Print this Article


පරිසරයට වින කරනවා ද? අනිටු විපාක අත ළඟයි

පරිසරයට වින කරනවා ද? අනිටු විපාක අත ළඟයි

මිනිසා සහ පරිසරය අතර ඇත්තේ අත්‍යන්ත සබඳතාවකි. මිනිසා සහ සමස්ත සත්වයාගේ ම පැවැත්ම පරිසරය මූලික කරගෙන පවතියි.

පරිසරයේ සුරක්ෂිත භාවය යම්තාක් පවතින්නේ ද එතෙක් පමණක් සත්වයාගේ සුරක්ෂිත භාවය ද පවතී. වත්මන් ලෝකයේ පරිසරවේදීන් විසින් විවිධ වූ න්‍යායන් ඉදිරිපත් කරමින් ඒ වෙනුවෙන් තර්ක විතර්කයන් ඉදිරිපත් කරමින් පරිසරයේ වැදගත්කම හා ආරක්ෂාව පිළිබඳ උත්සුක වෙති. ලෝකයක් වශයෙන් අප සියලු දෙනා එයට එකඟ වන අතර, ඇතැම් මානව ක්‍රියාකාරකම් නිසාම නූතනයේ ස්වභාව සෞන්දර්යයේ විශාල වෙනස්කම් දිනෙන් දින දෘශ්‍යමාන වේ. ඒවායේ අනිටු ප්‍රතිවිපාක නුදුරේදී ම අපට විඳීමට සිදුවන අතර, බුදුන් වහන්සේගේ පාරිසරික සංරක්ෂණ ඉගැන්වීම් ක්‍රියාවලිය නූතන ලෝකයාට නිවැරදිව ලබා නොදීම ඉහත කාරණාව සඳහා බලපාන ප්‍රධාන සාධකයක් ලෙස පෙන්වාදිය හැකි ය.

ත්‍රිපිටකාගත සංයුත්ත නිකායේ වනරෝප සූත්‍රයේ දී බුදුන් වහන්සේ හමුවට පැමිණෙන එක් දේවතාවකු විසින් කවරකුට දිවා රාත්‍රී දෙකෙහි පින් වැඩෙන්නේ දැයි ඇසූ විට ඊට පිළිතුරු වශයෙන් බුදුන්වහන්සේ ,

“යමෙක් මල් පලතුරු වවන්නේ ද, ස්වභාවික වනාන්තර වවන්නේ ද, ඒදඩු පාලම් පොකුණු පැන්හල් ඉදිකර දෙන්නේද ඔවුන්ට දිවා රෑ දෙක්හි පින් වැඩෙයි. ඔවුහු දැහැමිව සිල්වත්ව වාසය කොට සුගතිගාමී වේ.” යනුවෙන් දේශනා කළහ.

බුද්ධ කාලීන භාරතය විවිධ ආගමික හා දර්ශන වාදයන්ට තෝතැන්නක් විය. ඒ අතුරින් පරම අවිහිංසාවාදියකු වූ ජෛන මහාවීර හෙවත් නිගන්ඨනාථපුත්ත ශාස්තෘවරයාගේ අදහස වූයේ ගහකොළ සිඳීම විශාල ප්‍රාණඝාතයක් ලෙසිනි. එම අදහස් සඳහා අවධානය යොමු කළ බුදුන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට “භූතගාම පාතව්‍යවතාය පාචිත්තියං”යනුවෙන් ගස් වැල් සිඳීම පචිති ඇවතක් ලෙස දැක්වූ අතර, වස්සාන කාලය ද එකතැන්ව සිටිමින් කටයුතු කිරීමට ශික්ෂාපද පනවමින් නව පැළෑටි පෑගී විනාශ නොකිරීමට වගබලා ගත්හ.

මෙයට අමතරව ආරාම පරිහරණයේ දී පවිත්‍රතාව බෙහෙවින් අගය කළ බුදුන් වහන්සේ ජල මූලාශ්‍රිතව අරාම ඉදිකිරීම, වන එළිපෙහෙළි කිරීම, නිල් තණකොළ මත කෙළ ගැසීම මුත්‍රා කිරීම, අපද්‍රව්‍ය දැමීම විනය විරෝධී ක්‍රියාවන් ලෙස දැක්වූ හ. තව ද, පරිසරයේ ඇති සියලුම ශාඛයන්ගේ වර්ගීකරණයක් කොටස් පහකට සංග්‍රහ කොට දක්වයි.

