Print this Article


භාවනා කිරීමේ දී තැති ගන්නවාද?

භාවනා කිරීමේ දී තැති ගන්නවාද?

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයක, ජාණුස්සෝණි බ්‍රාහ්මණයා විසින් වන වාසයේ දුෂ්කරතාවය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන් කරුණු විමසන ලදී.

එහි දී භාග්‍යවතුන් වහන්සේ අපිරිසුදු කාය කර්ම ඇති, අපිරිසිදු වචී කර්ම ඇති, අපිරිසිදු මනෝ කර්ම ඇති සහ අපිරිසිදු ආජීවයක් ඇති භික්ෂූන්ට වනයේ වාසය කිරීම දුෂ්කර බවත්, එහි විවේකයට දුෂ්කර බවත්, සමාධියක් ඇති කර ගැනීම දුෂ්කර බවත්,ඒ තුළින් භය තැතිගැනීම් ඇතිවන බවත් මජ්ක්‍ධිම නිකායේ භයභේරව සූත්‍රය මඟින් දේශනා කරන ලදී.

මෙහි අපිරිසුදු කායකර්ම, අපිරිසිදු වචීකර්ම,අපිරිසිදු ආජීවය සහ අපිරිසිදු මනෝකර්ම වලින් කොටසක් පෙර ලිපිය මඟින් විස්තර කරන ලදි. මෙමඟින් ඉතිරි අපිරිසිදු මනෝකර්ම විස්තර කිරීමට බලාපොරොත්තු වේ.

නිශ්චයක් නැති බව -(කංකි)

රූපය නිතරම විපරිනාමයට පත්වේ. එ බැවින්, රූපය අල්ලාගෙන සාදන සංස්කාර ද විපරිනාමයට පත්වේ. සංස්කාරයන් බිඳෙනවිට සිත හඬා වැළපේ. එනම් පරිදේවය සිදුවේ. මේ අනුව පරිදේව වූ සංස්කාරම නැවත නැවත සාදයි. එබැවින් පරිදේව වූ සංස්කාරයක් නැවත යථා ස්වභාවයට පත්කළ හැකි ද? යන්න සහ එම නිසා නැවත සෝකය ඇති නොවන්නේද? යන්න පිළිබඳවත් නිශ්චයක් නැති ස්වභාවයක් සිතේ ඇති වේ.

සැක කිරීම - (විචිකිච්ඡතී)

එසේ විපරිනාමයට පත්වන සංස්කාරයක් අල්ලාගෙන සාදන විඤ්ඤාණය ද විපරිනාමයට පත්වේ. එබැවින් සාදන ලද සංස්කාර නැවත මිය යන නිසා නැවත සංස්කාරයක් සාදන්නේ එය ද මියයාවි කියා සැකයකිනි. කුමන හෝ බිය අරමුණක් ආ විට තමන්ගේ කයට කුමක් හෝ සිදුවේයැයි බයවන්නේ මෙම සැකය නිසා ය. පෙර රූපයන් මැරී වැටී ඇති නිසා මෙම රූපය පිළිබඳව ද නොමැරී පවතී දැයි කියා සැක ඇති වේ.

තමන් උසස්කොට සිතීම - (අත්තුකංසකා)

තමන් විසින් සාදන සංස්කාර හොඳම සංස්කාර බව සැලකීම නිසා තමන් උසස් යැයි සිතීම සිදුවේ. එදිනෙදා කටයුතු වලදී තමන් තමයි හොඳටම මෙම කාර්යය කරන්නේ යැයි සැලකීමෙන් මෙම තත්වය ඇතිවේ. ඊට හේතුව වන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය නොදැනීමයි. තමන් අටවන ධ්‍යානය උපදවා උසස් කොට සැලකුවත් මෙම තත්ත්වය ඇති වේ.

