Print this Article


පහතරට ශාසනාලෝකයේ කේන්ද්‍රස්ථානයක් වූ මාතර හිත්තටියේ රාජමහා විහාරය

පහතරට ශාසනාලෝකයේ කේන්ද්‍රස්ථානයක් වූ මාතර හිත්තටියේ රාජමහා විහාරය

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් උදා වූ ශාසනාලෝකය දසත පැතිරවීමට මූලිකත්වය ගත් සම්භාවනීය විහාරස්ථානයකි මාතර හිත්තටියේ රාජමහා විහාරය.

දකුණු පළාතේ මාතර කඩවත් සතර සීමාවෙහි සත්වන විජයබා රජු තඹ සන්නසක් මගින් දෙවුන්දර උපුල්වන් දේවාලයේ කපු පරපුරට නින්දගමක් වශයෙන් පිරිනැමූවකි. හික් ගස් බහුලව පැවති සමබිම යන අරුත ගෙන දෙන හිත්තටියේ ග්‍රාමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි ගොඩගම හුවමාරුවට නුදුරින්, මාතර අකුරැස්ස මහා මාර්ගයේ පළමු සැතපුම් කණුව අසල පිහිටා ඇත.

පෞරාණික බෝධිරාජයාණන් වහන්සේ සහස්‍ර වර්ෂයක් පමණ පැරණි යැයි පිළිගත් මතයයි. එසේ වුවත් හිත්තටියේ රාජමහා විහාරයේ නිශ්චිත ඉතිහාසය පිළිබඳ කරුණු හමුවන්නේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක වූ වැව ඉන්දසර හිමියන් උපසම්පදාව ලබා පැමිණීමෙන් පසුව ය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කළ මුල් වකවානුවේ දී ම සියම් ජාතික උපාලි හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් සහ සාරචන්දන හිමියන්ගේ කර්ම වාගාචාර්යයත්වයෙන් උපසම්පදාව ලත් වැව ඉන්දසර මාහිමියන් වහන්සේ උපසම්පදා අවස්ථාවේ දී රචනා කළ සිරි දන්තධාතු අට්ඨක, සිරි ධම්මරාජ අට්ඨක යන පාලි ගාථා ප්‍රබන්ධ කෙරෙහි පැහැදුණු රජතුමා සුවිසාල ඇත් දළ යුවලක්, කැටයම් කළ ඇත්දළින් නිම වූ මණ්ඩපයක්, ජාවා රටෙන් ගෙන් වූ කැටයම් සහිත ලී මේසයක්, කිරිගරුඬ හා ලෝකඩ බුදු පිළිම, ධාතු කරඬු කිහිපයක් පුද කොට ඇත.

මෙම පූජනීය වස්තු හිත්තටියේ රජමහා විහාරයේ අද දක්වා සංරක්ෂණය වී පවතී. උපසම්පදාපේක්ෂක සාමණේර හිමිවරුන් ශාස්ත්‍රීය නිබන්ධන ඉදිරිපත් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේ වැව ඉන්දසර මාහිමියන්ගෙන් යනු පිළිගත් මතයකි.

විහාරස්ථානයේ පෞරාණික ටැම්පිට විහාර මන්දිරය 1760 වර්ෂයේ ගංවතුරට හසු වී විනාශවූයෙන් එම වර්ෂයේදී ම නව විහාර මන්දිරය තනවා අටලොස් රියන් සැතපෙන බුදුපිළිමය, පරිවාර බුදු පිළිම, සූවිසි විවරණ පිළිම, අගසව් හිමිවරුන්ගේ පිළිම, දේව ප්‍රතිමා, චිත්‍ර කර්මාන්තාදිය කරවා 1804, 1945, 1962, 1970 යන වර්ෂවල කාලානුරූපී ප්‍රතිසංස්කරණ සිදු කොට ඇත.


