Print this Article


මලියදේව මහරහතන් වහන්සේ සමඟ දෙව්ලොව ගිය සුළුගුලු උපාසක

මලියදේව මහරහතන් වහන්සේ සමඟ දෙව්ලොව ගිය සුළුගුලු උපාසක

'ඒකාදසයාගු' නම් බෙහෙත් කැඳකින් මලියදේව මහරහතන් වහන්සේට තිබූ බඩේ රුදාවක් සුළුගුලු උපාසක විසින් සුවපත් කළ බවත්, එයට කෘතෝපකාර වශයෙන් සුළුගුලු උපාසක සිළුමිණ සෑය වැන්ඳවීමට තව්තිසා දෙව්ලොව රැගෙන ගිය බවත් ප්‍රකට ජනප්‍රවාදයකි.

මෙම පුවත සද්ධර්මාලංකාරයේ ද සඳහන් වෙයි. එම කතාව මෙසේ ය.

අතීතයේ හෙළදිව දැදුරුඔයට නුදුරු සුළුගලු නම් ගමක් විය. එම නමින් ප්‍රසිද්ධ වූ මහත් විහාරයක් ද විය. ඒ විහාරය සිය ගණන් භික්‍ෂූන් වහන්සේගෙන් හා ශ්‍රද්ධාවන්ත ජනයාගෙන් ගැවසී ගත්තේ ය. ඒ ගමෙහි තුනුරුවන් කෙරෙහි ප්‍රසන්න ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් විසීය.

හේ භික්‍ෂූන් වහන්සේ උදෙසා විසිතුරු භෝජන ශාලාවක් කරවී ය. එහි උඩ සුදුවියන් ආදියෙන් සරසා, සතර දිගින් වඩින සංඝයා වහන්සේලාට නිරන්තරයෙන් ජලස්නානයට ද, වැඩසිටීමට ද අවස්ථාව සැලසී ය. දැහැටිදඬු එළවා තැබීය. ගිලනුන් වහන්සේ පිණිස උණුපැන්, සිහිල්පැන් ගෙනහැර තැබීය. බෙහෙත් කැඳ ආදිය සැකසීය.

මෙකල මලියදේව මහ තෙරුන් වහන්සේට දිනක් රාත්‍රි භාගයෙහි බලවත් බඩේ රුදාවක් ඇති විය. උන්වහන්සේ නුවණින් බලා විමසා මෙසේ සිතූහ. මේ රුදාව දුරු මිරිස් ආදි වූ ඖෂධ එකොළොසක් දමා පිසින ඒකාදසයාගු නම් වූ බෙහෙත් කැඳක් වැළඳු කල්හි සංසිදෙන්නේ ය. එසේ හෙයින් එදවස් තෙරුන්වහන්සේ එබඳු බෙහෙත් කැඳීත්තක් කොයින් ලැබෙම් දෝ හෝ යි දිවසින් බලන සේක.

සුළුගුලු නම් උපාසකයන් සමීපයෙන් ලැබෙන බව දැන උදෑසන්හි ම නැඟී සිට දාගැබ් මහබෝ ආදියෙහි කළ මනා වත් පිළිවෙත් සපයා කයින් සිවුරු හා අතින් පාත්‍රය ගෙන සුළුගුලු උපාසකයන්ගේ ගම්දොරට බැස්සහ. පිටත සිට සිවුරුගැට ගන්වා පාත්‍රය අතින් ගෙන ඇතුළු ගමට පිවිස ගෙපිළිවළින් පිඬු පිණිස ගොස් ආසන ශාලාවට වැඩි සේක. එකල්හි සුළුගුලු උපාසක තෙමේ ආසන ශාලාවෙහි ම වත් චාරිත්‍ර කෙරෙමින් සිටියේ ය. සමීපයට වැඩි තෙරුන් වහන්සේ දැක හිඳීනා හසුන් පනවා, වඩාහිඳුවීය. පතුල් සෝදා, තෙල් ගල්වා, පවන් පතක් ගෙන ඇඟ විඩා දුරු කොට තෙරුන් වහන්සේ හා සමඟ කථා කෙරෙමින් ම සිටියේ ය.

උන්වහන්සේගේ හැසිරීමෙන් ගිලන් බව දැන “ස්වාමිනි, නුඹ වහන්සේට ශරීරායාසයෙක් ඇද්දැ”යි විචාළේ ය. එකල්හි තෙරුන් වහන්සේ “පුච්ඡිතපඤ්හො දොසො නත්‍ථි” යනුවෙන් තමන් වහන්සේට බඩ රුදාවක් ඇති බව හැඟවීමට සැලැස්වී ය.

එකල උපාසක තෙමේ “මේ රුදාවට ඒකාදසයාගු නම් වූ බෙහෙත් කැඳ යහපතැ”යි සිතා “ස්වාමිනි, මා බෙහෙත් කැඳීත්තක් සපයා ගෙනෙන තෙක් මට අනුග්‍රහ කොට මඳක් වැඩ සිටි මැනවැ”යි ආරාධනා කෙළේ ය.

තෙරුන් වහන්සේ ද මුවෙන් නො බැණ ඉවසා වදාළ සේක. ඉක්බිති උපාසක තෙමේ තමාගේ ගෙට ගොස් බෙහෙත් බඩු පිළියෙළ කොට බෙහෙත අවශ්‍ය මට්ටමට තැම්බෙන තෙක් නැවත අවුත් තෙරුන් වහන්සේ සමීපයෙහි කථා කෙරෙමින් හුන්නේ ය.

