Print this Article


 උදාර දිවියක පිය සටහන්: අතිපූජනීය වූත් ගෞරවනීය වූත් උත්තරීතර පැවිදි දිවිය

අතිපූජනීය වූත් ගෞරවනීය වූත් උත්තරීතර පැවිදි දිවිය

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ

මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී, අග්ගමහා සද්ධම්මජෝතිධජ ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ කුඩා අවධියේ දී පැවිදි වී ධර්මශාස්ත්‍රීය අධ්‍යාපනය සපුරාලමින් සියම් මහා නිකායේ අනුනායක පදවිය දක්වා පැමිණි ගමන් මාර්ගයේ දී ලබාගත් අත්දැකීම් අනුව නූතන භික්ෂු පරපුර යොමුකරනු ලබන්නේ කිනම් පැතිකඩකට ද?

භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් කුඩා අවධියේ සිට ලබාගත් අත්දැකීම් ප්‍රකාශ කරන කොට භික්ෂු ජීවිතය වඩා වර්ධනය කරගැනීම සඳහා සාම්ප්‍රදායික ආරාමික ජීවිතය සම්බන්ධ පුහුණුව ලබාගැනීමේ දී අනිවාර්යයෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවෙනවා. එම අත්දැකීම් සමඟ පොත පත, පිරිවෙන් අධ්‍යාපනය තුළ අත්දැකීම් සම්භාරයක් ලබාගෙන තිබෙනවා. එම කාරණා බොහොම සතුටින් පිළිගෙන යම් දෙයක් ඇතිකරගැනීමට උත්සාහ කළා.

බුද්ධ දේශනාවේ සඳහන් වන ආකාරයට ප්‍රධාන වශයෙන් භික්ෂුවක් උභය ලෝකාර්ථ සංසිද්ධිය සලසාගෙන මෙලොව දියුණුව ඇතිවන පිණිස ගමන් කිරීමේ අදහසක් ඇතිව භික්ෂු ජීවිතය ගත කිරීම අවශ්‍යයයි. ඒ අනුව ධර්ම ශාස්ත්‍රීය අවබෝධය, ධර්මය විග්‍රහකිරීමේ හැකියාව, ඊට අදාළ ප්‍රතිපත්ති මූලික වශයෙන් පුරුදු පුහුණුකරමින් ඒ අනුසාරයෙන් තමන්ගේ පැවිදි ජීවිතය වඩාත් අර්ථවත් කරගත යුතු බව අවවාදයක්, උපදේශයක් වශයෙන් නූතන භික්ෂු පරම්පරාවට ලබාදෙන්න පුළුවන්.

වර්තමානයේ දී බොහෝ සංකීර්ණතාවයන් ඇතිවෙලා තිබෙන බව පැහැදිලියි. ලෝකයේ විවිධ දර්ශනයන්, විවිධ නිර්මාණ, විවිධ වෙනස්කම් නිසා එවැනි අභියෝගාත්මක දේවල් ඇතිවුණත්, මූලික භික්ෂු ආකල්පයන්ගෙන් යුතුව කටයුතු කිරීම වගකීමක් වශයෙනුත්, දෙලොව යහපත පිණිසත් හේතුවන බව නූතන භික්ෂු පරපුරට ලබාදිය යුතු පණිවුඩයයි.

ඔබ වහන්සේගේ සාමණේර අවධියත්, අධ්‍යාපනය ලබාගත් කාලවකවානුවත් පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙනවා නම්,

මගේ උපන් ගම වුණේ ශ්‍රීමත් දංෂ්ට්‍රාධාතූන් වහන්සේගේ ආශිර්වාදයෙන් පාරිශුද්ධ වුණ මධ්‍යම පළාතේ හාරිස්පත්තුව බද ගලසියපත්තුවේ නියංගොඩ පෞරාණික ග්‍රාමයයි. හේරත් රාජකරුණා වාසල මුදියන්සේලාගේ කුඩාබණ්ඩා නියංගොඩ විදුහල්පතිතුමා, සාරසියපත්තුවේ මොලගොඩ රාජකරුණා අතපත්තු වාසල මුදියන්සේලාගේ බිසෝමැණිකේ ගුරු මාතාව යන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණවත් දෙපළ මව්පියන් කොට 1948 නොවැම්බර් මස 26 වැනි දින ජන්ම ලාභය ලැබුවා.

මොලගොඩ ශ්‍රී පියදස්සී විද්‍යාලයෙන් හා මාතලේ විජය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන සැදැහැවත් මව්පියන්ගේ අපේක්ෂා මුදුන්පත් කරමින් ගෞරවනීය පැවිදි ජීවිතයකට එළඹුණා. නියංගොඩ පුරාණ විහාරාධිපති මල්වතු විහාරවාසී විනයාචාර්ය බඹරදෙණියේ ශ්‍රී මේධානන්ද හිමි, ගිරිහාගම ශ්‍රී සුමංගලාරාම විහාරවාසී ගල්ලෑල්ලේ නන්දසාර හිමි, මල්වතු විහාරවාසී නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරිවෙන් විහාරාධිපති හේනේපොළ ශ්‍රී නන්දසිරි හිමි යන ගෞරවනීය මාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1964 මැයි මස 26 වැනි දින උතුම් වූ ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වුණා. මේ අවස්ථාවේ දී කෘතඤ්තාපූර්වකව සිහිපත් කළ යුතු යි.

