Print this Article


සිත පිරිසුදු කිරීමට පෙර අපවිත්‍ර පරිසරය වෙනස් කරන්න

සිත පිරිසුදු කිරීමට පෙර අපවිත්‍ර පරිසරය වෙනස් කරන්න

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහේඨයන්තෝ

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙච සංවරො
මත්තඤ්ඤුතාච භත්තස්මිං
පන්තංච සයනාසනං
එතං බුද්ධාන සාසනං

සුපින්වත්නි,

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයේ මෙම ගාථා ධර්ම ආනන්ද හිමිගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කොට වදාළ සේක.

අතීතයේ ලොව පහළ වූ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලාගේ මෙන්ම අප ගෞතම බුදුරදුන්ගේ ද මව්පියන්, ආයුෂ, බෝධි, අගසව් ආදී කරුණු වදාරා එම බුදුවරුන්ගේ පාමොක් දෙසීම්, පෝය කිරීම් පිළිබඳව දේශනා නොකළ බැවින් ආනන්ද හිමියෝ ඒ සම්බන්ධ ව බුදුරදුන්ගෙන් විචාළහ.

“ආනන්දය”,, කාලයෙහි වෙනසක් ඇතත් පාමොක් දෙසීමෙහි වෙනසක් නැතැයි වදාරා සෑම බුදුවරුන්ගේ ම අනුශාසනාව මෙසේ යැයි ගාථා තුනකින් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනාකොට වදාළ සේක. මෙසේ එම උතුම් ගාථා තුනෙන් සමස්ත ත්‍රිපිටක ධර්මයම සම්පිණ්ඩනය කොට දැක්වෙන්නේ ය.

සියලු පව් නොකිරීමත්, සියලු කුසල් කිරීමත්, සිත පිරිසුදු කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාවයි.

උතුම් තපස් ගුණය ඉවසීමයි. අනුන් නසන, පෙළන තැනැත්තා මහණෙක් නොවේ.

අනුන්ට නින්දා නොකිරීම ද, හිංසා නොකිරීම ද ප්‍රාතිමෝක්ෂ ශීලයෙහි හික්මීම ද, පමණ දැන වැළඳීම ද, ප්‍රාන්ත සේනාසනවල ඇල්මද, ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල යන උතුරු මිනිස් දහම් හි යෙදීම ද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි.

කල්ප ගණන් බුද්ධ යන වචනය පවා අසන්නට නොලැබෙන අතර, එවන් අබුද්ධෝත්පාද කාලයක උපදින, ජීවත්වන සත්වයන්ට දානාදී පින්දහම් කරන්නට තරම් චේතනාවක්, අවස්ථාවක් පරිසරයක් නොලැබෙන්නේ ය.

එයට හේතුව කර්මය පිළිබඳ යතාර්ථ අවබෝධයක් නැතිකමයි. සෑමදාම සත්වයන්ගේ ක්‍රියාකාරීත්වය කර්ම නියාමයකට අනුව සිදුවන නමුත් අතීතයක්, අනාගතයක්, වර්තමානයට සම්බන්ධවන ආකාරය පෙන්වාදීමට මනු ලොවට ලොව්තුරා බුදු කෙනෙක් ම පහළ විය යුතු වන්නේ ය.

විපස්සී ආදී අතීත බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ කුසලාකුසල කර්ම පිළිබඳ ධර්ම ශක්තීන් නැතිවනවිට මිථ්‍යා දෘෂ්ඨි අදහස්වලින් සත්වයන්ගේ චිත්ත සන්තාන ආවරණය වන්නේ ය. මේ බව අප ගෞතම සර්වඥයන් වහන්සේ ‘බ්‍රහ්මජාල’ සූත්‍රයෙන් විස්තරකොට වදාළ සේක.

මිථ්‍යා දෘෂ්ටි අදහස්වලින් වෙළී පැටලී සිටින පුද්ගලයාට කෙතරම් ධර්මය දේශනා කළත් ඔහුගේ චිත්ත සන්තානය අපවිත්‍ර වන්නේම ය. මේ නිසා සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පව්දුරු කිරීමටත්, කුසල් රැස් කිරීමටත්, සිත පිරිසුදු කර ගැනීමටත් ප්‍රධාන වශයෙන් දේශනා කරති.

අප බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට බුද්ධත්වයෙන් වසර විස්සක් යනතුරු හෙවත් ප්‍රථම බෝධියේ දී ශ්‍රාවක ශික්ෂණය සඳහා එය ප්‍රමාණවත් විය. එහෙත් ක්‍රමයෙන් මහාරජස්ක පදපරම හෙවත් රාගාදී කෙලෙස් අධික ශික්ෂාකාමී නැති උතුරු මිනිස්දම් කෙසේ වෙතත් ශ්‍රමණ ස්වරූපය නැති ලාමක පැවිද්දන් නිසා කාරණා සිද්ධි සිදුවන පරිදි ආනා ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට සිදුවිය.

එම ඕවාද ප්‍රාතිමෝක්ෂය හා ආනා ප්‍රාතිමෝක්ෂය එක්වන්ව කැටිකොට මෙම ගාථා තුනෙන් ප්‍රකාශ වන්නේ ය.

