Print this Article


භික්ෂු ගරුත්වය ආරක්ෂා කර ගත යුතුයි

භික්ෂු ගරුත්වය ආරක්ෂා කර ගත යුතුයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ,චිරරාත්‍රඥ මහ තෙරුන් වහන්සේ නමක් වශයෙන් වැඩසිටින ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය පිළිබඳ ව පුංචි කාලයේ තොරතුරුත් සමඟ සාකච්ජාවට ප්‍රවේශයක් ලබාගනිමු.

රත්නපුර දිස්ති‍්‍රක්කයේ කොළොන්න කෝරළයේ ඉතාම දුෂ්කර ගම්මානයක් වුණ කුඹුරුගමුව ගමේ 1931 මැයි 02 වෙසක්පුර පසළොස්වක පොහොය දිනයක මම උප්පත්තිය ලැබුවා. එම ගමට තිබුණ එකම පාසල වුණ හල්මිල්ල විද්‍යාලයෙන් තමයි මම මූලික අධ්‍යාපනය ලබා ගත්තේ.

අපේ අම්මා බොහොම ශ්‍රද්ධාවන්තයි. සෑම පොහොයකටම එතුමිය සිල් සමාදන්වෙනවා. මට බහ නොතේරෙන පුංචි කාලයේ සිටම අම්මා මා සිල් සමාදන්වීමට විහාරස්ථානයට කැඳවාගෙන ගියා. පැවිදිවීමේ ආසාව පුංචි කාලයේ සිටම තිබුණ නිසා අම්මා මා ගොඩකවෙල ශී‍්‍ර මහින්ද මහා විහාරස්ථානයට කැඳවාගෙන ඇවිත් තඹගමුවේ ශී‍්‍ර රතනපාල නායක හාමුදුරුවන් වහන්සේට බාරකළා. උන්වහන්සේ මට මූලික අධ්‍යාපනය විහාරස්ථානයෙන් ම ලබාදීලා වයස අවුරුදු 10 එළඹුණාම උන්වහන්සේගේ ආචාර්යත්වයෙන් කුඹුරුගමුවේ වජිර යන උතුම් ශාසනික නාමයෙන් පැවිදි භාවටය පත් කළා .

සාමණේර ජීවිතයට ඇවැසි ශාසනික වත්පිළිවෙත් පිළිබඳව වසරක් දෙකක් පුරුදු පුහුණු කළා. විහාරස්ථානයට කෙතරම් දානය ලැබුණත් ,නායක ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රතිපත්තිගරුක ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේ අපි උදේ , දවල් පිණ්ඩපාතය සඳහා සැතපුම් දෙක තුනක වපසරියක වැඩම කෙරෙව්වා . අවුරුදු දෙකක් තුනක් ශාසනික වත්පිළිවෙත් පුරමින් පිණ්ඩපාතයෙන් ම යැපීමට අවස්ථාව උදාකර දුන්නේ ප්‍රතිපත්ති ගරුකව, ලැජ්ජා බය ඇතිව හදාවඩා ගැනීමට අවශ්‍ය නිසයි.

කිරිවත්තුඩුවේ නායක මා හිමිපාණන් වහන්සේ හා තඹගමුවේ ශී‍්‍ර රතනපාල නායක හිමිපාණන් වහන්සේ යන දෙනමගේ උපාධ්‍යායත්වයෙන් මල්වතු මහා විහාරයේ දී උතුම් වූ උපසම්පදාවට පත්වුණ බවත් උන්වහන්සේලා කෙරෙහි ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි.

1946 වර්ෂය පමණ වන විට උන්වහන්සේ මා කිරිවත්තුඩුවේ නායක හාමුදුරුවන් වහන්සේට බාරදීමෙන් පසුව උන්වහන්සේගේ අන්තේවාසික ශිෂ්‍යයකු ලෙස විද්‍යාලංකාර පිරිවෙනේ වැඩ සිටි ළාබාලම භික්ෂුන් වහන්සේ වශයෙන් අධ්‍යාපනය ලබාගැනීම ආරම්භ කළා. කාගේත් ආදරය, ගෞරවය දිනාගෙන නායක හාමුදුරුවන් වහන්සේ රැක බලාගනිමින් උන්වහන්සේගේ වත් පිළිවෙත් සිදුකරමින් අධ්‍යාපනය ලැබුවා.

