Print this Article


සියක් වසක් දිවි ගෙවීමෙහි සැප සහ එක් දිනක සැපයේ වෙනස

සියක් වසක් දිවි ගෙවීමෙහි සැප සහ එක් දිනක සැපයේ වෙනස

නූතන සමාජය අතිශය සංකීර්ණ ය. කෙනෙක් පසු කොට, තවකෙනෙක් ජය ගැනීමට වෙර දැරීම ළමාවියේ සිට පුද්ගල ස්වභාවය බවට පත්ව ඇති යුගයකි. දරුවෝ මව්පියන්ගේ ක්‍රියා ආදර්ශයට ගනිති. ආයතන ප්‍රධානියාගේ ආදර්ශය සේවකයෝ දරති.

මෙලෙස සමාජයේ සෑම ස්ථරයක ම ප්‍රධානියාගේ ආදර්ශය අනුව ගමන් කිරීම ස්වභාවයයි. එහෙත් ඒ අතුරින් නායකයාගේ ආදර්ශ ක්‍රියාවට නොගෙන කටයුතු කරන පිරිසක් ද සිටිති. ඔවුන් විශේෂයෙන් සමාජයේ කැපී පෙනෙයි. ඇතැම්විට යහපත් ක්‍රියාවලින් හෝ අයහපත් ක්‍රියාවලින් එය සිදුවෙයි. බුදුන් වහන්සේ මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ඉතා වැදගත් ධර්ම දේශනයක් වදාළහ.

ආයතන ප්‍රධානියා හෝ රටේ පාලකයා හෝ නැතහොත් තමාගේ කටයුතුවලට වගකියන මෙන්ම නායකත්වය දෙන යම් පුද්ගලයකුගේ වැරදි මඟ පෙන්වීමට වඩා, බොහෝ පිරිසකගේ යහපත පිණිස සත්‍ය දකින පුද්ගලයාගේ එක්දිනක් ජීවත්වීම, අවුරුදු සියයක් සත්‍ය නොදැක ජීවත්වන පුද්ගලයාගේ ජීවත්වීමට වඩා උතුම් බව ය.

මුදල් වෙනුවෙන් හෝ සම්පත් වෙනුවෙන් මිනිසුන් අසත්‍යයෙන් ජීවත් වෙති. අධර්මයේ හැසිරෙති. ජීවිතය තාවකාලිකව ලබා ඇති බව අවබෝධ කර නොගනිති. ලොව පවතිනතෙක් ජීවත් වන්නේ යැයි සිතමින් වස්තුව රැස් කරති.

එවිට මව්පියන්, ගුරුවරුන්, හිතවතුන් මෙන්ම තමාගේ ගමනට පිහිට වුණ පිරිස අමතක කර දමති. සත්‍ය නොදැක අවුරුදු සියයක් ඉක්මවා ජීවත්වීමට උත්සාහ දැරූ දරුපිරිසක් සහ සත්‍ය දැක සිත සනහාගෙන එක් දිනක් හෝ සුවෙන් දිවිගෙවීම යහපත් යැයි තීරණය කළ පුද්ගලයකු අරබයා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළහ.

එය මිනිස් ජීවිතයක් ලද සෑම අයකුට ම ඉතා අගනේය. එම කතා පුවත මෙසේ ය.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවසන සමයෙහි සැවැත් නුවර එක් කුල ගෙයක අඹු සැමි යුවළක් ජීවත් වෙයි. කල් යත්ම ඔවුන්ට පිරිමි දරුවන් හත් දෙනකු සහ ගැහැණු දරුවන් හත් දෙනකු ද ලැබෙයි. ඉතා දුක සේ මේ දෙපළ දරුවන් පෝෂණය කරමින් ඔවුන්ට දායාද ලෙස පැවරීමට වස්තුව ද රැස් කිරීමට වෙහෙසෙයි. ක්‍රමයෙන් දරු පිරිස වැඩිවියට පැමිණි පසු පෙර කුල සිරිත් අනුව ආවාහ විවාහ කටයුතු සියල්ල හොඳින් නිමාවට පත් කර සුවසේ දිවි ගෙවයි.

