Print this Article


තුන් පිටකයට පිවිසුමක්

තුන් පිටකයට පිවිසුමක්

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයත්, පනවා වදාළ විනයත් “ත්‍රිපිටකය” ලෙස හැඳින් වේ. එයින් විනය, “විනය පිටකය” ලෙසත් ධර්මය, “සූත්‍ර පිටකය” හා “අභිධර්ම පිටකය” ලෙසත්, පිටක තුනකට බෙදා දක්වා ඇත. පිටක යන්නෙහි අර්ථය භාජනය, කූඩය, සංග්‍රහය හෙවත් එකතුව ලෙස ගත හැකි ය. මෙහි පිටක යන්න යොදාගෙන ඇත්තේ “සංග්‍රහය” යන අර්ථයෙනි.

ථෙරවාදයේ අනන්‍යතාව

ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි වූ තෘතීය මහාශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේලාගෙන් අඛණ්ඩ ව පැවතෙන බෞද්ධ සම්ප්‍රදාය ථෙරවාදය නම් වෙයි. මෙහි මාධ්‍යය පාලි භාෂාවයි. බුද්ධ දේශනය කිසිදු වෙනසට බඳුන් නො කොට ඒ අයුරින්ම පවත්වාගෙන යාම ථෙරවාදයේ අනන්‍යතා ලක්ෂණය යි. ථෙරවාදී භික්ෂූන් වහන්සේලා චීවරය සකස් කරගන්නා ආකාරය මීට සරලම උදාහරණයක් ලෙස දැක්විය හැකි ය.

එදා මගධ කෙත පෙන්වා එය උදාහරණයක් ලෙස ගත් බුදුරදුන් එහි ලියදි සකස් කර තිබෙන ආකාරයට කඩ කපා චීවරය සකස් කර ගැනීමට උපදෙස් ලබා දුනි. එදා මෙදා තුර කිසිදු වෙනසකට බඳුන් නො කොට චීවරය සකස්කර ගනුයේ එම පැනවීමට අනුකූලව ය. පැවිදි කිරීම්, උපසම්පදාව යනාදී ශාසනික විනය කර්ම සියල්ල ද මුල් බුද්ධ වචනයට අනුකූලව ම සිදු කෙරේ. ථෙරවාදයේ අනන්‍යතාව එයයි.

බෝධිසත්වයන් වහන්සේ ඉහළින් ම පිළිගන්නා මහායානය

දෙවැනි ධර්ම සංගායනාවෙන් පසුව බෙදී ගිය අනෙක් බෞද්ධ සම්ප්‍රදාය මහායානය යි. මුල් බුද්ධ දේශනය යම් යම් වෙනස්කම්වලට බඳුන් කරමින් පවත්වාගෙන යාම එහි දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණයයි. මේ අනුව ථෙරවාදය හා මහායානය යනු බුදු දහමේ මහා ශාඛා දෙකයි. බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියක් ථෙරවාදයේ ඉගැන්වෙයි. බෝධි සත්ත්වයන් වහන්සේ ඇතුළත් වනුයේ එයින් පසු පෙළටයි.

එහෙත් මහායානිකයෝ බුදුරජාණන් වහන්සේ ළඟට බෝධිසත්වයන් වහන්සේ ඉහළින් ම පිළිගනිති. ථෙරවාදීන්ගේ ඉගැන්වීම ඉහත කී තුන්තරා බෝධියෙන් එක් බෝධියකින් නිවන් ලැබිය හැකි බවයි. බුද්ධත්වය ලැබීම අතිශය දුෂ්කර හෙයින් එය ස්වල්ප දෙනකු විසින් පිළිපැදිය හැකි යැයි ථෙරවාදීහු සලකති. එහෙත් මහායානිකයන් ගේ මතය සියල්ලන් විසින්ම බුද්ධත්වය ලැබිය හැකි බවත්, එයම ශ්‍රේෂ්ඨ වන හෙයින් ඒ සඳහා ම උත්සාහ කළ යුතු බවත් ය.

