Print this Article


සිතන පතන දෑ ඒ අයුරින්ම ඉටු නොවන්නේ ඇයි?

සිතන පතන දෑ ඒ අයුරින්ම ඉටු නොවන්නේ ඇයි?

සන්තුඨී පරමං ධනං

සතුට උතුම්ම ධනයයි

සත්වයා වනාහී දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතය තරණය කරන අයුරු ඉතා පැහැදිලි ය. සත්වයන් බොහෝ දුරට ජීවිතේන්ද්‍රිය රැක ගැනීම් වස් විවිධ බලාපොරොත්තු පොදි බැඳගෙන ඒ මත ඉච්ඡාභංගත්වයෙන් පසුවන පිරිසකි.එහිදී අපට පැහැදිලි වන්නේ බලාපොරොත්තු වනාහී මිනිසාගේ ප්‍රධාන අනාගත ඉන්ද්‍රිය ධර්මය වී ඇති බව ය. පංච ඉන්ද්‍රියන් නිතරම ක්‍රියා කරන්නේ සිතේ ඇති කරන බලාපොරොත්තුත් සමඟ ය. එය වරදක් නොවුණ ද අසීමිත බලාපොරොත්තු තුළ සිරවීමෙන් සත්වයාට දැඩි පීඩනයකට ලක්වීමට සිදු වේ.

“යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං” අභිමත පරිදි කිසිවක් නො ලැබේ ද එය දුකක් වන්නේ ය. ඒ අනුව මිනිසා අහස උසට ප්‍රාර්ථනා, බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින අතර, ඒවා ඉටු නොවීම තුළ දුකට ම පත්වීම එහි ස්වභාවය යි. එය ඉච්ඡා භංගත්වය යනුවෙන් හැඳින්වීමට පුළුවන. ජීවිතයට ලැබෙන ප්‍රධාන දුක් අතර එය ද ප්‍රධාන වේ.

බුදුන් දවස එක්තරා ගොවියෙක් කුඹුරක් කිරීමට ආරම්භ කළේය. ඒ සම්බන්ධව සීසෑම, වැපිරීම, වල් නෙළීම ආදී සියලු කටයුතු හොඳින් සිදු විය. ගොවියා එලෙස කුඹුරෙහි කටයුතු කරන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ද කුඹුරට නිතර නිතර වැඩම කොට ගොවියා හා කතා බහ කිරීම සිරිතක් කොට ගත්හ. ඒ ඔහුට මතු දවසක පිහිට වන අදහසිනි. අස්වැන්නෙන් කොටසක් බුදුරජාණන් වහන්සේට දීමට සිතා සිටි එම ගොවියාගේ පැසී තිබුණ කුඹුර එක් දිනක් මහා වර්ෂාවකින් විනාශ විය. ශෝකයට පත් ගොවියාගේ නිවසට වැඩම කළ බුදු හිමි ඔහු සනසා සියලු ශෝකයන්ට හේතුව තම සිතුම් පැතුම් තමන්ට අවශ්‍ය පරිදි සිදුනොවීම බවත්, එය සත්වයාට උරුම දුකක් බවත් පවසා දහම් දෙසා ඔහු සෝවාන් ඵලයට පත් කළහ. ඒ අනුව අධික බලාපොරොත්තු තබා ගැනීමෙන් දුකම හට ගන්නා බව පැහැදිලි වේ.

උපතේ පටන් විපත දක්වා මිනිසා අධික බලාපොරොත්තු සමඟ ජීවත් වෙති. ඒවා ඉටු නො වන කල්හි දුක, ශෝකය, කනගාටුව හට ගනී. එය මානසික ආතතියට පවා බඳුන් වී කායික රෝග ද හටගනී. එසේ නම් අප ජීවත් වන සුළු කාලය තුළ අධික බලාපොරොත්තු පොදි බැඳ ගැනීම ජීවන ගමන් මඟට බාධාවකි. අද බොහෝ දුරට සිදුවන්නේ මුදල් ඇතුළු භෞතික සම්පත්වලට පළමු තැන දී ඒ මත ගැටී ඉච්ඡා භංගත්වයෙන් ජීවිතය ගත කිරීමට ය.

