Print this Article


 ගුත්තිල කාව්‍යය හා ගුත්තිල ජාතකය

 ගුත්තිල කාව්‍යය හා ගුත්තිල ජාතකය

හෙළ සාහිත්‍ය ග්‍රන්ථ අතර ජාතක කතා වස්තු විෂයය කර ගනිමින් කරන ලද ගද්‍ය හා පද්‍ය කෘති රාශියක් හඳුනාගත හැකි ය. පොළොන්නරු යුගයේ රචිත අමාවතුර, බුත්සරණ ආදී ගද්‍ය කෘතිවලට ද මුවදෙව්දාවත,සසදාවත ආදී ගී කාව්‍යවලට ද අනුභූතිය වී ඇත්තේ ජාතක කතා බව පැහැදිලි ය.

මෙම කෘති අභ්‍යන්තරය විමසීම තුළින් පැහැදිලි වනුයේ හුදෙක් ජාතක කතා මතම නොයැපී තම පරිකල්පන ශක්තිය මෙහෙයවා ප්‍රතිභා පූර්ණත්වයෙන් ඉදිරිපත් කර ඇති බවයි.

කෝට්ටේ සාහිත්‍ය අම්බරයේ දිදුලණ තාරකාවක් බඳු වෑත්තෑවේ හිමියන් විසින් විරචිත පද්‍ය 511 කින් සමන්විත ගුත්තිල කාව්‍යයට කාව්‍යානුභූතිය වූයේ ද ජාතක කතාවකි.එනම් ගුත්තිල ජාතකයයි. උන්වහන්සේ ජාතක කතා වස්තුවේ රිද්මය නොබිඳ, අවශ්‍ය තැන් හඳුනාගෙන අනවශ්‍ය තැන් බැහැර කරමින්, අලුත් වර්ණනා ඉදිරිපත් කරමින් මෙම අනගි කාව්‍යය රචනා කළහ. නිදසුන් ලෙස උදේනි පුර සැණකෙළිය, ගුත්තිලගේ වීණා වැයුමෙහි සාමර්ථය වෙළඳුන් පැවසීම, මූසිලගේ අවගුණ විවරණය, වීණා තරගය නැරඹීමට පැමිණි පිරිස, වීණා තරගයට මඬුව පිළියෙළ කිරීම, දෙවඟන නැටුමේ විලාසය, ජයෝත්සව වැනුම, නිසා වැනුම, උදය වැනුම, දෙව්ලොව ගමන් මග වැනුම ආදිය පෙන්වා දිය හැකි ය.

ගුත්තිල ජාතකය අරඹන්නේ අනෙකුත් ජාතක කතා අරඹන ආකාරයෙනි.ඒ බෝසත් චරිතය ඉස්මතු වන අයුරෙනි.

“යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ......”

ගුත්තිල ජාතකය එසේ ආරම්භ කරතත්, ගුත්තිල කවියා සම්මත කාව්‍ය ක්‍රමයට අනුගත වෙමින් තෙරුවන් ගුණ ගයා නැමැද පුර වර්ණනාවක් ඉදිරිපත් කෙරේ. එසේම ගුත්තිල ජාතකයෙහි ඇති ඇතැම් පද සඳහා වර්ණනාත්මක වැනුම් භාවිත කොට තිබේ.ගුත්තිල ජාතකයෙහි බරණැස් නුවර යනුවෙන් නගරය පිළිබඳ දක්වා තිබුණත් නගරාභ්‍යන්තරය පිළිබඳ සඳහනක් දක්නට නොලැබේ.

එනමුත් ගුත්තිල කවියා නගරය තුළ ඇති ප්‍රාකාරය, දිය අගල, උස් ප්‍රාසාද, ළෙල දෙන කොඩි, ඇත් අස් ආදී සේනා, පුරය ජනාකීරණව පැවතීම යනාදිය පිළිබඳ වර්ණනාවක යෙදේ.

එසේම “බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන්” යන්නට රජ වැනුමක් ඉදිරිපත් කෙරේ- ඒ සඳහා පද්‍ය අටක් යොදා ගනී.

ඉන්පසු ජාතකය තුළ එන චරිතය නම් මූසිල චරිතයයි. එනමුත් කාව්‍ය තුළ ගුත්තිල කුමරුගේ උපත පිළිබඳ වර්ණනා කෙරේ. ගුත්තිල පඩිතුමා පිළිබඳ ජාතක කතාවේ සංක්‍ෂිප්ත හැඳීන්වීමක් තිබුණත් වෑත්තෑවේ හිමියන් ගුත්තිල උපත සඳහා පද්‍ය හයක් ගොඩනඟයි. ඒ තුළින් ගුත්තිල කුමරුගේ රූපශ්‍රීයෙන් යුතු ළමා කාලය හා තරුණවිය , අන්ධ මව්පියන් පිළිබඳ හා පෞරුෂය පිළිබඳ වර්ණනා කෙරේ.

අනතුරුව ගුත්තිල කාව්‍ය තුළ වර්ණනා කෙරෙනුයේ උදේනි පුරයයි. ජාතක කතාව තුළ

“බරණැස් නුවර සිට වෙළෙන්දෝ උදේනි රටට ආවාහු........” ලෙස සංඥා නාමය පමණක් දක්වා තිබුණද කාව්‍ය තුළ පද්‍ය දාහතරකින් සැණකෙළි වර්ණනාවක් ලෙස ගෙනහැර දක්වයි.