මූලබීජ - මුල් වලින් පැළවෙන බීජ,
ඛන්ධබීජ - අතුවලින් පැළවෙන බීජ,
ඵළුබීජ - පුරුක් වලින් පැළවෙන බීජ,
අග්ගබීජ - දලු වලින් පැළවෙන බිජ,
බීජබිජ - ඇටවලින් පැළවෙන බීජ යනුවෙනි.

මේ තුළින් පරිසරය පිළිබඳ කෙතරම් විනිවිද දැක්මක් බුදුන් වහන්සේ සතුව පැවතුණි ද යන්න සනාථ වේ.

බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක් ම සිදුවූයේ ස්වභාවික පරිසරය මුල්කොට ගෙනය.

බෝසත් උපත - ලුම්බිණි සාල වනයේ දී සාල වෘක්ෂයන් අතර
සම්බුද්ධත්වය - ගයා ශීර්ෂයෙහි ඇසතු වෘක්ෂය මුල
ප්‍රථම ධර්මාභිසමය - බරණැස ඉසිපතනයේ එළිමහන් පරිසරයක
පරිනිර්වාණය - උපවර්තන සාල වනයේ සාල වෘක්ෂ දෙකක් අතර සිදුවුණි.

එපමණක් ද, නොව පන්සාළිස් වසක් මුළුල්ලෙහි උන්වහන්සේ වස් වැඩ විසුවේ ද භේසකලා වනය, පාරිලෙය්‍ය වනය, මකුල පර්වතය, චාලිය පර්වතය වැනි පර්වත හා වන ආශ්‍රිතව ය.

භාවනා කිරීම සදහා සුදුසු බවට නිර්දේශ කරනුයේ ඉහත සදහන් ආරණ්‍ය හා වෘක්ෂ සෙනසුනුත්, සොහොන් බිම් යනාදියත් ය. ධර්ම දේශනාවන් පවැත්වීමේ දී ඒ සඳහා සුන්දර පරිසරයක් තෝරා ගැනීම සුවිශේෂී ය. අචිරවතී නදිය, ජීවක අඹ වනය, ඇට්ටේරියා වනය, කලන්දක නිවාපය ආදී රමණීය ස්ථාන තෝරා ගැනීම තුළින් පැහැදිලි වනුයේ පරිසරය හා පැවති බැඳියාව ය.

භික්ෂූන් වහන්සේගේ චීවරය සකස් කිරීමට අනුදැන වදාළේ සුන්දර පරිසරයේ තිබූ මගධ කෙත් යායේ ස්වරූපයට ය. බුද්ධ දේශනාවන්හි ද බොහෝ සෙයින් ඇතුළත් වන්නේ පරිසරය උපයෝගි කොට ගනිමින් පවත්වන ධර්මෝපමා ය. බුදුන් වහන්සේ පමණක් නොව උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් පරිසරය කෙරෙහි දැක්වූයේ අපරිමිත සෙනෙහසකි. නමුත් ඒවායෙහි ඇල්මක් නොවූහ,

ථෙර ථේරී ගාථාවන්හි මහරහත් තෙර තෙරණියන් සතුව පැවති පරිසරය කෙරෙහි ආකල්පය කෙබඳු එකක් ද යන්න මනාව පැහැදිලි වේ.

“යම් කලෙක පිරිසිදු සුදු පියාපත් ඇති කෙකණියෝ,කලු පැහැති වළාකුළු නිසා ඇති වූ භයින් තැති ගත්තාහු, වාසස්ථාන සොයමින් ඒ්වා කරා පලා යත් ද, එකල්හි අජකරණී නදිය මා සතුටු කරවයි”

යනුවෙන් සප්පක තෙරුන් වහන්සේ සිදුකරන මෙම පාරිසරික වර්ණනාව මඟින් ප්‍රකට වනුයේ පරිසරය කෙරෙහි දැක්වූ ආකල්පය හා උන්වහන්සේලා තුළ පැවතී එහි නො ඇලීමේ ස්වභාවයයි.