Print this Article


සීවලී මහරහතන් වහන්සේගේ ලැබීමේ භාග්‍යය

සීවලී මහරහතන් වහන්සේගේ ලැබීමේ භාග්‍යය

සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ හැදෑරීමේ දී උන්වහන්සේ තුළ තිබූ ගුණයන් එකකට එකක් නොදෙවෙනි අයුරින් තිබූ බව ඉතා පැහැදිලි ය. ඒ අතරින් වුව ද චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස යන සිව්පස ලාභය ලැබීම අතින් විශේෂ වරප්‍රසාදයක් උන්වහන්සේට තිබූ අයුරු ඉතා පැහැදිලි ය. එයට හේතුව වන්නේ උන්වහන්සේ සසර ප්‍රගුණ කළ පාරමිතාවයි.

සීවලී මහරහතන් වහන්සේ, පදුමුත්තර බුදුන් කල හංසවතී නුවර එක්තරා බමුණු කුලයක ඉපිද සිටිය කල්හි එකල පදුමුත්තර බුදුන් ඉදිරියෙහි සුදර්ශන නැමති භික්ෂූන් වහන්සේ සිව්පස ලාභීන් අතර අග්‍රස්ථානයට පත් කරන අයුරු සියැසින් දුටුවහ. එම සුවිශේෂී සිදුවීම දැකීමෙන් ම තමන් ද සිත පහදවා ගත්හ. එපමණක් ද නොව තමන් ද එම වරප්‍රසාදය ලැබිය යුතු බව සිතා සතියක් මුළුල්ලේම දන් දී, සිල් රකිමින්, වත් පිළිවෙත් සිදුකරමින් එය ප්‍රාර්ථනාවක් වශයෙන් තබාගෙන අධිෂ්ඨාන පූර්වකව කටයුතු කළා සේ ම බවයෙන් බවයට ද එය ප්‍රගුණ කළහ.

එම පින්වත් කුල පුත්‍රයා නැවත විපස්සි බුදුන් කල බන්දුමතී නුවර එක් කුලයක ඉපදුණේ ය. එකල එම රජු හා මිනිසුන් අතර තරඟෙට මෙන් දන් දීමක් තිබූ කාලයකි. ගම් වැසියෝ විහාරයක් සාදවා විශාල දානයක් ද දීමට සූදානම් කළහ. එහිදී සියලු අංගයන්ගෙන් යුත් දානයක් දීමට කටයුතු කළ අතර, එහි දී ඔවුනට අඩුවකට පැවතුණේ දීකිරි හා මී පැණි පමණි. පසුව ගම් වැසියෝ ඒවා සොයා ගම් දනව්වල සැරි සරන කල්හි එම බමුණු කුල පුත්‍රයා හමුවිය. එම කුල පුත්‍රයා ද එම අවස්ථාවේ දී දීකිරි කළයක් හා දඬුවැල් බෑයක් අතැති ව ගමන් කරමින් සිටියේ ය.

ගම්වැසියෝ එය දැක කහවනුවක් දී ඉල්ලුව ද කුල පුත්‍රයා ඒවා නොදුන්නේ ය. පසුව ක්‍රමයෙන් මිල වැඩි කොට කහවනු සියයකට පමණ ඉල්ලූහ. බමුණු කුල පුත්‍රයා, මෙතරම් වැඩි මුදලක් දී කිරි හා මී පැණි මොවුන් ඉල්ලන්නේ කුමක් හෝ සුවිශේෂී දේකටයැයි සිතා විමසා බැලූ කල්හි බුදුරදුන්ට පූජා කිරීමට බව දැනගත්හ. පසුව තම දෑතින් ම ඒවා බුදුරදුන්ට පූජා කළ යුතු බව පවසා බුදුරදුන් හමුවට ගොස් ඒවා ඔහුගේ දෑතින්ම පූජා කළේ ය. එහිදී ද ප්‍රාර්ථනා කළේ, මෙම දුන් දානමය පිනෙන් ගෞතම බුද්ධ ශාසනයේ සිව්පසලාභීන් අතර අග්‍රස්ථානයට පැමිණේවා'යි යනුවෙනි.

එයින් මතු එම කුල පුත්‍රයා අප ගෞතම බුද්ධ ශාසනය තුළ කෝලිය වංශයෙහි සුප්පාවාසා නම් බිසවගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. එම කුල කුමරුවා වසර හතකුත් මාස හතක් මව් කුස තුළ සිට බිහි වූ කුමරුවෙකි. එයට පෙර භවයක මවත්, පුතනුවනුත් කළ කර්මය බලපා ඇති අයුරු දැන ගැනීමේ අවබෝධය පිණිස සීවලී චරිත කතාව කියවීම ඉතා මැනවි.

ඔහු මව්කුස සිටියදී භවභෝග සම්පත් නොකඩවා එම පවුල වෙත ලැබෙන්නට විය. එහෙත් ඇය දරු ප්‍රසූතිය නිසා අපහසුවෙන් සිටින බව තම ස්වාමියා බුදුරදුන්ට දැන්වූහ.

බුදු රදුන් මවට ද, දරුවාට ද, ආශිර්වාද කොට නීරෝගී සුවය ප්‍රාර්ථනා කළහ. බුදුරදුන්ගේ ආශිර්වාදයෙන් පසු ස්වාමියා තම නිවසට යන කල්හි දරුවා බිහි වී සිටි අතර, දරුවාත් බිරිඳත් ඉතා සුවෙන් සිටිනු දැක පියකු වශයෙන් මහත් සතුටට පත්විය.