ඉන් අනතුරුව සාහිත්‍ය චක්‍රවර්තී සාරභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාමාභිධාන නාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා හා ආශිර්වාද ඇතිව නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පරිවේණා ස්ථානයෙහි හා රාජකීය පණ්ඩිත බමුණුගෙදර ශ්‍රී සීලානන්දාභිධාන නා හිමිපාණන් වහන්සේ ධර්මාචාර්ය කොට ශ්‍රී රතනසේල පරිවේණාස්ථානයෙන් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගෙන 1968 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා 1974 දී ශාස්ත්‍රවේදී උපාධියත්, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියත් ලබා ගත්තා.

මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී අතිගරු විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ උපාධ්‍යාය කොට මල්වතු විහාරවාසී නැහිණිවල ශ්‍රී සුමන සෝභිතාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා ගෞරවාර්හ බඹරදෙණියේ ශ්‍රී මේධානන්දාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කර්මාචාර්ය කොට 1970 මැයි මස 20 වැනි වෙසක් පසළොස්වක පොහෝ දින වාහලනාග නාමයෙන් පැවිදි ආචාර්යපාදෝත්තමයන් වහන්සේලාම ගුරුකොට උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්තා. පැවිදි වූ දා සිට ආදර්ශවත් භික්ෂු ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවවාද අනුශාසනා ලබා දුන් ගුරු හාමුදුරුවන් වහන්සේලා කෙරෙහි ඉතාම කීකරුව, ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රසාද පූර්වකව කටයුතු කළ බවත් සිහිපත් කළ යුතු යි.

නායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ශාසනික හා ධර්මශාස්ත්‍රීය සේවය පිළිබඳව පැහැදිලි කරනවා නම්,

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවීමෙන් පසුව කුඩා උඩුව ශ්‍රී නාලන්දා පිරිවෙන, කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙන, නු/ ගිණිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය, ගිරිහාගම නියාමක විද්‍යාලය, පරණගම මහා විද්‍යාලය, මහ/ මහවැලි මහා විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ද ධර්මාචාර්යන් වහන්සේ නමක් වශයෙන් 1976 සිට 1994 දක්වා සේවය කළා.

මේ ආකාරයට ධර්ම ශාස්ත්‍රීය සේවාවෙහි නිරතව ක්‍රියාකරන අතරතුර 1979 දී ගිරිහාගම ශ්‍රී සුමංගලාරාම විහාරාධිපති වශයෙන් පත්වෙලා මහනුවර මල්වතු මහා විහාරය කේන්ද්‍රකරගෙන විශාල ශාසනික සේවයකට ප්‍රවේශ වීමට සිදුවුණා. ඒ අනුව අතිගරු සිරිමල්වත්තේ විමල කීර්ති ශ්‍රී ආනන්දාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය ධූරයටත්, 1986 දී මල්වතු මහා විහාරයේ ගරුතර කාරක මහා සංඝ සභාවේ සාමාජික ධූරයටත් පත් කළා. 1990 වර්ෂයේ දී අතිගරු රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ගරුතර කාරක මහා සංඝ සභාවේ උප ලේඛකාධිකාරී ධූරයටත්, 1993 දී ප්‍රධාන ලේඛකාධිකාරී ධූරයටත් පත් කිරීමෙන් පසු ජාතික, ආගමික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපනික වශයෙන් පැවරෙන සියලු කාර්යයන් ඉතා වගකීමෙන් හා සැලකිල්ලෙන් ඉටුකිරීමට වග බලා ගත්තා.

ඉන්දියාව, නේපාලය, ජපානය, තායිලන්තය, සිංගප්පූරුව, චීනය, එංගලන්තය යන රටවල බෞද්ධ සම්බන්ධතාවයන් වඩා වර්ධන කිරීමට සිදු කළ දූත මෙහෙවර මඟින් ජාත්‍යන්තර වශයෙන් ද කීර්තියක් ලබා ගැනීමට හැකිවුණ බව මගේ අදහසයි.

දේශීය හා විදේශීය වියත් පර්ෂද මධ්‍යයෙහි බොහෝ දේශනා සඳහා සහභාගි වුණා. පෑලියගොඩ විද්‍යාලංකාර සභාව විසින් “ස්ථවීර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී” යන ගෞරව උපාධිය 2003 වර්ෂයේ දී, පිරිණැමුවා. කොරියාවේ “ඩේ ගත් සා” බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය 2002 වර්ෂයේ දී ප්‍රදානය කිරීමට කටයුතු කළේ ශාසනික හා ශාස්ත්‍රීය සේවය අගය කරමින්, මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ සම්මතයෙන් 2004 වර්ෂයේ දී මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අනුනායක ධූරයට පත් වුණා.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක මා හිමිපාණන් වහන්සේට සම්බුද්ධ ශාසනයට තවදුරටත් සේවය කිරීමට අවශ්‍ය ශක්තිය , ධෛර්යය නිදුක් නිරෝගි සුවය සමඟ දීර්ඝායුෂ ලැබේවා.