එක්දහස් නවසිය හතළිස් ගණන් කාලය වන විට විද්‍යාලංකාර පිරිවෙන පෙරළිකාර ආයතනයක් වශයෙන් පැවතුණේ. නෙයෙකුත් දේශපාලන වෙනස්කම්වලට භාජනය වෙමින් පැවතුණ කාල පරිච්ජේදයක්. වාමාංශික ව්‍යාපාරය හිස එසවීමට උත්සාහ කළ කාලවකවානුවක්. වාමාශික නායකයන් විද්‍යාලංකාර පිරිවෙනට යමින් එමින් ඒ කටයුතුත් සිදුකළා. ඒ වගේම ඩී. ඇස් සේනානයක, සර්. ඩි. බී ජයතිලක ,ජේ ආර් ජයවර්ධන වැනි දේශපාලන පක්ෂවල නායකයන් විද්‍යාලංකාර පිරිවෙන ඇසුරු කරගෙන කටයුතු කළා. ඒ සියලුදෙනාගේම දේශපාලන කි‍්‍රයාකාරකම් හා ඔවුන්ගේ හැසිරීම්, කි‍්‍රයාකලාපයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට කුඩා කාලයේ සිටම මට අවස්ථාව සැලසුණා.

වල්පොල රාහුල හිමි, බඹරැන්දේ සිරිසීවලි හිමි, යක්කඩුවේ ප්‍රඥාරාම හිමි ආදි කීර්තිධර මහා පඩිවරුන් විද්‍යාලංකාර පිරිවෙනේ නේවාසිකව වැඩසිටියා. ඒ මහා යතීන්ද්‍රයන්වහන්සේලාගේ ආභාසය ලබමින් පැවිදි ජිවිතය ගොඩනඟා ගැනීමට කටයුතු කළා.

එක්දහස් නවසිය හතළිස් ගණන්වල ඇති වුණ දේශපාලන පෙරළි සියල්ලටම විද්‍යාලංකාර පිරිවෙන මූලික වුණා. ප්‍රභූ දේශපාලනයට එරෙහිව වාමාංශික දේශපාලනය ඉදිරියට රැගෙන යාමේ කි‍්‍රයාකලාපයන්ට සම්මාදන්වීමේ අවස්ථාව ලැබුණා. එක්දහස් නවසිය පනස් ගණන් වන විට විද්‍යාලංකාර පිරිවෙනට නොයෙක් අතවරයන්ට, අපහසුතාවන්ට ලක්වීමට සිදුවුණත්, විද්‍යාලංකාර පිරිවෙනේ වැඩසිටි මහා තෙරවරු කිසිදු පැකිළීමකින් තොරව රටේ ආරක්ෂාව පිණිස පොදු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කළයුතු කළ හැකි සෑම කි‍්‍රයාකාරකමක් ම සිදුකිරීමට ඉදිරිපත්ව කටයුතු කළ ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලැබුණා.

විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලැබුවා. එම කාලයේදීම විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්වුණා. එම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් බවට පත්වෙලා එම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගෙන උසස් සමාර්ථයක් සහිතව සමත් වීමට හැකිවුණ නිසා එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවයට බඳවාගත්තා. 1965 දී සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් පත් වුණා. අවුරුද්දක් පමණ සේවය කරන විට පශ්චාත් උපාධි වරප්‍රසාද ලැබුණා. අනතුරුව මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධවෙලා පශ්චාත් උපාධියත්, ආචාර්ය උපාධියත් ලබා ගත්තා. පසුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් පත්ව මහාචාර්යවරයකු දක්වා ඉදිරියට ගමන් කරමින් වසර 35ක් පමණ අඛණ්ඩ ව සේවය කළා. 1983 දී බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ධූරයට පත්වෙලා වසර 8ක් සේවය කළා. නැවත කැලණිය විශ්වවිද්‍යාලයට වැඩම කරමින් සේවය කරමින් අවුරුදු 65 සම්පූර්ණවීමත් සමඟ විශ්‍රාම ගියා. පසුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් පත්වුණා. වර්තමානය වන විටත් එම විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කරනවා.

විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පරිවර්තනය වූ යුගයේදීමයි ඔබ වහන්සේ විශ්වවිද්‍යාල ආචාර්ය ධුරයට පත්වුණේ. එම කාලවකවානුව තුළ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන පසුබිම සකස්ව පැවතුණේ කුමන ආකාරයෙන් ද?

ඒ කාල වකවානුව තුළ සියලුම භික්ෂුන් වහන්සේලා සිංහල, පාලි, සංස්කෘත යන භාෂා ඥානය ලබාගැනීමට විශේෂ උනන්දුවකින් කටයුතු කළා. සැම දෙනාගේම අරමුණ වුණේ බුද්ධි වර්ධනයයි. එනිසා හොඳ උගතකු වීමේ වුවමනාව මත අධ්‍යාපනයටත්, පර්යේෂණ කටයුතු සඳහාත් වැඩි වශයෙන් යොමු වුණා. ඒ කාලය තුළ වර්තමානයේ දී වගේ විශ්වවිද්‍යාල තුළ පෙළපාල,ි උද්ඝෝෂණ තිබුණේ නැහැ. පුස්තකාල භාවිතයට, පර්යේෂණ කටයුතු සඳහා කාගේත් ගත සිත යොමුවෙලා තිබුණා. වර්තමානයේ දී රටේ විවිධ ක්ෂේත්‍රයන්හි උගතුන්, වියතුන් වශයෙන් පිරිසක් සිටිනවා නම්, එම කාලයේ බිහිවුණ උගතුන් තමයි.

