Print this Article


උඩුගම්බලා පිහිනීම

උඩුගම්බලා පිහිනීම

වරදක් දුටු තැන එය වරදක් ලෙස පෙන්වා දෙන කලණ මිතුරා ඇසුරු කළ යුතු ය. කෙනෙකු වරදින් මුදවාලීම හරියට නිධානයක් පෙන්වා දීමක් හා සමාන වන්නේ ය.

පින්වතුනි, බුදුන් වහන්සේ වදාරන්නේ කිසියම් පුද්ගලයෙකු අතින් වරදක් සිදුවුවහොත් එම වරද ඉතාමත් කරුණාවෙන් පෙන්වාදිය යුතු බවයි. අනුන්ගේ වරදක් දුටු විට එය පෙන්වාදීම උතුම් ගුණයක් සේ දකී. දරුවකු හෝ වේවා වැඩිහිටියකු හෝ වේවා වැරැද්දක් කළ විට ඊට නිසි පිළියම් යෙදිය යුතු ය. එනම් වරදේ ස්වරූපය හා එහි ප්‍රතිවිපාක පෙන්වාදී, වරදට නිගාකොට, වරද කළවුන්ට නිසි දඬුවම් ලබාදිය යුතු ය. වරදින් මිදුණු තැන සැනසුම එතැන ම ය.

වරදට ප්‍රමාණයක් නැත. කවුරු කළත් වරද වරද ම ය. කුඩාවට හෝ සිදුවන වරද වරද ම ය. එහි දිග

පළලක් නැත. එබැවින් වරදක් දුටු තැන එය වරදක් බව පෙන්වාදී, අවවාද මෙන් ම දඬුවම ද ලබාදිය යුතු ය. එලෙස වරද දැක එම වරදට නිගාදී ඉන් මුදවාගනු ලබන තැනැත්තා හරියට උපමා කොට ඇත්තේ කිසියම් නිධානයක් පෙන්වාදෙන තැනැත්තකු ලෙසයි. එබඳු කෙනෙක් දුටු විට ඔහු සේවනය කළ යුතු ය. ඇසුරු කළ යුතු ය. එබඳු සත්පුරුෂයකු ඇසුරු කිරීමෙන් මෙලොව සහ පරලොව යහපත සිදුවන බව බුදුන් වහන්සේ වදාළේ මෙලෙසිනි.

සැවැත්නුවර වසන එක්තරා බමුණෙකි. ඔහු පෝසත් බමුණෙකි. නමුත් ඔහු පසු කල ඉසුරු සම්පත්වලින් පිරිහී ගියේ ය. ඔහු වරදින් ගලවා ගන්නට ඔහුගේ මිතුරන් ද ක්‍රියා කළේ නැත. ධනයෙන් පිරිහුණු ඒ බමුණු හට රාධ නමින් පුතෙකි. තමාගේ දිළිඳු බව නොසැලකුූ ඔහු රාධ කුමරුට තරමක ඉගෙනීමක් ලබාදුණි. කුමරුගේ මව්පියෝ ඔහු තරුණ කලම මිය පරලොව ගියෝ ය.

දුප්පත්කම එන්න එන්නම වැඩිවිය. එහෙත් ඔහු තම පරපුර, කුලය ගැන සිතා කිසි විටකත් වැරදි ක්‍රියා මඟින් ධනය සෙවුමට පෙළඹුණේ නැත. එහෙත් ඔහුට දිවි රැකගැනීමට මාර්ගයක් නොතිබිණ. ඔහු තවත් දිළිඳු විය. එවිට රාධ කුමරු මෙසේ සිතයි.

මම වෙහෙරට ගොස් භික්ෂූන් වහන්සේට උවටැන් කොට (වත් කොට) යැපෙන්නෙමි. එසේ සිතන කුමරු වෙහෙරට ගොස් තෙරුන් වහන්සේ හමුව, උන්වහන්සේලා වෙනුවෙන් කළයුතු වතාවත්, ආවතේව, ඇමදීම්, වැඳීම් පිදීම් ආදි සකලවිධ කටයුතු කරන්නේ ය.

