Print this Article


දුටුගැමුණු මහ රජතුමා: පරදින්නට නොව ජය ගන්නට යුද්ධය කරමු

දුටුගැමුණු මහ රජතුමා:

පරදින්නට නොව ජය ගන්නට යුද්ධය කරමු

ඉනට රෙදිකඩක් හැඳ ගත් ගැමුණු කුමරු අප්‍රකට වේශයෙන් ඌරුපැලැස්ස ගැමි ගෙදරකට පැමිණියේය. එහි ගොවිතැන්

වැඩ වලට උදව් කරමින් ජිවත් විය. ගම මහගේ සහ ගමරාළ ඔහු ඇමතුවේ “හිද්දලයා” යන නමිනි. ඌරුපැලැස්සේ හරක් බලා ගන්නා ගොපලු දරුවන් දවල් ගත කරන්නේ මොනරාගල බිම්වල ය.

හරකුන් තැනිතලා බිම්වලට දක්කා කෙළි සෙල්ලම් කිරීම මෙම දරුවන්ගේ සිරිත ය. මොවුන් අතරට අලුතින් පැමිණ සිටින හිද්දලයා ටික දිනකින්ම ඔවුනට ප්‍රියමනාප විය. ඔහු ඔවුනට චක්ගුඩු ක්‍රීඩාව , මල්ලවපොර, යුධ සරඹ පුරුදු පුහුණු

කළේය. මෙම ක්‍රීඩා ඉතා ඉක්මනින් ගම පුරා පැතිර ගියේ ය. හිද්දලයා කොලුව රැල අතර ප්‍රිය මනාප අයකු විය. දැන් ඔහු ගොපලු දරුවන්ගේ නායකයා ය. තමන්ගේ ගවයන් බලා ගැනීම ගොපලු දරුවන්ට පවරා ගම පුරා ඇවිදීමට ද ගැමුණු කුමාරයාට මේ නිසා හැකිවිය.

දෙපෝය අවසානයේ මොනරාගල බැලුම්ගලදී හමුවුන ලෙසට වේළුසුමන සමඟ කතිකා කරගත් හෙයින් ගව රැල ගොපලු දරුවන්ට පවරා දහවල බැලුම්ගලට නැංගේ ය. වේළුසුමන එහි විය. “උදෑසනින්ම පිටත්වුණා. කෙටි මාර්ග ඔස්සේ කිසිවකුට සැක නොසිතෙන ලෙසට අවා. අසු පහළ ගසක ගැට ගසා ආවා.” “මට ඉතා අගේ ඇති නවාතැනක් හම්බඋණා. ඌරුපැලැස්සේ ගම්මුලාදෑණියාගේ ගෙදර හරක් බලා ගන්නා හිද්දලයා මමයි. මගේ ඉලක්ක සපුරා ගන්නට මෙතන කදිම ස්ථානයක්. මේ ප්‍රදේශය ධාන්‍ය ගබඩාවක් කරන්නට ටික කාලයක් ගතවේවි. ඒ අතරතුර යුද පෙරමුණු සඳහා සෙබළුන් තිස්දහසක් පමණ බඳවා ගන්නට හැකිවේවි.”

“ඒත් කුමරුනි, වැඩි ප්‍රමාදය සුදුසු නැහැ. අපේ සේනාංක තුළ කළකිරීමක් ඇතිවිය හැකියි. අද හෙටම යුද්ධය ඇරඹේවි කියන අදහසයි අප ඔවුනට දී තිබෙන්නේ.”

“අපි උත්සාහ කරමු. සැලසුම් කරමු. ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ පවසන පරිදි පරදින්නට නොව ජයගන්නටම යුද්ධය කරමු. හොඳයි, ගිරි නුවර තත්වය කෙසේ ද ?”

“ගිරි අබා රජු ගිරි රාජ්‍යය අරාජික කොට සියලු සේනා සමඟ පිටත්ව ගියා. එම පිරිසෙන් අඩක්වත් වැඩි දුරක් ගියේ නැහැ. දුටුගැමුණු කුමාරයා ගිරි රාජ්‍යය අල්ලා ගත්තා යැයි කියූ බොරු ප්‍රචාරයම ඔහුගේ අවාසියට හේතු වුවා. කුමාරයා කෙරෙහි ප්‍රසාදයෙන් විශාල පිරිසක් ආපසු ආවා.”