භෞතික සම්පත්වලට ප්‍රමුඛස්ථානය දෙන කල්හි මානව සම්පත්වල වටිනාකම බිංදුවට වැටී ඇත. ජීවිතයක වටිනාකම බුදුරදුන් විවිධ තැන්වලදී පැහැදිලි කොට ඇත. ඒ අනුව තම ජීවිතයත් අන් ජීවිතත් අගය කිරීම හා අගය කර ගැනීම කළ යුතුව ඇත. ශරීර කූඩුව වනාහි රන්, රිදී, මුතු, මැණික් වලින් සැදුම් ලත් දෙයක් නොවේ.

දොරටු නවයකින් අපවිත්‍ර දෑ පිට කරමින්, තිස් දෙකක් කුණුපකොටස් අන්තර්ගත කරමින්, තුන් සියයක් පමණ ඇට කැබලිවලින් ගළපා නව සියයක් පමණ නහරවැල්වලින් වෙළා මස්, ලේ ගල්වා සමින් වසා කැරුණු නගරය හෙවත් කොටු ගෙයකි. මෙම ශරීරය සමස්ත ශරීරයම අර්ථ ගැන්වීමේ දී පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ භූත ධර්මයන්ගේ ග්‍රහණයක් බව පැහැදිලි වන්නකි.

ඒ අනුව බැලීමේ දී මේ ජීවිතය අධික බලාපොරොත්තු තැබීමට තරම් සුදුසු එකක් නොවනු ඇත. ඉපදෙනකොට කිසිවක් නොගෙන ආ සත්වයා මරණය සමඟ ජීවත් වීමත්, මරණය පෙනි පෙනී අධික බලාපොරොත්තු ගොඩ ගසා ගැනීමත් ප්‍රඥාගෝචර නොවන්නකි. එයට හේතුව එම ප්‍රාර්ථනා ඉෂ්ඨ නොවන කල කෙසේ හෝ ඒවා ඉෂ්ට කර ගැනීමට වෙහෙසීමයි. එය හොඳින් හෝ නරකින් ඉෂ්ටකරගැනීමට ද එහිදී පෙළඹෙති. එතුළින් තම තිදොර නරක ක්‍රියා උදෙසා යොමු කිරීම තුළින් අකුසල් සිදුවීමෙන් ඒවා කර්ම බලවේග ලෙස තමා වටා ගොනු වෙනු ඇත. එම මනෝභාවයන් තුළින් තමාට මෙලොව පරලොව දෙලොව ම දුක් විඳීමට ද සිදු වේ.

අප ලද ජීවිතය දුර්ලභව ලැබුවක් බව නිරන්තරයෙන් සිතිය යුතු ය. එහිදී මිනිසත් බව රැක ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුව ඇත. පුංචි දේකින් පවා මේ ශරීර කූඩුව විනාශ වීමේ ප්‍රවණතාවය ඉතා වැඩි ය. ඒ අනුව තම තම ජීවිත ආරක්ෂා කර ගැනීම තම තමාගේ වගකීම විය යුතුය. ඒ සඳහා තමන් නිතර වෙහෙසිය යුතුව ඇත. එහිදී අන් ජීවිත පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය. දුර්ලභව ලද මේ ජීවිතය කෙටි කාලයක් වුව ද රැක ගැනීම අසීරු කාර්යකි. අධික බලාපොරොත්තු ඔස්සේ හඹා ගොස් ජීවිතයට හානියක් සිදු කර නොගැනීමට වගබලා ගත යුතු ය. ජලය යැයි සිතා මිරිඟුව පසුපස හඹා ගොස් විනාශ වන මුව පෝතකයන් මෙන් පුහුදුන් සත්වයා ද අධික බලාපොරොත්තු ඔස්සේ හඹා ගොස් දුකට පත්වනු ඇත.