නොබෝ දවසකින් රෝගී වූ පියතුමා කළුරිය කරයි. මව්තුමිය සිය සැමියා උපයා ඇති ධනය සහ භවබෝග සම්පත් භාවිත කරමින් හොඳින් ජීවත්වන අතරෙහි දරුවන් එක් එක් කෙනා මව සමීපයට පැමිණ, අම්මේ, අපගේ තාත්තා මැරී දැනට බොහෝ කලක් ගත වී ඇත. අම්මා දැන් ගොඩාක්ම මහලුයි. ශරීර ශක්තියත් නෑ. අම්මාට දැන් මේ සම්පත් රැකබලා ගැනීමට ඉතා අපහසුයි. මේ වස්තුවලින් දැන් අම්මාට එතරම් ප්‍රයෝජනයකුත් නෑ. හොඳට කා

බී පින් දහම් කරගෙන ජීවත් වෙන්න තමයි දැන් තියෙන්නේ. අපට පුළුවන් අම්මාට ඕන හැම දෙයක්ම සපයලා දෙන්න. අප හැමෝම අම්මාගේ උපස්ථාන කටයුතු බෙදා හදාගෙන හොඳින් කරන්නම්. ඒක අපේ වගකීම යැයි පවසමින් දරුවන් විසින් තම පියා උපයා ඇති ධනය දරුවන් අතරේ සම ව බෙදා දෙන ලෙස ආයාචනා කරයි. ඇය හොඳීන් රැකබලා ගන්නා බවට ද පොරොන්දු වෙයි.

දවසක් මහලු මව දරුවන් ගෙන්වාගෙන දරුවනි, ඔබගේ කීම නිවැරැදියි. මම දැන් බොහෝ මහලුයි. කායික ශක්තියෙන් ද තොරයි. ඉතින් නුඹලා මාගේ කටයුතු නො නසා, අඩුපාඩු නොකොට සලකන්නේ නම් පියතුමා විසින් රැස් කර තැබූ ධනය සහ සම්පත්වලින් මට ප්‍රයෝජනයක් නැත. ඔබලාට ඒවා හොඳින් ආරක්ෂා කරමින් පරිහරණය කළ හැකි නම්, අද ම මට පවරා දිය හැකි යැයි ප්‍රකාශ කළා ය.

කී අයුරින්ම නොබෝ දිනකින් මුළු බූදලයම ජීවිත බුක්තිය පවා නො තබාගෙන දරුවන් කෙරෙහි අධික විශ්වාසයෙන්යුක්තව සියලු සම්පත් සම සේ බෙදා දෙයි. අනතුරුව මව් තුමිය දරුවන් කී අයුරින් දවස් කිහිපයකට පසු තම ලොකු පුතාගේ නිවසට යයි. ඇය දුරින් එන බව දුටු ලොකු ලේලිය එන්නා වූ නැන්දම්මා දැක

‘අනේ වාසනාවන්’ අනේ වාසනාවන් ලොකු පුතාගේ ගෙදර නැන්දම්මා එනවා. ඔය ඉතින් එන්නේ ලොකු පුතාට වැඩියෙන් දුන්නා යැයි හිතාගෙන වෙන්න ඇති. අනික් හැමෝටම වැඩියෙන් දීලා මෙහෙටම එනවා යැයි මුමුණමින් නැන්දම්මා සාදරයෙන් පිළිගෙන දින කිහිපයක් සැලකී ය.

එහෙත් දිනෙන් දින වෙනස්කම් සිදුවන බැවින් මව්තුමිය දෙවැනි පුතාවත් සලකනු ඇතැයි සිතමින් එහි යාමට තීරණය කරයි.

