Print this Article


ධර්මාවබෝධ කරන්නෝ

ධර්මාවබෝධ කරන්නෝ

භාග්‍යවතුන් වහන්සේ නේරංජා නදිය අසබඩ අජපල් නුගරුක සෙවණෙහි වැඩ සිටියදී සහම්පතී මහබඹ තෙමේ දම් දෙසුමට ඇරයුම් කළේ ය.

එවිට භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලද්දී දුටුවේ පියුම් පොකුණක් බඳු ලොවකි. ඒ පොකුණෙහි ‍නොමේරූ පියුම් පොහොට්ටු දියෙහි ගිලී තිබුණේ ය. මේරූ පොහොට්ටු දිය මතුපිට අවුත් දියෙහි තැවරී තිබුණේ ය. හිරු රැස් වැටෙන සැණින් පිපෙන මට්ටමේ තිබූ පොහොට්ටු දියෙන් උඩට නැඟී තිබුණේ ය.

ධර්මාවබෝධය පතා සසරේ පින් පිරූ පුද්ගලයෝ දියෙන් උඩට මතු වී හිරු රැස් පතා සිටින මෝරාගිය න‍ෙළුම් පොහොට්ටු බඳු ය. ධර්මාවබෝධය ලබන පුද්ගලයන්ගේ වෙනස්කම් පිළිබඳ දන්නා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ සිව් දෙනෙක් දකින්නට ලැබෙත්. ඒ කවර සිව් දෙනෙක් ද යත්, උග්ඝටිතඤ්ඤු පුද්ගලයා ය. විපඤ්චිතඤ්ඤු පුද්ගලයා ය. නෙය්‍ය පුද්ගලයා ය. පරපදම පුද්ගලයා ය.

මනා අවබෝධය ලබන්නෝ

ඒ කාලයේ භාග්‍යවතුන් වහන්සේ වෙතින් ඒහි භික්ෂු පැවිද්ද ලැබූ සියලු දෙනාත්, ධර්ම ශ්‍රවණයට භාග්‍යය ලැබූ උපාසක උපාසිකාවන් බොහෝ දෙනාත්

උග්ඝටිතඤ්ඤු පුද්ගලයෝ වූහ. මේ වදනෙහි අරුත නම් වහා කෙලෙස් වැසුම් ඉවත්කොට අවබෝධය ලැබිය හැකි තැනැත්තා යන්න ය.

භාග්‍යවතුන් වහන්සේ දම් දෙසන්ට පළමු ඔවුන්ගේ සාංසාරික ජීවිත, පුරුදු පුහුණු කරන ලද දේ, පෙර බුදු සසුන්වල පැවිදි ව සිටිය දී පුරුදු කරන ලද ප්‍රතිපදා ආදී සියල්ල ම සැණෙකින් විමසා බලන සේක. ඔවුන් තුළ පිහිටා ඇති ඉන්ද්‍රිය ධර්මයන්‍ගේ වෙනස්කම්, කෙලෙස් පවතින අයුරු සැණෙකින් හඳුනාගන්නා ‍සේක. මේ මේ වචන ඇසීම නිසා මොවුන් මෙසේ කෙලෙස් සිඳ බිඳ දමන්නාහුය කියා මැනවින් දැන අර්ථ සහිතව පැහැදිලි වචනයෙන් දහම් දෙසන සේක.

උග්ඝටිතඤ්ඤු පුද්ගලයාට දහම් දෙසීම භාග්‍යවතුන් වහන්සේට වෙහෙසකර කටයුත්තක් නොවේ. ඔවුන්ට කෙලෙසුන්ගෙන් නිදහස් වීමට මුල්වන නිස්සරණය ඉලක්කකොට විමුක්තිය කරා යන ලෙස ධර්ම දේශනාව කරන සේක. එය සාර්ථක වෙයි.

භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වදාළේ ඇසළ පොහෝ දා සවස් වරුවේ ය. හිරු බැස යන්නට පෙර ධර්ම දේශනාව අවසන් වූයේ ය. කොණ්ඩඤ්ඤ තෙ‍මේ සෝවන් ඵලයට පත්වූයේ ය.

උග්ඝටිතඤ්ඤු පුද්ගලයාගේ නුවණින් විමසීමේ හැකියාව ඉතා ඉහළ ය. ඔහු තුළ යෝනිසෝ මනසිකාරය තියුණු ලෙස පිහිටා තිබේ. කෙලෙස් දෘෂ්ටි මතවාද අත්හැරීමේ හැකියාව ඉතා බලවත් ය. සිතක් වහා එකඟ වෙයි.

භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනවිට ධර්ම දේශනාව අවසන් වෙන්නට පෙර මෙබඳු පුද්ගලයෝ මගඵල ලබති. අර්හත්වයට පත්වෙති. ආදිත්ත පරියාය දෙසුම ඇසූ දහසක් භික්ෂූන් රහත් ඵලයට පත්වූයේ ඒ අයුරිනි.

රහත් ඵලයට පත්වීමත් සමඟ එකල බොහෝ භික්ෂූන්ට පංච අභිඥා සතර පටිසම්භිදා ආදී නුවණ ද පහළ වූයේ ය. ලොවෙහි මෙතෙක් සිටි භාග්‍යවන්ත ම පුද්ගලයෝ උග්ඝටිතඤ්ඤු අය මිස වෙන කවරහු ද? භාග්‍යවතුන් වහන්සේ ගේ මුල් ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් උග්ඝටිතඤ්ඤු පුද්ගලයෝ ය.