අනුන් පහත්කොට සිතීම - (පරවම්භි)

තමන් උසස්කොට සිතන විටම අනිත් පැත්තෙන් අන් අය පහත් කොට සැලකීම සිදුවේ. තමන් අටවන ධ්‍යානය උපදවාගෙන අනිත් අය තමන්ට වඩා අඩු ධ්‍යානවල සිටින්නේ යැයි සැලකීමෙන් පවා මෙම තත්වය ඇතිවේ. තමන්ගේ රූපය, තනතුර, ධනය, බලය, අධ්‍යාපන මට්ටම ආදිය පිළිබඳව අන් අයට වඩා ඉහළින් තක්සේරු කිරීමෙන් ද මෙම තත්වය ම උදාවේ.

තැතිගන්නා බව - (ඡම්භී)

තමන්ගේ පෙර සංස්කාරය නිසා බිහිවූ ඇස,කන,නාසය යනාදී ඉන්ද්‍රියන්ගෙන් සකස් වූ පැවැත්ම නිසි අයුරින් පවතී ද, යන්න පිළිබඳ තැතිගැනීමට පත්වේ.

බියවන ස්වභාවය ඇත්තා වූ - (භීරූකජාතිකා)

සැක ඇත්තා වූ, තැතිගන්නා වූ, නිශ්චයක් නැත්තා වූ තමන්ගේ සංස්කාර බිඳවැටෙන බැවින් ඇතිවන බිය මෙම තත්වයයි. සාමාන්‍යයෙන් භය වන්නේ තමන්ගේ පැවැත්මට හානි වෙතැයි කියා ය. ඇත්තෙන් ම මෙහිදී දැන් පවතින පැවැත්මත් අනාගත පැවැත්මත් යන දෙක පිළිබඳව ම බිය ඇතිවේ.

ලාභ සත්කාර සහ කීර්තිය පතන්නා වූ - (ලාභසක්කාරසිලෝකං)

ලාභ සත්තාර, කීර්තිය යනාදිය පැතීම සිදුකරන පුද්ගලයා මානයෙන් ජීවත්වේ. නමුත් ඒවා ලැබෙනවිට ඊට ඇලීමෙන් ද, ඒවා නොලැබෙන විට ඊට ගැටීමෙන් ද සිත විසුරුවා ගනී. ලැබී ඇති ගෞරවය ආරක්ෂා කරගැනීමටත්, නොලැබෙන ගෞරවය ලබා ගැනීමටත් වෙහෙසෙන නිසා සිත බියටත් , නොසන්සුන් බවටත් පත්වේ.

තණ්හා වීමට ඇති කැමැත්ත- (නිකාමයමානා)

ලැබෙන සුඛ වේදනාවට ඇලීමෙන් සහ ලැබෙන දුක්ඛ වේදනාව ප්‍රතික්ෂේප කර සුඛ වේදනාව පැතීමෙන් තණ්හාව හටගනී.‘වේදනා පච්චයා තණ්හා’තණ්හාව සකස් වන්නේ වේදනාව ප්‍රත්‍ය කරගෙනමයි. සසර පුරුද්ද ඇත්තේ මනාප සුඛ වේදනාවට ඇලීමටත්, අමනාප දුක්ඛ වේදනාවට ගැටීමටත්ය. මෙසේ සිත තණ්හාවී උපාදානය වීමෙන් සිත නොසන්සුන් බවටත්, බිය සහගත බවටත් පත් වේ.

කම්මැලිකම - (කුසීතා)

වැඩක් කිරීමට ඇතිබව හෝ වැඩක් කර මහන්සි බව සිතේ රඳවාගැනීම නිසාත්, ගමනක් ගියබව හෝ ගමනක් යාමට ඇතිබව කල්පනාකර, ආහාර අඩුවෙන් ලැබීම නිසා ශක්තිය මදබව කල්පනාකර සහආහාර වැඩියෙන් ගත්විට වෙහෙස බව සිහිපත්කර, රෝගී වීමට ප්‍රථම ඊට බියෙන් විවේක ගැනීමත්, රෝග සුව වූ පසු නැවත සෑදෙයි කියා බියවීමෙනුත් සිදුකළයුතු කාර්යයන් කල්දැමීම කම්මැලිකමයි. මෙසේ අලස වීම බිය ඇතිකරවන්නකි.