සදවා සුදු වැලි පිවිතුරු
බඳවා රන් දද පියකරු
සිටුවා දොර දොර රඹ තුරු
තබවා පුන්කුඹු විසිතුරු

සරා සලෙලු දන සතොසේ
සුරා පාන කරන ලෙසේ
පුරා අවුළු නොයෙක රසේ
සරා අවන්හල් සහසේ

නගරයක පවතින කර්ය බහුල ස්වරූපය පාඨකයාට චිත්‍රණය කරවමින් උදේනි නගරය වර්ණනා කෙරේ.ඒ අනුව බරණැස් නගරයේ සිට උදේනි නගරයට පැමිණි වෙළෙඳුන්ට නගරයට පිවිසි මොහොතේ සිට සැණකෙළි පවත්වන ගෙයක් ගෙයක් පාසා කෙසෙල් ගස් සිටුවා නිවස ඉදිරිපිට පුන්කලස් තබා සෞභාග්‍ය සංකේතවත් කර ඇති ආකාරයක්, ප්‍රීතියෙන් කෙළිදෙලින් පසුවන ජනයන්ට නිදහසේ කටයුතු කරන්නටත්, සුරාපානය කිරීමට අවන්හල්, රස කැවිලිවලින් පිරුණු අවන්හල් හා ගී කියමින් නටමින් විනෝදවන ජනයා පිළිබඳ දකින්නටත් ලැබේ.

මේ අයුරින් කතුවරයා නගරයක පවතින කාර්ය බහුලත්වය, සුන්දරත්වය පිළිබඳ වර්ණනා කරමින් තම ප්‍රතිභා පූර්ණ කවීත්වය ප්‍රකට කරයි.

උදේනි පුර වර්ණනාවෙන් පසු කාව්‍ය තුළ මූසිල චරිතය කලඑළි බසී. ජාතක කතාව තුළ සිද්ධි කථනයක් සේ ගෙනහැර දක්වන මෙම අවස්ථාව කවියා රූප කථනයක් ලෙස ගෙනහැර දක්වයි. “ එ සමයෙහි බරණැස් නුවර සිට වෙළෙන්දෝ උදේනි රටට ආවාහු....... වීණා ගායනා දන්නා විද්දතෙකු ගෙනවයි කීහ.”

ජාතක කරුවා හා ගුත්තිල කවියා එකම අයුරින් වෙළෙදුන් හා මූසිල කතාව තුළට සම්බන්ධ කර දක්වයි. එනමුත් ජාතක කරුවා මූසිල චරිතාභ්‍යන්තරය නොකියවන අතර කවියා චරිතාභ්‍යන්තරය කියවයි. කාව්‍ය පොත අනුව මූසිල ඉතා දිළිදු පුද්ගලයෙකි. එසේම ධනයට අසීමිත ආශාවකින් පෙළෙන්නෙකි. වීණා ගායනා කොට වෙළෙන්දන් සතු සියලු ධනය තමා සතු කරගන්නට සිත් විය. මෙවන් විස්තරයක් ජාතක කතාව තුළ විස්තර නොවේ. ගුත්තිල කාව්‍ය තුළ

එකල ඒ ගඳඹා
දක්වා සිල්ප නොතඹා
වෙළඳ මන පොළඹා
ගනිමි යන සිතිනි ධන නොතඹා

යනුවෙන් විස්තර වේ.

වීණා වාදනයෙන් පසු මූසිල හා වෙළෙඳුන් අතර සිදු වු දැඩි වචන හුවමාරුව පිළිබඳ ජාතක කතා හා කාව්‍ය තුළ සම මට්ටමේ සංක්‍ෂිප්ත ව ගෙනහැර දක්වයි.

ගුත්තිල ජාතකය - “ඇයි තොප හැම මා මෙසේ ගායනා කරද්දීත් බැණ නොනැගී ඉන්නේ ...... මට වඩා ගන්ධර්ව කරන්නා ගන්ධර්වයකු දුටු විරූ ඇද්දැ යි. .......

එම්බල මූසිල නම් ගාන්ධර්වය, ගුත්තිල නම් ගාන්ධර්වයන්ගේ වීණා නාදය ඇසුවා වු අපට තොපගේ වීණා නාදය උණපත්තෙක ගාන්නාක් මෙන් අපට සිතෙයි කීහ.”

ගුත්තිල කාව්‍ය -

වෙන වෙණැදුරෙකු බල
නෑසීද තෝ මූසිල
බරණැස් පුර මෙ කල
වෙසේ ගඳඹෙක්
නමින් ගුත්තිල

කාව්‍ය තුළ ගුත්තිල පඩිවරයාගේ වීණා වාදනයෙහි බල පරාක්‍රමය පිළිබඳ පද්‍ය නවයකින් වර්ණනා කෙරේ. එහිදී මූසිල වීණා වාදනයෙහි අදක්‍ෂයකු බව කීමට ජාතක කතා කරුවා භාවිත උපමාව පසෙකලා ස්වභාව සෞන්දර්ය උපමාවක් ගෙනේ. ජාතක කතා කරුවා උණ පත්තක ගාන්නක් මෙනි යනුවෙන් දැක් වූ උපමාවට කවියා රිවි රැස් පහස නොලැබෙන නෙළුම් මල් නො පිපෙන්නාක් මෙනි යනුවෙන් සඳහන් කරයි. කතා කරුවා හා කවියා යොදන උපමා තුළින් පැහැදිලි වනුයේ කවියා ස්වාධීන මඟක් ගෙන ඇති බවයි.