Print this Article


විනයධර තෙරණින් වහන්සේ අතර අගතනතුරු ලැබූ පටාචාරා මහරහත් තෙරණිය

විනයධර තෙරණින් වහන්සේ අතර අගතනතුරු ලැබූ පටාචාරා මහරහත් තෙරණිය

මීට බොහෝ කල්ප කාලයකට පෙර පැවැති බුදු සසුනක එක තෙරණිනන් වහන්සේ නමක් විනයධර භික්ෂුණීන් අතරත් අග්‍ර යැයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අගතනතුරු පිරිනමනු දැක මහත් සතුටට පත් එක් තරුණියක් ඒ සඳහා ඇයගේ සිතෙහි ද ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා.

එතැන් පටන් මහත් වූ පින්දහම් කළ ඇය දෙව් මිනිස් ලොව ඉපිද සැප විඳිමින් සසරේ ගමන් කළා. මේ භද්‍ර කල්පයේ මහා යසස් ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. එකල බරණැස් නුවර ඒ බුදුරදුන්ගේ උපස්ථායකයා වූයේ ඒ රටේ රජු වූ කාසි නම් පින්වන්ත යායි. ඒ රජුට දියණියන් සත් දෙනෙක් සිටියා. තෙවැනි දියණිය ඉතාම පින්වන්තයි. නිතර නිතර බුදුරදුන්ගෙන් ධර්මය ඇසුවා. දන් දුන්නා. සංඝ උපස්ථානය සිදු කළා. දිනක් ඇය පැවිදි වීමට පියාගෙන් අවසර ඉල්ලුව ද පිය රජු එයට අවසර නොදුන් නිසා ඇය වසර විසි දහසක් ගිහි ගෙදර බඹසර වාසය කළා . ඒ ජීවිතයේදීත් පින් කරමින් සිටි ඇය මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නා.

ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ඇය නැවතත් මිනිස් ලොව උපන්නා. සැවැත්නුවර ජීවත් වූ ඉතා ධනවත්, සිටුවරයකුගේ බිරියගේ කුසේ ඇය පිළිසිඳ ගත්තා. ඉතාමත් සැප සම්පත් මැද හැදී වැඩුණු ඇය තරුණ වියේ දී දුගී තරුණයකු සමඟ හාද වී මව්පියනට රහසින් ඔහු සමඟ දුර ඈත ගමක ජීවත්වීමට පිටත්ව ගියා.

කාලයක දී ඇය ගැබ් ගත්තා. තම මව්පියන් දැකීමට සැවැත්නුවරට යමු යැයි සැමියාට නොයෙක් වර ඇවිටිලි කළ ද, එය ඉෂ්ඨ වුණේ නැති නිසා දිනක් ඇය තනිවම සැවැත්නුවරට යාමට පිටත් වුණා. එහෙත් මග දී සැමියා හමු වී ඇය නැවත නිවස වෙත කැඳවාගෙන ආවා. දෙවැනි දරුවා බිහි කිරීමට ආසන්න කාලයේ දී ද ඇය නැවත සිය මව්පියන් වෙත යාමට අවශ්‍ය බව සැමියාට නිතර කියා සිටියා. ඔහු එකඟ වූයේ නැති නිසා ඇය නැවත කුඩා දරුවාත් රැගෙන සැවැත්නුවරට යාමට පිටත්වූවා. ටික දුරක් ගමන් කරද්දී මහා වර්ෂාවක් වැටෙන්න පටන් ගත්තා. ඒ සමඟම ඇයට දරුවා බිහි කිරීමට ප්‍රසූත වේදනාව දැනුණා. ඒ මාවතේ ඇගේ සැමියා මුණ ගැසුණා. ඔහු වැස්සෙන් බේරීමට කොළ අතු කඩාගෙන ඒමට කැලයට ගිය අතරේ ඇය දරුවා බිහි කළා. ඇගේ සැමියා සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා එතැනම මිය ගියා. රෑ එළිවෙන තුරු දරු දෙදෙනා තුරුලු කරගෙන සිටි ඇය පාන්දරම සැමියා ගිය පෙදෙස සොයාගෙන ගියා. එවිට ඇය දුටුවේ තුඹසක් අසල සැමියා මැරී වැටී සිටි ආකාරයයි. ශෝකයට පත් ඇය මහා හඬින් හඬා වැටුණා.