විරිය නැතිබව - (හීනවිරියා)

ලෞකික ලෝකෝත්තර මාර්ග දෙකම සඳහා විරිය අවශ්‍ය වේ. නිවන් මාර්ගයේ විරිය නැතිබව වන්නේ අකුසල් ප්‍රහාණයටත්, කුසල් ප්‍රවර්ධනයටත් චිත්ත ශක්තියක් නොමැති වීමෙන් ය. මෙසේ කටයුතු කිරීමෙන් තමන්ගේ අරමුණ ගිලිහීයාමෙන් බියට තැතිගැනීමට පත්වේ.

මුලා වූ සිහිය - (මුට්ඨසති)

සිහිය පවතිනවා නම් සංස්කාර සකස්කර ගැනීම වැළැක්විය හැකි ය. නමුත් එදිනෙදා කටයුතු වලදී සිහිය පවත්වා නොගෙන ඒවා වෙන්ඩ ඉඩහැරීමෙන් සංසාරය නැවත සකස් වේ. මෙය මුලාවූ සිහිය ලෙස හැඳින්වේ.

හොඳ නුවණ නැතිවීම - (අසම්පජානා)

මුලාවූ සිහිය ඇතිනම් සම්පජානයක් නැත. තමන්ට පෙර කර්මය අනුව ලැබෙන ඵලය නැවත කර්මයක් බවට පත්කරගෙන භවය සකස් වීමට ඉඩහැරීම අසම්පජානයයි. එහිදී සිත විසිරී යයි.

එකඟ සිතක් නැතිකම- (අසමාහිතා)

සිත තණ්හාවීම නිසා විවිධ අරමුණු ඔස්සේ දිවයයි. උද්දච්චය ලෙස ද හඳුන්වන්නේ මෙයයි. මෙසේ ‘මීට වඩා අරක හොඳයි, නැතිනම් ඊළඟ එක හොඳවේවි’ කියා විවිධ අරමුණු ඔස්සේ සිත විසිරීයන නිසා එක අරමුණක සිත නවතා ගැනීම හෙවත් එකඟ සිතක් ඇතිකර ගැනීමට අපහසු ය.

විසිරෙන සිත - (විභන්ත චිත්තා)

ඉහත ලෙස විපරිනාමය නොවූ අරමුණු සෙවීම නිසා සිත නොයෙක් අරමුණුවල විසීරීයයි.

නුවණ නැත්තා වූ -(දුප්පඤ්ඤා)

ප්‍රඥාව යනු පංච උපාදානස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම අවබෝධ කරගෙන විදර්ශනා ඤාණ උපදවාගැනීමයි. එලෙස මනසිකාරය සකස්කර ගැනීමට නොහැකි නම් ‘මම’ නැවත නැවත සකස් කිරීමට කටයුතු කිරීම නුවණ නැතිකම වේ.

කෙලතොලු බව- (එළමුගා)

සමාජය තුළ සිටින, කතා කිරීමේ දී මුවෙන් කෙළ විසිවන, මානසික මට්ටම අඩු අය කෙලතොල්ලන් ලෙස හැදින්වේ. ගැඹුරින් ගත් කල යම් අයෙක් සම්ඵප්පලාපයට ඉඩ දෙනවා නම් ඒතුළ ඔහුගේ කෙලතොලු බවක් ඇත. මෙසේ දොඩවන පුද්ගලයන්ගේ සිත නිතරම විසිරී පවතී.

සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින අර්ථ නිරූපණයන්ට වඩා ඔබ්බට ගිය අර්ථ පැහැදිලි කිරීමක් මෙම ලිපියේ දැක්වේ. නිර්වාණය සඳහා වෙහෙසෙන අයෙක් තමන්ගේ ඇතිවන කෙලෙස් ඉවත්කර ගැනීමෙන් තම අරමුණට ළඟාවිය හැකිබව මෙම සූත්‍රයෙන් දැක්වේ.