Print this Article


අවවාද දෙන්නට පෙර...

අවවාද දෙන්නට පෙර...

අප බුදුරදුන් දෙව්රම් වෙහෙර වැඩ සිටි කාලයේ එහි විසූ උපනන්ද තෙරුන් මිහිරි ලෙස බණ කීමෙහි ඉතා දක්ෂ ය. එනිසා උන්වහන්සේට බොහෝ දෙනා පැහැදුණි.

උන්වහන්සේ අනුන්ට බණ කීවත්, තමන් වහන්සේ පිළිවෙත් පුරන්නේ නැත. අල්පේච්ඡ බවෙහි අනුසස් වර්ණනා කොට බණ කීවත් ලෝභියෙක් විය.

දිනක් එක් විහාරයක භික්ෂූන් දෙනමකට වස්ත්‍ර දෙකක් සහ පලසක් ලැබුණි. එය බෙදා ගන්නට නොහැකිව සිටින විට විහාරයට පැමිණි උපනන්ද තෙරුන් දැක ස්වාමීනි, අපට මෙය බෙදා දෙනුමැනවැයි කීවේ ය. උපනන්ද තෙරුන් මේ දෙනමට වස්ත්‍ර දෙක බෙදා දී පලස රැගෙන වැඩියේ ය. භික්ෂූන් දෙනම මේ ගැන නො සතුටු ව බුදුරදුන් වෙත සැළ කළහ.

බුදුරදුන් මෙම කරුණ අසා උපනන්ද තෙරුන් කැඳවා අනුන්ට අවවාද කරන්නට පෙර තමන් අවවාදයෙහි පිහිටිය යුතු යැයි වදාළ සේක. එනිසා පළමු කොට තමා අවවාදයෙහි පිහිටීම වැදගත් වනු ඇත.