එකල්හි තෙරුන් වහන්සේ මෙසේ සිතන සේක. “මේ උපාසක තෙම එසේ මෙසේ ළාමක සත්‍වයෙක් නො වෙයි. එන දවස් මහේශාක්‍ය වූ දිව්‍ය පුත්‍ර ව උපදින්නේ ය” යි දැන උපාසකයා හට වදාරණ සේක් “

උපාසකතුමනි, බෙහෙත් දියත්ත පිසෙන තෙක් තවුතිසා දෙව් ලොවට ගොස් සිළුමිණිසෑය වැඳ එනු කැමැත්තෙහි නම් අප හා සමඟ තෙපිත් එව”යි වදාළ සේක.

එකල්හි උපාසක තෙමේ “ස්වාමිනි, මම සිළුමිණිසෑය වැඳීමට කැමැත්තෙමි. එසේ වුවත් ආකාශයෙන් යන තරම් ඍද්ධියක් නැතිව කෙසේ යෙම්දැ’යි කීයේ ය. එය අසා තෙරුන් වහන්සේ “උපාසකය, සිළුමිණිසෑය වැ¼දීමට කැමැති නම් අපි, අපගේ ආනුභාවයෙන් කැඳවාගෙන ගොස් වන්දවාලම්හ, අප හා සමඟ එව” යි වදාළ සේක. උපාසකයෝ ද යහපතැයි ගිවිස්සාහ.

අනතුරුව මහ තෙරුන් වහන්සේ වැඩහිඳීනා සම්කඩ සුළුගුලු උපාසක අතට දී “මේ උපාසක තෙම මා හා සමඟ එව”යි අධිෂ්ඨාන කොට අලුත පියාසර උගන්වන ගුරුළු පැටවකු පස්සෙහිලා ගමන් ගත් ගුරුළුරාජයකු සේ අහසට පැන නැඟී තවුතිසා භවනයට ගියහ. සිළුමිණි සෑයෙහි සත් රුවන්මය සත්වන දොරටුවෙහි වැඩ සිටිමින් මලියදේව මහ තෙරුන් වහන්සේ සුළුගුලු උපාසකයන් හා කථා කෙරෙමින් සිටිය දී ම මෛත්‍රී මහ බෝසතාණෝ රථයකින් එහි ආහ.මහ තෙරුන් වහන්සේ කරා එළඹ පසඟ පිහිටුවා වැඳ “ස්වාමිනි, කුමක් පිණිස මේ දෙව්ලොවට වැඩිසේක් දැ”යි විචාළහ. එබසට මහ තෙරුන් වහන්සේ “

මහා පුරුෂය, අපි සිළුමිණි සෑය වැදීම පිණිස පැමිණියෙමු.”යි වදාළ සේක. අනතුරුව සුළුගලු උපාසක තෙම මෛත්‍රී බෝධිසත්‍වයන් වැඳ එකත්පස්ව සිටියේ ය. එවේලෙහි මෛත්‍රී බෝධිසත්‍වයෝ සුළුගුලු උපාසක දැක “ස්වාමිනි, මේ තෙම කිනම් උපාසකයෙක්දැ”යි විචාළහ. ඉක්බිති මහ තෙරුන් වහන්සේ “එම්බා මහා පුරුෂය, ලංකා ද්වීපයෙහි ශ්‍රද්ධා ශීල ගුණයෙන් යුක්ත වූ සුළුගුලු උපාසකයෝ නම් මේ තෙමේ ය” යි වදාළ සේක.

එකල මෛත්‍රී බෝධිසත්‍වයෝ සුළුගුලු උපාසකයන්ට යහපත් වූ දිවසළු සඟළක් දී “තව ද වඩ වඩා නො පමාව කුසල් කරවයි අවවාද කොට ඔවුන් හා සමඟ මහ තෙරුන් වහන්සේ කැඳවාගෙන ගොස් සිළුමිණි සෑය වැන්ඳ වූහ. මහ තෙරුන් වහන්සේ ද සිළුමිණසෑය වැඳ උපාසකයන් හා සමඟ සුළුගලු විහාරයට අවුත් භෝජන ශාලාවෙහි වැඩහිඳ බෙහෙත් කැඳ වළඳා ව්‍යාධිය සංසිඳුණු පසු තමන් වහන්සේ වසන විහාරයට වැඩිසේක.

එකල්හි සුළුගුලු උපාසකයෝ තෙරුන් වහන්සේට පසුගමන් කොට වැඳ අවසර ගෙන රැඳුණහ. මේ පුවත දැනගත් ඒ ගම් වැසි මනුෂ්‍යයෝ සුළුගුලු උපාසකයන් අත තිබූ ඒ දිවසළු දෙක දැක “මේ ආශ්වර්‍යමත් වූ සාටක දෙක කොයින් ලදුදැ” යි විචාළහ. එකල සුළුගුලු උපාසකයෝ මලියදේව මහ තෙරුන් වහන්සේ හා එක් ව තමන් තවුතිසා දිව්‍ය ලෝකයට ගොස් දුටුවා වූ සියලු සම්පත්තිය ද, මෛත්‍රී බෝධිසත්‍වයන්ගෙන් තමන් ඒ දිවසළු දෙක ලත් බව ද යන සියල්ල ම විස්තර වශයෙන් පැවසීය.

පසුව මහජනයා කුසල් කිරීමෙහි යොදවා උපාසක තෙමේ සත් දවසක් මුළුල්ලෙහි නොයෙක් පින්කම් කොට අටවන දවස් එයින් ගොස් නිදා පිබිදියාක්හු මෙන් තුසිත දෙව් ලොව මෛත්‍රී බෝධිසත්‍වයන් කෙරෙහි මහේශාක්‍ය වූ දිව්‍ය රාජයෙක් වී උපන්හ.