විහාරාධිපති අග්‍රහැරේ කස්සප නාහිමි

ඝණ්ඨාකාර වූ වෙහෙර වහන්සේ කවර කලෙක තනවන ලදැයි නිශ්චය නොවන අතර, මාතර සුප්‍රකට ගංගාරෝහණ පූජාව සංවිධානය කළ දාවිත් ද සරම් මුදලිතුමන් දාගැබ් කර්මාන්තය සඳහා හිස මතින් වැලි රැගෙන පැමිණියේ යැයි සඳහන් වීමෙන් දහ නව වැනි සියවස මුල් කාලයේ තැනවූ ලෙස සැලකිය හැකි ය.

පෞරාණික පුස්කොළ පොත් හාරසියයක පමණ එකතුවක් විහාරය සතු වන අතර දෙමහල් පොත්ගුල් මන්දිරය 1915 තනවා ඇත.

මැද හිත්තටියේ පොකුණුවත්ත ප්‍රදේශයේ ජන්ම ලාභය ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පියාණන් වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමන් මෙහි වැඩ සිටි ස්වකීය සුළු පියාණන් වූ හිත්තටියේ අත්ථදස්සි මාහිමියන් වෙතින් අධ්‍යාපනය ලබා අගනුවරට සංක්‍රමණය වී සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්ව රජයෙන් මුදලි තනතුරක් ද ලැබීය. වර්ෂ 1870 වර්ෂයේ දී දොන් කරෝලිස් හේවාවිතාරණ මැතිතුමන් ඉදි කර වූ ධර්මශාලාව 1973දී ප්‍රතිසංස්කරණය කරවා ඇත.

නිල්වලා ගඟ ආශ්‍රිතව පැවැත් වූ මාතර පුරවරයට අනන්‍ය සුවිශේෂී පුණ්‍ය කර්මයක් වූ ගංගාරෝහණ පින්කමෙහි දී හිත්තටිය රාජමහා විහාරයේ සිට ධාතු කරඬුව සහ පිරුවානා පොත් වහන්සේ වැඩම කරවා ඉලංගක්කෝන් මුදලි වලව්ව අසලදී එවක රුහුණේ වැඩසිටි මහානීය පඬිවරුන් දෙනම වූ කරතොට ධම්මාරාම නාහිමියන් සහ බෝවල ධම්මානන්ද නාහිමියන් යුගාසන ධර්ම දේශනාවක් පවත්වන ලදි- වර්ෂ 1806දී ඇරඹුණු මාතර ගංගාරෝහණ පූජාවේදී දින දහයක් පුරා නිල්වලා ගඟේ මාතර සිට ගොඩපිටිය දක්වා ඉදි කළ අලංකෘත දෙමහල්, තෙමහල්, සිව්මහල්, පස්මහල් ධර්ම මන්දිරවල ධර්මදේශක හිමිවරුන් ලවා ධර්ම දේශනා පැවැත්වීය.

හිත්තටියේ විහාරයෙන් වැඩමවූ ධාතු කරඬුව ජලයාත්‍රාවක තැනූ මණ්ඩපයක තැන්පත් කරවා ධර්මදේශක හිමිවරුන් ලවා සර්වරාත්‍රික ධර්මදේශනා පවත්වමින් මාතර සිට ගොඩපිටිය විහාරය දක්වා යාත්‍රා කරවමින් අවසාන දින ගිනිමල් පූජාවක් පැවැත්වූ බව සඳහන් ය. දාවිත් ද සරම් මුදළිඳු හිත්තටියේ විහාරයට වියතක් සහ අඟල් තුනක් විශාල රිදී කරඬුවක් සහ රජතමය මල් හතළිස් දහසක් ඇතුළු පූජාභාණ්ඩ පිරිනැමූ තොරතුරු හමු වෙයි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ පටන් බද්දේගම සිරි පියරතන නාහිමියන් දක්වා විද්‍යොදය පරිවේණාධිපති පදවි හෙබ වූ නාහිමිවරුන් වෙනුවෙන් මෙම විහාරයේ අභිනන්දන උත්සව පවත්වා ඇත. විද්‍යොදය පිරිවෙනෙහි උප ප්‍රධානාචාර්ය පදවිය හෙබ වූ හිත්තටියේ විහාරවාසී වැලිපිටියේ දේවානන්ද මාහිමියන්ගේ මූලිකත්වයෙන් 1920 දශකයේ දී මෙහි පිරුවනක් ආරම්භ කිරීමට කටයුතු යෙදුණ ද එම හිමියන් හදිසියේ අපවත් වීමෙන් එම කටයුතු අඩාල වූ බව සඳහන් වෙයි.