එබැවින් බෝධි සත්ත්ව සංකල්පය මහායානයේ ප්‍රමුඛ ඉගැන්වීමකි. බෝධි සත්ත්ව වන්දනාව ද ඒ ඔස්සේ ම වර්ධය වුණි. මහායානයේ මාධ්‍ය භාෂාව සංස්කෘතයි.

අද වන විට ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාර් යනාදී රටවල ථෙරවාදය පැතිරී ඇති අතර, චීනය, කොරියාව හා ජපානය යනාදී රටවල පැතිරී ඇත්තේ මහායානය යි.

ත්‍රිවිධ ශාසනය

බුදුරදුන්ගේ අනුශාසනාව පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ ලෙස ත්‍රිවිධාකාර වන්නේ ය. එයින් පර්යාප්ති නම් සියලු දුකින් මිදී නිර්වාණාවබෝධය පිණිස දේශනා කළ ධර්මය හෙවත් බුද්ධ දේශනාවයි. එකී සෑම බුද්ධ දේශනයක් තුළ ම විමුක්තිය නමැති රසය වහනය කරන හෙයින් රස වශයෙන් ඒකවිධ හෙවත් එකක් ය. එය පහාරාද සූත්‍රයේ දී බුදුරදුන් වදාරා ඇත්තේ “යම් සේ මහ මුහුද රස වශයෙන් එකම ලුණු රස වේ ද එසේම මෙම ධර්ම විනය රස වශයෙන් එකම විමුක්ති රස වේ ය” යනුවෙනි.

බුද්ධ වචනය කවර විභජනයකට ලක් කළත් එහි අන්තර්ගතයෙහි පරමාර්ථය භව චක්‍රයෙහි නිමාව සනිටුහන් කරන නිවන මුදුන්පත් කර ගැනීමයි. මෙම එක් වැදෑරුම් වර්ගීකරණයට අනුව සමස්ත බුද්ධ භාෂිතය ම බුදුරදුන් ගේ ශ්‍රී මුඛ දේශනාවක් වශයෙන් එකක් වන අතර නිවන සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගැනීම වශයෙන් ගුණාත්මකව ද එක් වැදෑරුම් ය.

ධර්ම විනය වශයෙන් බුද්ධ දේශනාව දෙවැදෑරුම් ය. ප්‍රථම බුද්ධ වචනය, මධ්‍යම බුද්ධ වචනය, පශ්චිම බුද්ධ වචනය වශයෙන් හෝ පෙර කී විනය, සූත්‍ර, අභිධර්ම වශයෙන් ත්‍රිවිධ ය. මෙම තෙවැදෑරුම් බෙදීම් අතර ඉතා ප්‍රකට හා ජනපි‍්‍රය බෙදීම නම් මෙම විනය, සූත්‍ර හා අභිධර්ම නම් වූ ත්‍රිපිටක වර්ගීකරණය යි. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නනිකාය හා ඛුද්දක නිකාය වශයෙන් පංචවිධ ය. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන ආකාරයට නව විධ ය. නවාංග සත්ථු ශාසනය යනු ද එය යි.

ධර්මය අනුව පිළිපැදීම

ප්‍රතිපත්ති ශාසනය යනු ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හෙවත් දේශනා කළ ධර්මය අනුව පිළිපැදීම යි. ප්‍රතිවේද ශාසනය නම් ධර්මානුකූල ප්‍රතිපත්ති ඔස්සේ ආර්ය මාර්ගයෙහි ගමන් කොට ලබන ප්‍රතිවේදය හෙවත් සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල, අරහත් මාර්ගඵල යන සතර මග සතර ඵලයයි. පර්යාප්තියෙන් ප්‍රතිපත්තියත්, එයින් ප්‍රතිවේධයත් ලැබිය යුතු ය. පර්යාප්තියෙන් තොරව ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිවේධයක් හෝ නො ලැබෙයි. එබැවින් මෙහි පර්යාප්තිය ම මූලික වන බව වටහාගත යුතු වෙයි.

ප්‍රථම හා අවසන් බුද්ධ වචනය

බුදුරදුන්ගේ ප්‍රථම උදානය හෙවත් ප්‍රථම බුද්ධ වචනය මෙයයි.