සිඟිති දරු දෙදෙනාත් රැගෙන නැවත සැවැත්නුවරට යාමට පිටත් වුණා. පෙර දා රාත්‍රියේ ඇද වැටුණු මහා වර්ෂාව නිසා එගොඩ වීමට තිබු ගඟ පිරී ඉතිරී ගොස් තිබුණා. දරු දෙදෙනා රැගෙන එතෙර වීමට නොහැකිවූ ඇය කුඩා දරුවා මෙතෙර තබා ලොකු දරුවා පළමුව ගඟෙන් එතෙරට ගොස් තැබුවා. නැවත කුඩා දරුවා රැගෙන යාමට ඇය ගඟට බැස්සා. ගඟ මැද දී ඇය දුටුවේ අදහා ගත නොහැකි දෙයක්. මහා උකුස්සෙකු මස් වැදැල්ලක් යැයි සිතා එදා උපන් දරු සිඟිත්තා දෙසට වේගයෙන් පියඹා එන අයුරුයි. එය දුටු ඇය මහත් කලබලයට පත් වුණා. දෑත ඔසවා උකුස්සා එළවීමට කෑ ගැසුවා. අත්පොළසන් දුන්නා. උකුස්සා ඇය ඈත සිටි බැවින් දරුවා රැගෙන අහසට පියඹා ගියා. මෙතෙර සිටි දරුවා මව දෑත ඔසවා තමාට කතා කරනවා යැයි සිතා ගඟට බැස්සා. මහා දිය පහරට හසුවූ ඒ දරුවා ඇය බලා සිටියදී ම දිය පහරට හසුව ගසාගෙන ගියා.

සැමියා ද, දරු දෙදෙනා ද අහිමි වූ දුක දරාගනිමින් ඇය ගඟෙන් එගොඩ පැමිණ මව්පියන් වෙත යාමට සිතා ඒ පිළිබඳව දිසාව හඳුනා ගැනීමට මඟ ගිය එක් මිනිසකුගෙන් ඒ පිළිබඳව විමසුවා. ඔහු කියා සිටියේ පෙරදා මහා වැස්සට සිටු මාළිගය කඩා වැටි සියලු දෙනාම මරණයට පත්වූ බවයි. “ඔවුන් එකට දැවෙන සෑයේ දුමයි ඔය පෙනෙන්නේ” ඔහු කියා ගියා.

ශෝකයෙන් උමතු වූ මේ තරුණ කාන්තාවට ඇඳි වත පවා ගිලිහී වැටෙනවා දැනුණේ නැහැ. ඇය දුක කියමින් ගමන් කළා. පිස්සියක් කියමින් සමහරෙක් ඇයට උසුළු විසුළු කළා. ගල් මුල් වලින් පහර දුන්නා. වස්ත්‍ර නැතිව ඔබ මොබ යන මේ තරුණියට “පටාචාරා” කියා මිනිසුන් කතා කළා.

දම්සභා මණ්ඩපයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ඇයගේ සසර ගමන දුටු සේක. මේ ජීවිතයේ අරහත්වයට පින තිබෙන ඇය විහාරය වෙත පැමිණෙන ලෙස අධිෂ්ඨාන කළ සේක. ඇය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දෙපා අසල ඇද වැටුණා. “නැගණිය, සිහි එලවාගන්න” උන්වහන්සේ පැවසූ සැණින් ඇයට ප්‍රකෘති සිහිය ලැබුණා. එක පුරුෂයෙක් ඇයට උතුරු සළුව දුන් නිසා ඇය විලි වසා ගත්තා.