හිත්තටියේ රජමහා විහාරයට අනන්‍ය වූ සුවිශේෂී චාරිත්‍රයක් ලෙස නව චන්ද්‍රදානය හඳුන්වා දිය හැකිය. සිංහල අලුත් අවුරුද්දේ නව සඳ බැලීමේ චාරිත්‍රය සිදු කළ දිනට පසු දා ලේනදූව ගමේ දායකයන් මල් පහන් හා දන් කද රැගෙන ශබ්ද පූජා සහිතව පෙරහරින් විහාරස්ථානයට පැමිණ දානය පූජා කිරීම මෙම චාරිත්‍රයයි. සුදු වස්ත්‍ර ඇඳී කාන්තාවන් එකසිය අසූ දෙනකු රැය පහන් වන තුරු හිස මත පිත්තල පහන් දරා සිටිමින් සිදු කළ පහන් පූජා, අසූහාරදහසේ පහන් පින්කම්, ධර්ම දේශනා, සත්වරු පිරිත් ආදිය සඳහා ද හිත්තටියේ විහාරස්ථානය ප්‍රසිද්ධත්වයක් උසුලා ඇත.

වැව ඉන්දසර මාහිමියන්ගෙන් පසු වැලිවේරියේ සංඝරක්ඛිත හිමි, පේඩිගොඩ ධම්මානන්ද හිමි, හිත්තටියේ සෝණුත්තර හිමි, මිරිස්සේ රේවත හිමි, හිත්තටියේ අත්ථදස්සි හිමි, වේපතඉර සුමංගල හිමි, අහංගම ධම්මානන්ද හිමි, අත්තුඩාවේ සීලානන්ද හිමි, කඩේවීදියේ අරියජෝති නාහිමිවරුන් විහාරාධිපතීත්වය හෙබ වූ පසු මෙරට වැඩසිටි අග්‍රගණ්‍ය පඬිවරයකු වූ මාතර හම්බන්තර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, උපාධ්‍යාය, රාජකීය පණ්ඩිත ගොඩගම චූලාලංකාර නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවිය ශෝභමාන කළහ.

කලින් කල හිත්තටියේ විහාරාධිපති නාහිමිවරුන් මාතර හම්බන්තර දෙදිසාවේ ප්‍රධාන සහ උපප්‍රධාන සංඝනායක ධූර සහ මල්වතු විහාරයේ උපාධ්‍යාය පදවි හොබවා ඇත. ගොඩගම චූලාලංකාර නාහිමියන්ගෙන් පසු වර්තමාන විහාරාධිපති මාතර හම්බන්තර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම්, ශාස්ත්‍රපති අග්‍රහැරේ කස්සප නාහිමියන් වහන්සේ විහාරාධිපති පදවිය හොබවති.

හිත්තටියේ විහාරයට වැඩම කළ වැව ඉන්දසර මාහිමියන් වහන්සේ ශිෂ්‍ය පුත්‍රාදීන් බිහි කරමින්, විහාරස්ථාන රැසක් සඳහා පුනර්ජීවනය සලසමින් ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූහ. වැව ඉන්දසර මාහිමියන්ගෙන් ආරම්භ වූ සංඝ පරම්පරාව වැව සඟ පරපුර ලෙස හඳුන්වන අතර, දකුණු සහ බස්නාහිර පළාත්වල ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධය පිණිස එම පරපුරෙන් මහත් මෙහෙයක් සිදු වුණි.

වැව සඟ පරපුරෙහි මූලස්ථානය ලෙස හිත්තටියේ රාජමහා විහාරය සම්භාවනාවට පත් වෙයි.