අනේක ජාති සංසාරං -

සන්ධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවේසන්තෝ -

දුක්ඛා ජාති පුනප්පුනං

ගහකාරක දිට්ඨොසි -

පුන ගෙහං න කාහසී

සබ්බා තෙ ඵාසුකා භග්ගා -

ගහකූටං විසංඛිතං

විසංඛාර ගතං චිත්තං -

තණ්හානං ඛයමජ්ඣගා

නැවත නැවත ඉපදීම දුකකි. එබැවින් මේ පංචස්කන්ධය නමැති ගෙය සාදන වඩුවා සොයමින් මෙතෙක් කල් සසර සැරිසැරූයෙමි. තණ්හාව නමැති වඩුව, මා විසින් නුඹ දක්නා ලද්දෙහි ය. කෙලෙස් නමැති පරාල බිඳ දැමුවෙමි. නැවත නුඹ මට ආත්ම භාව නමැති ගෙය නො තනන්නෙහිය. අවිද්‍යා නමැති කැණිමඩල සුණු විසුණු කෙරිණි. තණ්හාව සිඳී ගියේ ය. මාගේ සිත නිවනට පත් විය.

අන්තිම අවවාදය වශයෙන් භික්ෂූන් වහන්සේලා ඇමතූ බුදුරජාණන් වහන්සේ

හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වය

ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ

මහණෙනි, කරුණාවෙන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු ය. එබැවින් නොපමාව සසුන්කිස සම්පූර්ණ කරත්වා.

ඉහත දැක් වූ ප්‍රථම බුද්ධ වචනයේ පටන් අන්තිම බුද්ධ වචනය (දෙ බුදු වදන්) අතර ඇති පන්සාළිස් වසර මුළුල්ලේ දේශනා කළ යම් පමණක් වූ බුද්ධ භාෂිතයෝ වෙත් ද ඒ සියල්ල විනය, සූත්‍ර, අභිධර්ම නම් වූ පර්යාප්ති ශාසනයට ඇතුළත් වෙයි. ඒවා මධ්‍යම බුද්ධ වචනය නම් වෙයි. එනම් ප්‍රථම හා අන්තිම බුද්ධ වචනය අතරමැද හෙවත් දෙබුදු වදන් මධ්‍යයේ දේශනා කළ හෙයිනි. බුදුරදුන් බුද්ධත්වයට පත් 35 වැනි වියේ සිට 80 වැනි විය දක්වා වූ කාලය මෙම පන්සාළිස් වසරයි.

නවාංග සත්ථු ශාසනය

බුදුරදුන් විසින් ම සිදු කරන ලද ධර්මයේ වර්ග කිරීමක් ලෙස ‘නවාංග සත්ථු ශාසනය’ හඳුන්වා දිය හැකි ය. ධර්මය වෙන් වෙන් වශයෙන් සංග්‍රහ කිරීමක් ලෙස එය හඳුනා නොගත යුතු ය. බුද්ධ දේශනාවේ විශේෂ ලක්ෂණ ලෙස දැකිය හැකි අංගයන් මතුකර දැක්වීමක් එමගින් සිදුකර ඇති බව වටහා ගැනීම වඩාත් යෝග්‍ය ය.

ප්‍රථම ධර්ම සංගායනාවේ දී ධර්ම විනය පිටක වශයෙන් තුනකටත්, ග්‍රන්ථ වශයෙන් විසි එකකටත් (21) බෙදුණ නමුත් එම බෙදීම් සිදුකර ඇත්තේ මෙම නවාංග සත්ථු ශාසනයට අනුව නොවේ. එහෙත් පශ්චාත් කාලීන අටුවාචාරීන් වහන්සේලා ත්‍රිපිටක ග්‍රන්ථ එම නවාංගය සමග ගැළපීමට උත්සාහ ගෙන තිබේ.

මෙම ලිපියේ තවත් කොටසක් මැදින් පුර පසළොස්වක පෝදා ( 28) පත්‍රයේ පළවේ.