Print this Article


නොවටිනා දෙයට වටිනාකම් දෙනවා ද?

නොවටිනා දෙයට වටිනාකම් දෙනවා ද?

හිමාලයෙහි ‘මානස’ නම් වූ මනහර විලක් ඇත. එහි සිටින එක් ස්වර්ණ හංසයෙක් ගමනක් යන අතරතුර ගසක එක් අත්තක වාඩිවිය.

මොහොතකින් එතැනට කණ කොකෙක් ද පැමිණියේ ය. දෙදෙනාම කතාබහට වැටුණි. ඔබ ඉන්නේ කොහේ ද? කණකොකා ස්වර්ණ හංසයාගෙන් ඇසුවේ ය.

මගේ වාසස්ථානය අර ඈත තිබෙන රමණීය මානස විලයි. එහි ඇත්තේ රිදීවන් දිය දහරාවකි. ඒ විලෙහි ස්වර්ණ හංසයෝ සිටිති. ඒ විල වර්ණව මලින් සුවඳවත් වී ඇත. ඒ විල සුදුවන් වැලිතලාවෙන් වට වී ඇත. වටා පිටාව ද මල් ගස් වලින් යුක්ත ය. ඒ තුළින් පරිසරය ම සුවඳවත් වී ඇත.

මේ අපූර්ව වර්ණනාව ගැන සැලකිල්ලක් නොදක්වමින් නිදිමත ගතියෙන් සිටි කණකොකා ඇසුවේ ‘ඔය විලේ මඩකරියො එහෙම ඉන්නවා ද “කියායි.

හංසයින් ගැන හෝ විල ගැන හෝ විස්තර දැන ගැනීමට කිසිම හැඟීමක් කණකොකාට නොතිබිණි. ඌට අවශ්‍ය මඩකරියන් ගැන දැන ගැනීම පමණයි.

අපේ සමාජයේ සමහර මිනිස්සු ද මෙවැනි ය. නොවටිනා දේ පසුපස යති. ඒ සඳහා යන මග ද වැරැදිය. ඒ සඳහා පිළිපදින ක්‍රම ද වැරදිය. ජීවිතය ලස්සන කරන දේට වඩා අවලස්සන දේ පසුපසම යන මොවුහු වැරදි දේ ම තෝරාගනිති.

එකම දිනයෙක, එකම වෙලාවක ආසන්න දෙතැනක ධර්ම දේශනයක් හා සංගීත සන්දර්ශනයක් තිබෙන්නට පුළුවන. වැඩි දෙනෙකුගේ තේරුම සංගීත සංදර්ශන ය යි. ඒ ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආශාවයි.

කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක් දැයි තෝරා බේරාගෙන කටයුතු කිරීමේ ශක්තිය අප වෙත තිබිය යුතු ය.

බුදුරජාණන් වහන්සේ සරු දෙය හා නිසරු දෙය ඉතා හොඳින් පැහැදිලි කර දුන් ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.

එදා බුදුරදුන් ජීවමාන දවස උපතිස්ස, කෝලිත යන දෙදෙනා බුදුරදුන් හමුවට යෑමට සූදානම් වී සංජය පරිබ්‍රාජකයාට ද තමන් සමඟ එන ලෙස ආරාධනා කළහ. එහෙත් ඔහු ඊට එකඟ නොවීය. ඔහු කීවේ තමන් මේ සා කාලයක් විශාල පිරිසකගේ ගුරුවරයෙකුව සිට ශිෂ්‍යයෙකු ගේ තත්වයට පැමිණීමට නො හැකි බවයි.

එවිට උපතිස්ස කෝලිත දෙදෙනා කීවේ එසේ නොකියන ලෙස ය. ලෝකයට ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් පහළ වී ඇති බවත්, ඒ අවස්ථාවෙන් අප ප්‍රයෝජන ගත යුතු බවත් ය.

හැළියක වී හැන්දක් වීමට නොහැකි බවත් එය තමන්ට මදිකමක් වන බවත් සංජය පරිබ්‍රාජකයා ප්‍රකාශකර ඇත. එසේ නොකියන ලෙස උපතිස්ස , කෝලිත දෙදෙනා කීව ද සංජය ප්‍රශ්න කළේ මේ ලෝකයේ වැඩියෙන් සිටින්නේ පණ්ඩිතයන් ද මෝඩයන් ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන ලෙසයි.

ගුරුතුමනි, මෝඩයින් වැඩි ය. නුවණැත්තෝ ටික දෙනෙකි.” යනුවෙන් උපතිස්ස කෝලිත දෙදෙනා පිළිතුරු දුන්හ.

එහෙම නම් කමක් නැහැ. ඔබ දෙදෙනා බුදුරදුන් හමුවට යන්න. මෝඩයින් මා සමීපයට එනු ඇති. සංජය කීවේ ය. ඒ ඉල්ලීමෙන් පසු කෝලිත, උපතිස්ස දෙදෙනා බුදුරදුන් වෙන යන්නට පිටත්වූහ. සංජය පරිබ්‍රාජකගේ ශිෂ්‍යයන් විශාල පිරිසක් ද ඔවුනට එකතු විය. මෙය දරාගන්නට නොහැකිව සංජය දැඩි වේදනාවට හා ශෝකයට පත්වූ බව බණ පොතේ සඳහන් ය.

සංජය පරිබ්‍රාජක සිතා සිටියේ මිනිස් බලය, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා , වටිනාම සම්පත් ලෙස යි. බුද්ධිමත්ව සිතා බලන විට මේ සියල්ල ම නිසරු ය. මේ තුළින් ලබන සතුට තාවකාලික ය. ඒ තුළින් වේදනාවට, කඳුලු සැලීමට ද පත්විය හැකි ය. මේ තාවකාලික සතුට දුක්බර ලෝකයට අප රැගෙන යයි. සරු දෙය පසෙකට දමා නිසරු දෙය පසුපස ගිය සංජය චරිතය මේ පාඩම අපට කියා දෙනු ඇත. තාවකාලික සතුට ලබා ගැනීමට පොරබදන නඩුහබ කියන, ගහ බැණ ගන්න අයට දෙන මේ පාඩමෙහි වටිනාකම මිල කළ නොහැකිය.