවේ සඳහන් වේ.

එසේම භාතිය රජු අධිකරණමය බලය පවා භික්ෂූන්ට ලබා දී තිබූ බව සමන්තපාසාදිකාවේ සඳහන් වේ. මහාවංස දීපවංස දෙකෙහි සඳහන් රජවරුන් අතරින් අතිශය දැහැමි රජවරුන් කීපදෙනකු ගැන පමණක් අටුවාවල සඳහන් වේ. එසේ සඳහන් වන්නේ ද සුවිශේෂ කරුණක් දැක්වීම සඳහා ය.

ඒ අතර මහාවංසයේ සඳහන් නො වන රජවරුන් කීප දෙනකු පිළිබඳව ද සඳහන් වේ. නිදසුනක් ලෙස වංස කථාවල සඳහන් නොවන දීපරාජ නම් රජකු ගැන විභංගට්ඨකථාවේ සඳහන් වේ. මොහු නාගදීපයේ පාලනය ගෙන ගිය අප්‍රධාන රජකු බව සමහරු සිතති.

මහානාග නම් තවත් රජෙකු සිය සොහොයුරා සමඟ විදේශයකට ගොස් පැමිණි බව අටුවා ග්‍රන්ථ දෙකක ම සඳහන් වේ. අලන්දනාගරාජ මෙහෙසිය හා වන්දමුඛතිස්ස යන රජුන් ගැන ද වංස කථාවල සඳහන් වේ. පිතුරාජ නමින් අටුවාවල සඳහන් වන වළගම්බා රජු ගැන ද වැදගත් කරුණු සඳහන් වී ඇත.

මොවුහු බුදුදහම ගැන සැම මොහොතකම අවදියෙන් විසූහ. මෙම රජවරුන් භක්තිය පමණක් නොව බුද්ධිය ද ඇතිව ආගම ඇදහූ අය වෙති. සමහර රජවරුන් ධර්මය පිළිබඳ තම ශක්ති ප්‍රමාණයෙන් පර්යේෂණ පවා සිදු කිරීම මීට සාක්ෂි වේ.

උදාහරණයක් ලෙස “සෙය්‍යථාපි භික්ඛවේ යෙ කෙවි පුප්ඵගන්ධා වස්සිකං තෙසං අග්ගමක්ඛායති” (මහණෙනි, යම්කිසි මල් සුවඳවල් වේ ද, දෑසමන් මල් සුවඳ ඒ අතර ප්‍රධාන වේ.) යන බුද්ධ දේශනාව පිරික්සා බැලීමට කාමරයක නොයෙක් වර්ගයේ මල් විහාර ගෙයි පුරවා මඳ වේලාවකින් එහි පිවිසි භාතිය රජු දෑසමන් මල් අතිශය සුවඳවත් බව තීරණය කළ බව පවසයි.

මෙම රජවරු ලංකාව වෙනත් රටවල් අතර වැදගත් වන්නේ වෛද්‍ය කෘෂිකර්ම ආදී විද්‍යාවන් නිසා නොව ආගම නිසා බව දැන සිටියහ.

එනිසා ඊට ගරු කළහ. භික්‍ෂූන් රැක බලා ගත්හ. කූටකණ්ණ රජු චූලනාග තෙරුන් කෙරේ මහත් ලැදියාවෙන්, උන්වහන්සේගේ ඇඟිල්ලක තිබූ ගෙඩියක සැරව මුඛයෙන් ගත් බව සඳහන් වී තිබීම මෙරට රජවරුන් භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි භක්තිමත් වූ ප්‍රමාණය හඳුනා ගැනීමට කදිම නිදසුනකි. මෙරට රජවරුන් සම්බන්‍ධ මෙවන් තොරතුරු රාශියක් අටුවාවල සඳහන් වේ.