එම උතුම් කුමරා බිහි වී දින හතක් ගත වූ කල්හි සැරියුත් මහරහතන් වහන්සේ එම නිවසට වැඩම කළහ. එහි විශේෂත්වය වන්නේ එම පුංචි කුමරා සැරියුත් හිමි සමඟ කතා කිරීමට සමත් වීම ය.

පසුව මව්පිය කැමැත්ත මත සැරියුත් හිමිලවා ම එම කුමරා පැවිදි කරවන ලදී. එම පින්වත් කුමරා හිස කෙස් කැපීමේ දී ම රහත් භාවයට පත් විය. එතැන් පටන් බුදු සසුන ආලෝකමත් කරමින් සීවලී නමින් උතුම් බුද්ධ ශ්‍රාවකයකු ලෙස භික්ෂුවක් ලැබිය යුතු සියලු දෑ ලබමින් මහ රහතන් වහන්සේ කෙනකු වශයෙන් බුදු සසුනේ වැඩ විසී ය.

භික්ෂූන් වහන්සේලා කුමන ප්‍රමාණයක් වුව ද දුෂ්කර මාර්ගයක හෝ සීවලී මහරහතුන් වහන්සේ සමඟ වඩින්නේ නම්, කෙදිනකවත් සිව්පසයෙන් අඩුපාඩුවක් නොවන්නේ ය. එය උන්වහන්සේ සතු පෙර පුණ්‍ය ශක්තියයි.

සැරියුත් මහරහතන් වහන්සේගේ බාලම මලනුවන් ද පැවිදි වී සිටි බුද්ධ ශ්‍රාවකයෙකි. රේවත නමින් පැවිදි වී සිටි උන්වහන්සේ සිල්වත් ගුණවත් හිමි නමකි. උන්වහන්සේ වැඩ සිටියේ ඉතා දුෂ්කර කිහිරි වනයක ය.

දිනක් සැරියුත් තෙරණුවෝ උන්වහන්සේ බැලීමට යෑමට තීරණය කළහ. ඒ දුෂ්කර ගමන සඳහා බුදුරදුන් ද සම්බන්ධ විය. දුර ප්‍රමාණය යොදුන් 30ක් විය.

භික්ෂූන් වහන්සේලා ද දස දහසකටත් වැඩි ප්‍රමාණයක් එම ගමන සඳහා එකතු විය. එම අවස්ථාවේ දී ආනන්ද හිමියෝ බුදු රදුන්ගෙන් මෙසේ ප්‍රශ්න කළහ.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙතරම් දුෂ්කර මාර්ගයක වැඩම කරන මේ භික්ෂූන් වහන්සේලා උදෙසා කෙසේ නම් පිණ්ඩපාතය ලැබන්නේ ද? කෙසේ නම් එය ලබාගන්නේ ද?

පසුව බුදු රදුන් ආනන්ද හිමිගෙන් අසා සිටින්නේ ආනන්දය, අප සමඟ සීවලී මහරහතන් වහන්සේත් වඩින්නේ ද? යනුවෙනි. එවිට, ‘එසේය ස්වාමීනි’ යැයි ආනන්ද හිමියෝ උත්තර දුන්හ. එසේ නම් ආනන්දය සිව්පසය ලැබීම පිළිබඳ බියක් නොවන්න.

යැයි බුදු හිමියෝ ආනන්ද හිමිට සඳහන් කළහ. එම ගමන කොතරම් දුෂ්කර එකක් වුව ද කිසිදු දෙයකින් නොඅඩුව පහසුකම් සියල්ල සම්පූර්ණ වූ ගමන් චාරිකාවක් විය.

සීවලී මහරහතන් වහන්සේ සිව්පසලාභීන් අතර අග්‍ර වූහ.

වර්තමානය තුළ වුව ද බොහෝ නිවෙස්වල සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය තිබෙන අයුරු දැක ගන්නට ලැබේ. එයට හේතුව වන්නේ එම පින්තූරය තිබීමෙන් පවා ආහාරවලින් අඩුපාඩුවක් නොවන්නේය යන ආකල්පයයි.

බුදු රදුන් දේශනා කළේ දාන පාරමිතාවේ ශක්තිය, බලය වචනවලට හසුකළ නොහැකි බව ය. උන්වහන්සේ එය පාරමිතාවක් වශයෙන් ප්‍රගුණ කළහ.

යම් කිසිවෙක් සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් දානය පිළිබඳ මෙනෙහි කරන්නේ ද එතුළින් පවා එහි ආනිසංස භවයක් පාසා ලැබෙනු ඇත. එය සීවලී චරිතය තුළින් මනාව පිළිඹිබු වේ.

පූරෙත්වා පාරමී සබ්බේ
සබ්බේ පච්චේක නායකෝ
සීවලී ගුණ තේජේන
පරිත්තං තම්භ නාමහෙ

ඉහතින් මතක් කළ ගාථාව පිරිත් පොතෙහි සීවලී පිරිත ආරම්භයෙහි සඳහන් වන්නකි. එම පිරිත් දේශනය තුළින් වුව ද සත්වයාට ආනිසංස ලැබෙනු ඇත. දන් දීම ප්‍රගුණ කරන්නන්ට සියලු සැප සම්පත් ලැබෙනු ඇත. කුමන ගිරි දුර්ගයක, වන දුර්ගයක, සිටියත් සා පිපාසාවක් නොදැනෙන්නේ ය. භවභෝග සම්පත්වල අඩුවක් නොවන්නේ ය.