නුවණින් විමසන්නෝ

විපඤ්චිතඤ්ඤු පුද්ගලා ද මහත් වාසනාවන්තයෙකි. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා ‍කොට නැවත විස්තර වශයෙන් අරුත් දක්වමින් වදාරන කල්හි මෙබඳු පුද්ගලයන්ගේ නුවණින් විමසීමේ හැකියාව අවදි වෙයි. වහා නුවණින් විමසයි. ධර්මානුධර්ම ප්‍රතිපදාව වැඩී යයි. සිත තැන්පත් වෙයි. දහම් ඇස පහළ වෙයි.

අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින් අතර ‍මෙබඳු ගණයට අයත් බොහෝ රහතන් වහන්සේලා පහළ වූවාහු ය. මෙබඳු පුද්ගලයන්ට ආදීනවය පෙන්වා දෙන විට වහා කළකිරීම ඇතිවෙයි. ඉන්පසු විමුක්තිය මුල්කොට දහම් දෙසන කල්හි කෙලෙසුන් කිසිවකට නොබැඳී සිත විමුක්තියට පත්වෙයි.

භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී විපඤ්චිතඤ්ඤු පුද්ගලයෝ ද බොහෝ සිටියෝ ය.

අප්‍රමාදී බවට පැමිණෙන්නෝ

සමස්තයක් වශයෙන් ගත් කල එදා භාග්‍යවතුන් වහන්සේ වටා සිටි අතිබහුතරය නෙය්‍ය පුද්ගලයෝ ය. නෙය්‍ය පුද්ගලයා කලණ මිතුරන්‍ගේ ඇසුරේ වෙන් නොවී සිටිය යුතු ය. ඔහුට කලණ මිතුර ඇසුර ම තදබල උපකාරයකි. සද්ධර්ම ශ්‍රවණය නිතර කළ යුත්තේ ය. ධර්මය මතක තබාගත යුත්‍තේ ය. කටපාඩම් කරගත යුත්තේ ය. වචනෙ‍යන් ප්‍රගුණ කළ යුත්තේ ය. දැක්ම සෘජු කරගත යුත්තේ ය. ධර්මයෙහි බැස ගැනීම පිණස වීර්යයෙන් යුක්තව නුවණින් විමසිය යුත්‍තේ ය.

භාග්‍යවතුන් වහන්සේ නෙය්‍ය පුද්ගලයාට ඉන්ද්‍රිය සංවරය, නිදිවරමින්, සක්මනෙහි යෙදමින්, වාඩිවෙමින්, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කිරීම, පටික්කුල මනසිකාරයෙන් යුතු ව ආහාර වැළඳීම, අසුභ භාවනාවේ යෙදීම, නිතර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය නුවණින් විමසීම ආදිය තුළින් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස වෙහෙසිය යුතු බව වදාළ සේක. මෙබඳු පුද්ගලයන් සඳහා ම ය භාග්‍යවතුන් වහන්සේ ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත්, සමුදයත්, අස්තංගමයත් යන මෙයින් යුතු ධර්මය දේශනා කරනු ලබන්නේ.

බොහෝ බුද්ධ දේශනා තුළ දකින්නට ලැබෙන්නේ නෙය්‍ය පුද්ගලයන්ට වදාළ ධර්මය ය. මෙබඳු පුද්ගලයෝ ශික්ෂාපද හොඳීන් ආරක්ෂා කරති. ධර්ම විනයට ගෞරව කරති. වහා වරදින් නැඟී සිටිති. නිවන් අවබෝධය පිළිබඳව තදබල අපේක්ෂාවකින් සිටිති. සසරෙහි වැටීම ගැන බියෙන් සිටිති. මොවුහු නැවත නැවතත් ප්‍රමාදයෙන් අතමිදීමට වීර්යය කරත්. අප්‍රමාදී බවට පැමිණෙත්.

ඒකාන්ත රැකවරණය ලබන්නෝ

පදපරම පුද්ගලයා ද අවාසනාවන්තයෙක් ‍ නොවේ. ඔහු ද වාසනාවන්ත ය. ඔහුට ඒ ආත්මයෙහි පහන් සිතින් තෙරුවන් සරණ ගොස් සමාදන් වූ සිල්පද රකිමින්, බොහෝ ධර්මය අසා එය මතක තබාගෙන, අන්‍යයන්ට ද ධර්ම දානය බෙදමින් ඉතා සතුටින් වාසය කළ හැක්කේ ය.

ඒ ආත්මයෙහි මාර්ගඵලාවබෝධයක් නො ලබන නමුත් ඔහුගේ ඒ ධර්මයේ හැසිරීම කිසිසේත් අපතේ නො යන්නේ ය. ඒකාන්ත රැකවරණය සලසන්නේ ය. අනතුරු ආත්මයෙහි දෙවියන් අතර හෝ උපන් කල්හි වහා අවබෝධ වන නුවණැතියෙක් වී උපදින්නේ ය.

මේ තැනැත්තා ශ්‍රද්ධාවත්, සීලයත් ශ්‍රැතයත්, ත්‍යාගයත්, ප්‍රඥාවත් යන සේඛබල පුරුදු කළ යුත්තේ ය. සත්පුරුෂ අසත්පුරුෂ භේදය හොඳීන් තේරුම් ගෙන අසත්පුරුෂ ඇසුරෙන් වෙන්විය යුත්තේ ය. සත්පුරුෂ ඇසුරෙහි රැඳෙමින් සුගතියත්, ධර්මාවබෝධයත් පිණිස ඇති අවස්ථාව රැකගත යුත්තේ ය. යම් හෙයකින් මෙබඳු තැනැත්තෙක් අසත්පුරුෂ ඇසුරට වැටු‍ණොත් සදහටම නිවන් මඟ වැසී යන්නේ ය. එනිසා මෙවන් පුද්ගලයන් නුවණින් සලකා කල්පනාකාරීව කටයුතු කළ යුත්තේ ය.