සත්වයාගේ වටිනාකම වැඩි වන්නේ ඉන්ද්‍රියන් ඔස්සේ සපයා ඇති ආරම්මණයන් තුළ නොව, ගුණ ධර්ම තුළ ය. අධික බලාපොරොත්තු උදෙසා වෙහෙසෙන්නෝ මනසත් සමඟ ඉන්ද්‍රිය පෝෂණයෙහි නිරත වන්නෝ ය. සමහරුන්ගේ මතය වී ඇත්තේ “ඉන්නකන්නේ මේ ඔක්කොම හෙට මැරුණත් කමක් නෑ අද කාල බීල” ආදී වශයෙනි. එවැනි මත දරන්නවුන් විභව තෘෂ්ණාවට හසුවන්නේ ය. ඔවුන් පරලොවක් ගැන නොසිතා තම ගුණ ධර්ම වර්ධනය නොකොට ගෙන රටට, සමාජයට සේවාවක් ද සිදු නොකොට හිස් පඹයන් සේ ජීවත්ව, මැරී ගොස් අභෞව්‍යස්ථානවලදී උපදී. එය දුර්ලභව ලද මිනිසත්කමට කැළලක් බව සිතට ගත යුතු ය. මේ ශරීර කූඩුව ඇතුළත සැඟවුණ සිත ඉතා ප්‍රබල ය. එය මිනිසාට උපතින්ම ලැබී ඇති උසස් සම්පතකි.

තාවකාලිකව හෝ දුකෙන් නිදහස් වීමට ඇති එකම මඟ සැහැල්ලු දිවි පෙවතක් ගත කිරීමයි. ඒ සඳහා බුද්ධ චරිතය ඇතුළු ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා හැදෑරීම ඉතා වැදගත් වනු ඇත. තම තමන් සතු කායික ශක්තිය, මානසික ශක්තිය හා ආර්ථික ශක්තිය තේරුම් ගෙන එයට සරිලන අයුරින් ජීවිතය ගොඩනඟා ගත යුතු ය. සමහර පුද්ගලයන් කිසිදු ශක්තියක් නොමැතිව හඳ ඇල්ලීමට කතා කරති. සමහර පිරිස් දුගී දුප්පත් භාවයෙන් පෙළුණ ද තරඟකාරී ලෝකයේ දුවන්නන් වාලේ දිවීමට යොමු වී සිටිති. අවසානයේ දී සිදු වන්නේ ඉච්ඡා භංගත්වය පමණි. අප ජීවත් වන්නේ කාම ලෝකයක ය. එහිදී නිරන්තරයෙන් සිත දූෂණය වේ. සිත අවුල් වේ. යථාර්ථය සොයා සිත ඇතුළට කිමිදීමෙන් එම මායාකාරී ලෝකයේ යථා තතු පෙනෙනු ඇත. යථාර්ථය තුළ සිටීමෙන් මේ ලෝකය උම්මත්තකයන්ගෙන් ගහන වූවක් සේ හැඟෙනු ඇත. අද මුළු ලෝකයම අවුල් සහගතව ක්‍රියා කරති. එයට හේතුව භෞතික ලෝකයේ අධික බලාපොරොත්තු සමඟ ජීවත් වීම ය. එතුළින් මදක් හෝ දුරස් වී යතාර්ථයට මුහුණ දී ලෝකය දෙස බැලීමට හැකි නම් ඒ ප්‍රඥාවන්තයින්ගේ ලක්ෂණයක් සේ සැලකීමට පුළුවන.

ඉහත කරුණු සිතට ගෙන දුර්ලභව ලද ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන ගුණධර්ම පුරමින් අධික බලාපොරොත්තු ඇති නොකරගෙන තම තමන්ගේ ප්‍රමාණය දැන හඳුනාගෙන එයට සරිලන ජීවන ක්‍රමයකට හුරුවීම වැදගත් වනු ඇත. ජීවන ගමන් මගේ, තරඟකාරී ලෝකයක ජීවත් වන අප අධික බලාපොරොත්තු මත හඹා ගොස් ශෝක බරිත ජීවිතයක් ගත නොකර සැහැල්ලුවෙන් හා හොඳ මානසිකත්වයකින් ජීවිතය ගත කිරීමට උත්සාහවත් විය යුතු ය. එතුළින් “සන්තුට්ඨි පරමං ධනං” කී ආකාරයට සතුට උතුම්ම ධනය බව සිතා එම සුවය ලබා ගැනීම අප කවුරුත් වෙහෙස දරමු.