“ඒ නිසා දාව ආචාර්යතුමාට වැඩි වෙහෙසක් නැතිව රාජ්‍යයේ පාලන කටයුතු කරගෙන යාමට හැකිවුණා. සියලු යුද සෙනෙවිවරුන් අමතා මා ඔවුන්ගේ වගකීම් පිළිබඳ උපදෙස් ලබාදුන්නා.”

“මට මෑණියන් වහන්සේ දැකගන්නට ආසයි. පියාණන් වහන්සේ ගැන මට දුකයි. මාගමට පැමිණ පියාණන් වහන්සේගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව මෑණියන්ට පවසන්න.”

“හොඳයි රජ මාලිගයේ සාමකාමී වාතාවරණයක් ඇති වූ විට අපි ඒ සඳහා අවස්ථාව යොදා ගනිමු. යුද්ධය ඇරඹීමට කඩිනමින් ක්‍රියා මාර්ගයක් ගන්නා බව මෑණියන්ට පවසන්න.”

“හොඳයි ,කුමරුනි මම එසේ කරන්නම්.”

“දාව ආචාර්යයතුමාට මා සිටිනා ඉසව්වක් ගැන දැන්ම පවසන්න එපා. යම් ගැටලුවක් මතුවුණොත් මා ළගපාතම සිටිනා බව පමණක් පවසන්න.”

“හොඳමයි කුමරුනි , මට යන්න අවසර “. හිරු බැස යමින් තිබිණි. ගොපලු දරුවන් ගවයන් දක්කාගෙන ආපසු යන වෙලාව ද පැමිණ ඇති හෙයින් වේළුසුමන කන්දෙන් බැස සමුගත්තේ ය. ගැමුණු කුමාරයා ඔහුට ස්තුති කරමින් යන්නට අවසර දුන්නේ ය.

පසුදා උදෑසන හිද්දලයා ගමරාල හමුවිය. “මං කුඹුරක් කරන්නට කැමතියි” පැවසී ය. ගමරාල සිතාමතා ම කලක් තිස්සේ පුරන්ව තිබුණු බුද්ධංගල කුඹුර වැපිරීමට දුන්නේ ය. ගමරාල දුන් පුංචි උදලු කොටයත් ගෙන හිද්දලයා කුඹුර කෙටුවේ ය. උදැල්ල ඉතා කුඩා නිසා අලුතින් උදැල්ලක් හදවා ගන්නට ඕනේ යැයි සිතුවේ ය. අල්ලපු ගමේ කම්මලක් තිබෙන බව අසා එහි ගියේ ය. කම්මල් කරුවා යම්කිසි වැඩක නිරත වෙමින් සිටියේ ය. කම්මල්කරු තරුණයා දෙස බැලිය. හඳුනන මුහුණක් නොවේ. “දරුවෝ මොකද මෙහෙ ආවේ “

“උදැල්ලක් හදවා ගන්නට ආවා” තරුණයා පැවසීය. කම්මල්කරු උපහාසයෙන් ඔහු දෙස බලා සිනාසුණේ ය.

ඉර මුදුන් වී ඇති බැවින් දහවල් ආහාරය ගැනීම සඳහා කම්මල්කරු ගෙදරට ගියේය. “කුමක් කරම්දැයි “ කල්පනා කරමින් සිටි හිද්දලයා කම්මලේ තැන තැන විසිරි තිබුණු යකඩ කැබලි දුටුවේ ය. ඔහු ඒවා එකතු කර කෝවකට දමා උණු කළේ ය. යකඩ ගුලියක් තැනුවේ ය. කිණිහිරිය මත තබා කුලුගඩියෙන් තලා උදැල්ලක් හැදුවේ ය.