සීලය, බුද්ධිය, ශික්ෂණය, ඉවසීම ආදී උසස් ගුණාංග ඇති භික්ෂුවට මේ ආත්මයේදී ම, ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල යන ලොව්තුරු ගුණ ලබන්නට හැකිවන්නේ ය. ධර්මයෙන් අවබෝධය, විනයෙන් ශික්ෂණය, අභිධර්මයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම යන කාරණා තුනට යෝග්‍ය පරිදි සාධනීය වශයෙන් අර්ථ සහිත ව්‍යාංජන සහිත ත්‍රිපිටක ධර්මය දේශනාකොට ඇත.

ලෝකයේ පවතින සෑම ධර්මයක්ම භෞතික ධර්මතාවයන්ට අනුගතව යටත්ව යම්කිසි කාලපරිච්ඡේදයකට සීමාවන්නේ ය. එහෙත් ලොව්තුරා බුදු කෙනෙකුන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත් ධර්මය සත්‍යවාදී සනාතන ධර්මයක් වන අතර, එහෙත් සත්වයාගේ අභාග්‍යයට එය තුරන්වී අසත්‍ය ඉස්මතු වන්නේ ය.

අප ගෞතම සර්වඥයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ශාසනයේ පැවැත්ම උදෙසා සිල්වත්, ගුණවත්, ධර්මධර, විනයධර, විශාරද, ශ්‍රාවක පිරිසක් අත්‍යවශ්‍ය වන්නේ ය. එම උතුම් ශ්‍රාවකයන්ගේ චින්තනය හා ක්‍රියාකාරීත්වය “පබ්බජිතො සමණො අනුපවාදො අනුපඝාතො පාතිමොක්ඛෙ සංවරො භත්තස්මිං මත්තඤ්ඤුතා, යන වචනාර්ථවලින් ප්‍රකාශ වන්නේ ය.

ගිහි ජීවිතයෙන් සම්බුද්ධ ශාසනයේ පැවිදිවන ශ්‍රමණයන් වහන්සේ පියවරෙන් පියවරට කාමාදී ආශ්‍රවයන් සමනය කිරීම් වශයෙන් ද අධි ශීලාදී ශික්ෂාවන්ගෙන්ද හික්මෙන නිසා ද උපරිම වශයෙන් උසස් තත්ත්වයට පත් වන්නේ ය.

සියලු පව් නොකිරීම, කුසල් රැස් කිරීම, සිත පිරිසුදු කර ගැනීම යන මෙම සියලු බුදුරජාණන් වහන්සේලාගේ ඉගැන්වීම භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසටම සාධාරණ වන අතර බුදු දහම පිළිගෙන පිළිපදින සෑම දෙනාම එම උතුම් මාර්ගයේ ගමන්කොට දෙලොව යහපත හා සදාකාලික උතුම් අමාමහ නිවණ ප්‍රත්‍යක්ෂ කරගැනීමට අප්‍රමාදීව වීර්ය වැඩිය යුතු වන්නේ ය.

කාය දුශ්චරිත, වචී දුශ්චරිත, මනෝ දුශ්චරිත හඳුනා ගැනීමේ ප්‍රධානතම ක්‍රමවේදය තමාගේ මානසික චංචල ස්වභාවයයි. අනුන් කෙතරම් බණ දේශනා කළත් දැන දැන පව්කම් කරන්නේ එම චංචල ස්වභාවය හඳුනා නොගැනීම නිසයි.

තමාට තමා වංචාකාරයකු නොවී සිතීම, කීම හා කිරීම නිවැරදිව මෙහෙයවන්නේ නම් ආත්ම වංචනිකයකු නොවී අවංකව කුසල් රැස්කරන්ට හැකි වන්නේ ය.

සිත පිරිසුදු කිරීමට ප්‍රථමයෙන් එම අපවිත්‍රයට හේතුවන පරිසරය වෙනස් කළයුතු වන්නේ ය.

එබැවින් අප තථාගතයන් වහන්සේ ප්‍රථමයෙන් සීලය දක්වා වදාළ සේක. සීලයෙන් පවිත්‍රවන සිත කාමාදී ආශ්‍රවයන්ගෙන් මිදී එක් අරමුණක තබාගැනීමටත් තමාගේ පරමාර්ථයට සරිලන පරිදි සිත මෙහෙයවන්නට ද පුළුවන. සිත සමාධිගත වන විට ඇතිවන ශාන්ත, සුන්දර සැපත කිසිම භෞතික අරමුණකින් නොලැබෙන්නේ ය.

භෞතික අරමුණකින් ලෝකෝත්තර පරමාර්ථයක් ලබන්නට නම්, එම භෞතික අරමුණ යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් බැලිය යුතු වන්නේ ය. සියලු බුදුවරයන්ගේ දේශනා අවසන් වන්නේ සිත් සතන් නිවනට යොමු කරමින් “නිබ්බාණං පරමං සුඛං” යන ගාථා පදයෙනි.

භෞතික වශයෙන් අප මොහොතකට රඳවා ගන්නා අරමුණු මෙන්ම, එම අරමුණු නිසා ඇතිවන අපේ ඉඳුරන් ද, රසය ද වහා නැති වී යන්නේ ය. එබැවින් භෞතික අරමුණු කෙරෙහි යෝනිසෝ මනසිකාරයෙන් සිතාමතා උතුම් නිවන සම්පත් ලබා ගැනීමට උත්සාහ ගන්න.