කාලය ගත වෙද්දී, රාධ කුමරුට මහණ වීමට සිතක් පහළ වුවත් ඒ අදහස ඉටුවූයේ නැත. නමුත් බුදුරජාණන් වහන්සේ රාධ කුමරුට රහත් බව ලැබීමේ වරම් ඇති බව දුටු සේක. බුදුපියාණෝ වෙහෙර හිඳ කුමක් කරන්නේ දැයි කුමරුගෙන් විමසූහ. එවිට කුමරු කියන්නේ තමන් සංඝයා වහන්සේට වත් පිළිවෙත් කරන බවයි. එසේ කිරීමෙන් තමන් කුමක් ලබන්නේ දැයි පෙරළා බුදුහු විමසූ සේක. එවිට කියන්නේ තමන් පින් පමණක් ලබන බවයි. පින් පිණිස තමන් ඒ උවටැන් කරන බවයි. එම අවස්ථාවේ බුදුපියාණෝ භික්ෂූන්ගෙන් විමසන්නේ මේ කුමරු ඊට පෙර කිසියම් හෝ පුණ්‍ය කර්මයක් කර ඇද්දැයි විමසන මෙනි. එවිට සැරියුත් තෙරුන් මෙසේ වදාළහ. ස්වාමිනි, මා පිඬුසිඟා වඩින කල මේ තරුණයා මාහට බත් හැන්දක් බෙදා ඇත. ඒ පින ඇත.

ඉන් අනතුරුව බුදුපියාණෝ වදාරන්නේ මේ කුමරු හට රහත් වීමේ පින ඇත. එබැවින් මේ කුමරු මහණ කරන්න. එවිට සැරියුත් තෙරුන් විසින් රාධ කුමරු පැවිදි කරවන ලදි. තම ගුරුවරයාගේ අවවාද ඉතා කීකරුව පිළිගත් රාධ තෙරුන් භාවනා වඩා නොබෝ කලකින් ම රහත්ඵල ලැබූ සේක. මේ කතාව අරබයා බුදුන් වහන්සේ ඉහත කී ගාථාව දෙසූ සේක. එනම් වරද දැක, වරදට නිගාකොට සුදුසු පරිදි අවවාද දෙන කල්‍යාණ මිතුරා නිධානයක් පෙන්වන්නකු සේ දැකිය

යුතු ය. එබඳු නැණවතෙකු ඇසුරු කිරීමෙන් උතුම් යහපත සැලසේ. යනුවෙනි.

මේ දේශනාව තුළින් පෙනීයන්නේ අවවාදය ඉතාම වැදගත් වන බවයි. කෙනෙක් නිසි අවවාද ලදහොත් ඔහුට ලැබිය හැකි උතුම්ම සැපත ලද හැකි ය.

අසත් පුරුෂයා අවවාද පිළිනොගනී. ඔහුට අවවාද අනුශාසනා පෙනෙන්නට බැරිය. එය ඔහු

සිතන්නේ තමාට කරන ද්‍රෝහිකමක් ලෙසිනි. අද අප කෙනෙකුට අවවාදයක් දීමට යාමේ දි ඔහු එය සිතන්නේ තමන්ට අවැඩක් පිණිස කරන දෙයක් ලෙසිනි. අවවාද දීමෙන් ඔහු අප සමඟ වෛර බැඳ ගනියි. එය අසත්පුරුෂ ගතියකි.

අද පාසලක, පන්සලක හෝ වේවා කිසි තැනක ගුරුවරයකු හට තම සිසුනට අවවාදයක් දීමට

නොහැකි තත්ත්වයක් ඇත. නිවස තුළ මව්පියන්ටත් එසේ ම ය. එය ශෝචනීය කරුණකි. අවවාද කළහොත්, තරවටු කළහොත්, වරදක් පෙන්වා දුනහොත් ඉන් තරුණ දරුවන් කෝපයට පත්වෙයි.

කිසියම් සමාජයක් යහමඟට ගැනීමට නම් එම සමාජයේ පවත්නා දුරාචාරය මැඬලිය යුතු ය. සමාජයක් සදාචාර සම්පන්න වන්නේ වරද පිටුදැක ඊට නිසි පිළියම් යෙදූ විටදී ය. එබැවින් කෙනෙක් අප වරදින් මුදාගන්නේ නම් අප ඔහු ගැන සිතිය යුත්තේ නිධානයක් පෙන්වාදීමට පැමිණී සත්පුරුෂයෙකු ලෙසිනි. වරද යනු අකුසලයකි. එහිදි අකුසල විපාකය පව් වන්නා සේ ම, කුසල විපාකය පින් වන්නේ ය. එබැවින් පුංචිම පුංචි දෙයක් වුව, වරද වරදක් ම ය. එනිසා කුඩා හෝ වරදක් නොකර සිටීමට අප වගබලා ගත යුතු ය. වැරැදි බහුල සමාජයේ වැරැදි නොකර ජීවත්වීම පටිසෝතගාමි ප්‍රතිපදාවකි. එය උඩුගං බලා පීනා යෑමකි. නමුත් කෙසේ හෝ කළ යුතු ය. එබැවින් මේ පිළිබඳ සිතා කටයුතු කරමු. ඔබ සැමට තෙරුවන් ගුණ බෙලෙන් යහපතක් ම සිදුවේවා.