දහවල් කෑම ගෙන කම්මල්කරු කම්මලට එන විට උදැල්ලක් අත ඇතිව සිටි හිද්දලයා දැක පුදුමයට පත්විය. උදැල්ල අතට ගත්තේ ය. යෝධයන්ගේ වැඩට සරිලන සේ දිග පළල තලයකින් යුතු උදැල්ලක් තනා ඇත. එය ශක්තිමත් ය. අතිශය තියුණු ය. මේ නම් හොඳීන් ශිල්පිය දක්ෂතා ඇති රජ කුමරකු බව වටහා ගත්තේ ය. මේ නම් අතුරුදහන් වූ ගැමුණු කුමරු බව හඳුනා ගත්තේ ය. බියට පත්ව වෙවුලන්නට විය. කම්මල්කරු ඔහුගේ දෙපා මුල වැඳ වැටුණේ ය. සමාව අයැද සිටියේ ය.

“නැගී සිටුව, නුඹට සමාව ලැබෙයි. නමුත් සිහි තබා ගනුව. මා ගැනවත්, මා කළ වැඩය ගැනවත් කිසිවකුට නොකියන්නට තරයේ වගබලා ගනුව. එසේ නොවුණහොත් නුඹ උල සිටුවා දඬුවම් කරනවා.”

බුසල් පනහක පමණ ප්‍රමාණයකින් යුත් බුද්ධංගල කුඹුර කොටා අවසන් කරන්නට හිද්දලයාට ගත වුයේ දින කිහිපයක් පමණි. දැන් බිත්තර වී අවශ්‍යය. ඌරුපැලැස්සේ ගෙදර බිත්තර වී වපුරා අවසන් ය. ඔහු ගෙවල් කිහිපයකට ගිය ද ගමන සාර්ථක නොවීය. සැවොම වී වැපිරීමේ කටයුතු අවසන් කර තිබිණි. “ අල්ලපු ගමේ ගෙදරක බිත්තර වී තිබෙනවා” යයි ආරංචිය කන වැකුණු හිද්දලයා එහි ගියේ ය. ගමරාල හමු වී වැපිරීමට බිත්හර වී ටිකක් ඉල්ලා සිටියේ ය. හිද්දලයාට විහිළුවක් කරන්නට සිතු ගමරාල බොල් වී මල්ලකට දමා දුන්නේ ය.

වී මල්ලේ බරෙන්ම තමාට ලැබුනේ බොල් වී බව හිද්දලයාට අවබෝධ විය. “මාගේ අනාගත ජයග්‍රහණය සැබෑ නම් මේ බොල් වී පැළවේවා “ යයි ප්‍රාර්ථනා කරමින් බුද්ධංගල කුඹුර පුරා ඉස්සේ ය. පුදුමයට මෙන් බුද්ධංගල කුඹුර පුරා පැළ මතු වී නිල පැහැයෙන් බබළන්නට විය. තවත් කල් ගත වන විට කරලින් බර වී වැඩිම අස්වැන්නක් දුන් කුඹුර විය. හිද්දලයා ගොයම් කපා ගත්තේ ය. ගොයම් පාගා ලබාගත් අස්වැන්නෙන් ඌරුපැලැස්සේ ගෙදර අටුකොටු සියල්ල පිරුණේ ය. ප්‍රදේශයේ වතුර හිඟකමින් අත්හැර දමා තිබු කුඹුරු අස්වැද්දීමට ක්‍රමයක් හිද්දලයා කල්පනා කළේ ය. එසේ කළහොත් ප්‍රදේශයේ ගොවීන්ගේ උනන්දුව වැඩිකළ හැකි බව ඔහුගේ අදහස විය.

අසල කැළයේ සිට ඇළක් කපා එමඟිින් පුරන් ව තිබු කුඹුරු වපුරා ගන්නට ජලය ලබා ගත හැකි විය. පසුව මෙය රජ ඇළ නමින් හැදින්විය. එයින් ගැමුණු කුමාරයා බලාපොරොත්තු වූ පරිදි ප්‍රදේශයේ ගොවීන්ගේ උනන්දුව ඇති වී ප්‍රදේශය පුරා සරුසාර වගා බිම් ඇතිවීමට හේතු විය .