රටේ විවිධ අර්බුදකාරී අවස්ථාවලදී ඔබ වහන්සේගේ මැදිහත්වීම සිදුවුණේ කුමන ආකාරයෙන් ද?

පසුගිය කාල පරිච්ජේදය තුළ සිදුවුණ විශාලතම ගැටලුව ත්‍රස්තවාදී ව්‍යාපාරයයි. ඒ අවස්ථාවේදී සියලුම ආගමික නායකයන් සම්බන්ධ කරගනිමින් උතුරු ප්‍රදේශයේ ඉතාම බිහිසුණු ලෙස යුද්ධය පැවැති කාල වකාවානුවේ දී පවා එම උතුරු ප්‍රදේශයට වැඩම කරමින් යුද්ධයේ ආදීනව කියාදෙමින් රටේ සාමය ඇති කිරීමට හා ජීවිත බේරාගැනීමේ බලාපොරොත්තුවෙන් තමිල්චෙල්වමි , කරුණා ආදී එල්. ටී.ටි සංවිධානයේ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කළා. එම සාකච්ඡා මේසයට නොපැමිණියත්. ප්‍රභාකරන් එම සමීපයේ සිටිමින් එයට සවන්දුන් බවත් අපට පසුව දැනගැනීමට ලැබුණා. “ජාතික සමඟිය සඳහා වූ ආගමික සංවිධානය” හරහා රටේ සාමය, සමාදානය, දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය හා හැම උපකාරයක්ම සිදුකළා. වර්තමානය තුළත් ඒ වෙනුවෙන් කි‍්‍රයාකාරීව කටයුතු කරනවා. අභ්‍යන්තර හා ජාත්‍යන්තර වශයෙන් එල්ලවන ඕනෑම අභියෝගයකදී රටේ හා ජාතියේ ආරක්ෂාව පිණිස අපි ඉදිරිපත් වෙනවා. රටේ එක නීතියක් පැවතිය යුතු බව අපේ ස්ථාවරය

මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබවහන්සේ වටිනා ග්‍රන්ථ රාශියක් සමාජයට දායාද කොට තිබෙනවා . ඒ ධර්ම ශාස්තී‍්‍රය සේවය පිළිබඳව සිහිපත් කරනවා නම්,

“දළදා වහන්සේ හා සංස්කකෘතිය” යන පොත සාහිත්‍ය සම්මාන දිනාගැනීමට පවා සමත්වුණ කෘතියක්. “ශී‍්‍ර ලංකාවේ ආගම් හා සංස්කෘතිය”,”ජනසන්නිවේදනය” ආදී වශයෙන් ග්‍රතන්ථ රාශියක් සම්පාදනය කිරීමට කටයුතු කළා.

විශාල අත්දැකීම් සම්භාරයක් ලබා සිටින මහා යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් හැදෙන වැඩෙන නූතන භික්ෂු පරපුරට ලබාදෙන අවවාද අනුශාසනා මොනවගේද?

අපේ රටේ හැදෙන වැඩෙන තරුණ භික්ෂුන් වහන්සේලා මහණකමේ සීමාවන් තේරුම්ගෙන ලජ්ජා, භය හොඳීන් ආරක්ෂාකරගෙන කි‍්‍රයාකිරීම අවශ්‍යයයි. ලජ්ජා, භය නැතිවුණොත් භික්ෂුත්වය කෙළෙසෙනවා. මේ රටේ ජනතාව භික්ෂුව කෙරෙහි බලන දැක්මක් තිබෙනවා. එම දැක්මට අනුව භික්ෂුන් වහන්සේලා හැසිරෙන්න උත්සාහ ගත යුතුයි.

ගිහියන් මෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරම්න් මහපාරේ පෙළපාලි යාම භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය නොවෙයි. භික්ෂු ගරුත්වය ආරක්ෂාකරගෙන සංවරශීලීව රට , ජනතාව වෙනුවෙන් ඕනෑම වෙනසක් කිරීමේ හැකියාව භික්ෂුන් වහන්සේලාට තිබෙනවා. එම ස්වභාවය නිවැරැදිව තේරුම් ගෙන පළමුවෙන් නිවැරැදිව ධර්මශාස්තී‍්‍රය අධ්‍යාපනය ලබාගත යුතුයි. දැනුමෙන් පරිපුර්ණවීම අත්‍යවශ්‍යයයි. මහජනතාවට අවවාද අනුශාසනා ලබාදිය හැකි නායකයන් බවට භික්ෂුන් වහන්සේලා පත්විය යුතුයි.