“ස්වාමීනි මට පිහිටවනු මැන

පටාචාරා ඔබට මම පිහිට වන්නෙමි. ඔබ පුතුන් නිසා ,සැමියා නිසා, මව්පියන් නිසා මේ ජීවිතයේ කඳුළු සළන්නේ ද, එයම හේතු කරගෙන ඔබ සසරේ දී සිවුමහා සාගරයටත් වඩා වැඩියෙන් කඳුළු සලා තිබෙනවා. එනිසා ශෝක කරමින් ප්‍රමාද වන්නේ ඇයි” කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. දේශනාව අවසානයේ ඇය සෝවාන් ඵලයට පත්වුණා.

භික්ෂුණී ආරාමයකට ගොස් පැවිදි වූවා. උපසම්පදාව ලබාගත් ඇය වීර්යයෙන් විදසුන් වැඩුවා. දිනක් පා සේදීමට කළයෙන් ගත් වතුර පා මතට වත් කළා.

පළමුව වත්කළ දිය ටික දුරක් ගොස් සිඳී ගියා. දෙවන වතුර පාර තව ටිකක් දුරට ගියා. තෙවන වතුර පහර එයටත් වඩා ටිකක් දුරට ගොස් සිඳී ගියා. ඇය එයම අරමුණු වශයෙන් ගෙන “මේ ලෝකයේ උපන් හැම සත්වයකු ම මරණයට පත්වෙයි. ළමා වයසේ දී දෙවන දිය පහර මෙන් මැදි වියේදීත් තෙවන දිය පහර මෙන් මහලුවියේදීත් මරණය කරා යයි. බුදුරදුන් ඇය පිළිබඳ දුටු සේක. උන්වහන්සේ ගඳකිලියේ සිටම එතුමියට ඇමතූහ.

පටාචාරා එය එසේමයි. මේ සියලු සත්වයෝ මරණය ස්වභාවය කොට ඇත්තේ පංචස්කන්ධයෙන් උපත හා විපත නොදැන වසර සියයක් ජීවත්වන තැනැත්තාට වඩා එය අවබෝධ කරගෙන එක දිනක් හෝ එක මොහොතක් හෝ ජීවත්වන තැනැත්තා වටින්නේය’ කියා වදාළ සේක.

ඒ ගාථාව අවසානයේ දී පටාචාරා භික්ෂුණීන් වහන්සේ අරහත්වයට පත් වූ සේක. ලෝ සත වෙත මෙත් සිත පතුරවමින් එතුමිය වැඩසිටි සේක. දිනක් එතුමිය තමන්ගේ ජීවිතය පිළිබඳව උදානයක් මෙසේ වදාළ සේක.

* මේ ලෝකයේ ඉපදුණු මිනිස්සු නගුල්වලින් කුඹුරු හාලා, කුඹුරේ බීජ වපුරා අඹු දරුවන් පෝෂණය කර ගෙන ධනය උපයා ගන්නවා.

* ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළිපදිමින්, සිල්වත් ජීවිතයක් ගත කරමින් කම්මැලිකමත්, උඩුඟු බවත් නැති මම නිවන අවබෝධ කරනොගෙන සිටින්නේ කොහොමද?

* දිනක් දිය ගෙන පා සෝදන විට මම දුටුවා පා සේදූ වතුර ටික උස් තැනකින් පහත් තැනකට ගලාගෙන යන අයුරු.

* ඒ ගැනම මම සිත හොඳින් එකඟ කර ගෙනයි සිටියේ. හරියට අජානීය අශ්වයකු දමනය වුණා වගේ. ඉතින් මම පහනක් අරගෙන කුටිය තුළට ගියා.

* කුටියේ තිබු ඇඳ අසලට ගියා. ඇඳේ වාඩි වුණා. පහන නිවීමට සිතාගෙන පහන් තිරේ පහළට ඇද්දා. පහන නිවී යනවා වගේ මගේ සිත කෙලෙස්වලින් නිදහස් වුණා.