Print this Article


සියපත් විල

සියපත් විල

මඩ දිය මත ඉපිද, එහි ම පෝෂණය වී හැදී වැඩෙන සියපත දියෙන් උඩට මතුව ලොවක් සුවඳවත් කරන්නේ පිවිතුරු බව රැකගෙන ය. මඩෙහි සැදී මඩ තවරා නො ගත් නෙළුම සේ මේ විෂම සමාජය නම් වූ, මඩ ගොහොරුවෙහි හැදී වැඩෙමින්, මඩ තවරා නො ගෙන ලොව සුවඳවත් කරන මිනිසුන් කො තරම් නම් සිටිනවා ද? ගහට-කොළට, ඇළට-දොළට, සතා සීපාවට මෙන්ම මිනිස් වර්ගයාට ද සංවේදී එවැනි මිනිසුන් ගේ ගුණ සුවඳ අත්දැකීම් බෙදා හදා ගන්න සියපත් විලෙන් ඉඩහසර වෙන්වේ.

ඔබ ඇස දුටු, සිත පහන් හැඟුම් ඉපිද වූ එවන් සංවේදී අත්දැකීම් සියපත්විලට ලියන්න. ලොව පුරා මිනිස් සිත් සුවපත් කරන්නට. පහන් හැඟුමන් ජනිත කරන්නට ...

සියපත් විල
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ.

****

සෙනෙහසක අපූරුව

ඒ මව්පිය දෙදෙනාට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා දියණියකි. වයස අවුරුදු පහළොවකි. බාලයා පුතෙකි. තවමත් සයවැනි වියේ ය. දෙදෙනාම ඉගෙනීමෙහි හපනුන් ය. එහෙත්, මේ පවුලේ සතුට රැෙඳුණේ ටික කලකි. ලෝ දහමට පිටුපාන්නට ඔවුනට ද නොහැකි විය.

මේ පවුලේ මව හදිසි අනතුරකින් මිය ගියා ය. පියාත්, දරු දෙදෙනාත් තනිවිය. දරුවන්ගේ බර කරට ගත් තාත්තා අපමණ දුක් ගැහැට වින්ඳේ ය. දරු දෙදෙනාට මවක් සේ ම රැකවරණය දුන්නේ ය. අක්කා ද මවක මෙන් මලණුවන් රැක ගත්තා ය. ආහාර පිසීම්, කැවීම් පෙවීම්, සෝදා පිරිසුදු කිරීම්, පාඩම් කියා දීම සියල්ල සිදුවුණේ අක්කා අතිනි. ඇයගේ ද පාඩම් වැඩ අතපසු නොවුණි. අක්කා, මල්ලී, දෙදෙනාම පාසල් වාර විභාගවලින් මුල් තැන ය. තාත්තාට ආඩම්බර ය. ගුණගරුක දරුවන් දෙස බලා ඔහු සතුටු වූයේ ය.

දවසක් තාත්තා තෑග්ගක් ගෙන ආවේ දියණිය අගය කරන්නට ය. ඒ ජංගම දුරකථනයකි. දියණියට මහත් සතුටු ය . දැන් ඇයට වැඩ අධික ය. දවල් රෑ දුරකථනයේ ම ය. ගෙදර වැඩ අතපසු ය. පොත පත පසෙක ය. මල්ලී ද අමතක ය. බොහෝ සැරවැර ය. වෙනදා පියාගේ දෙපා නැමැද පාසල් යන ඇයට දැන් එය ද අමතක ය. සිත මුහුණු පොතටම ය.

මහා වෙනසක තරම. විපතක ලකුණුම ය. වරදක් වී දැයි, පියා කල්පනාවේ ය. පාසලේ විභාගය එළඹුණි. පුතුගේ ප්‍රතිඵල දුටු තාත්තාට ඇස් අදහාගත නොහැකි විය. දියණිය ද ඊට නො දෙවෙනි ය. දෙදෙනාම අසමත් ය.

දියණියගේ දෑසෙහි කඳුළු ය. පුතු ද බලාගත් අතම ය. කෑමක් බිමක් ගැන සිතන කෙනෙක් නැත. පසුදා ද දියණිය පාසල් යන්නට සැරසුණාය. ජංගම දුරකථනය පියාගේ දෑත් මත තැබුවා ය.

“තාත්තේ මට මේ දේවල් එපා. තාත්තයි මල්ලියි හිටියාම හොඳටම ඇති”.

බොහෝ දවසකට පසු මල්ලීගේ මුහුණේ සිනාවක් ඇඳුණි.

ඒ දියණිය වරද හඳුනා ගත්තා ය.

තමන්ගේ අනාගතය, මල්ලීගේ අනාගතය, පියාගේ බලාපොරොත්තු රැක ගන්නට හැකි වුණේ වරද දැන වහා නිවැරදි වූ නිසා ය. දැන් ඒ පිය පුතු සේ ම, දියණිය ද වෙනදා මෙන් සතුටින් ය.