එහි ගිය විට ද පෙර සේ ම දෙවැනි පුතාගේ ලේලිය ද සෙසු දරුවන්ට වැඩියෙන් වස්තුව බෙදා දී අඩුවෙන් බූදලය ලැබූ අප දිහාව ම එන්නේ යැයි නොසලකා හැරියාය. එයින් ද කනස්සල්ලට පත් මව්තුමිය තෙවැනි පුතාගේ ගෙදරට යයි.මෙලෙස ක්‍රමයෙන් පිරිමි දරුවන්ගේ නිවෙස් හතට මුලින්ම ගොස් සැලකිලි නො ලබයි. එකල්හි සිතන්නේ අනේ මාගේ දියණිවරුන් මාහට නොවරදවාම සලකන්නේ යැයි සිතමින් ලොකු දුවගේ නිවසට ගොඩවෙයි. දින කිහිපයක් ඇය ඉතා උනන්දුවෙන් මවට උපස්ථාන කර සෙසු දරුවන්ට වැඩියෙන් සම්පත් දුන්නේ යැයි විරසකවෙමින් මවට නොසලකාහරියි. එයින් දුක්වන මව්තුමිය දෙවැනි දුවගේ ගෙදරට ගොඩවෙයි. ඇය ද එසේම කරයි. ක්‍රමයෙන් දියණිවරුන් හත්දෙනා සමීපයට ගිය ද එක් අයෙකු හෝ ආදරයෙන් රැකබලා ගැනීම නොකර නොසලකා හරියි. මෙයින් අධික දුකටත්, වේදනාවටත් පත් මව්තුමිය, දරුවන් ළග කොතරම් කලක් සිටියත් උරුම වන්නේ මීටත් වඩා පහත් සැලකිලිය. සිත්වේදනාවන් ය. මහමඟ මියයාමට ද සිදුවෙයි. මා දැන් ඉතා මහලුය, එබැවින් මහණ වී මහණදම් පුරා ජීවිතය දිනන්නෙමියි සිතා මෙහෙණවරකට ගොස් පැවිදි බව ලැබීය.

බොහෝ පුතුන් ඇති බැවින් පැවිදි නාමය වෙනත් එකක් වුවත් භික්ෂූණීන් අතර බහුපුත්‍රිකා මෙහෙණිය නමින් ප්‍රසිද්ධ විය. ඇය පැවිදි බව ලබා සිතන්නේ මා වයසට ගොස් පැවිදි වූ බැවින් බණ දහම් ඉගෙන ගැනීමට කාලයක් නොමැත්තේ ය. එබැවින් වත්පිළිවෙත් කරමින්, භාවනා කරමින්, සිත ජයගන්නේ යැයි නිතර උත්සාහවත්ව භාවනා කරයි.

රාත්‍රිය මුළුල්ලේද භාවනා කරයි. රාත්‍රි‍යෙහි සක්මන් කරන විට දඩුමුගුරුවල මෙන්ම ගස්වල හැපේ යැයි සිතමින් ගස් අල්ලාගෙන ඒ වටා යමින් සක්මන් කරයි. බුදුන් වහන්සේ අනුදැන වදාළ කමටහන් නිතර සිහිකරමින් භාවනාවේ යෙදෙයි.

ඇයගේ උත්සාහය දුටු බුදුරජාණන් වහන්සේ ආලෝකයක් මගින් මෙහෙණිය ඉදිරියේ වැඩසිටිමින් තමන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිපදිමින් නිවන් දැකීමට කරන උත්හාසවත් එකම දවස කම්සැප විදින අවුරුදු සියයක් ජීවත්වෙනවාට වඩා උතුම් බව දේශනා කළහ.

දේශනාව අවසානයෙහි බහුපුත්‍රිකා මෙහෙණියෝ සිවුපිළිසිඹියාපත් ලබා අර්හත් වූහ. කොපමණ දුක්වේදනා පැමිණියත්, සිත සනහාගෙන ධර්මයෙහි හැසිරෙමින් ජීවත්වන එකම දවස වස්තුව රැස්කරමින් කාමභෝගීව ජීවත්වන අවුරුදු සියයකට වඩා උතුම් බව මේ කතාපුවතින් සහ ධර්ම කරුණුවලින් පැහැදිලිවෙයි.