Print this Article


සංවර්ධනයේ අඩිතාලම සදාචාර වර්ධනයයි - ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි

සංවර්ධනයේ අඩිතාලම සදාචාර වර්ධනයයි - ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි

අද ව්‍යසනකාරී වෛරසයක් හමුවේ මුළු ලොවටම බරපතළ අර්බුධකාරී තත්වයකට මුහුණ දෙන්නට සිදුව තිබේ. කාලාන්තරයක් පුරා ලෝකයා සොබා දහමට එරෙහි වීමේ ප්‍රතිඵලය ද මේ. බෞද්ධයන් ලෙස සම්බුදු දහමට අනුව මේ තත්වයෙන් ගොඩ ඒමට අපට ඇති හොඳම ක්‍රමවේදය කුමක් ද ? මේ ඒ පිළිබඳ ව ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ සමඟ කළ සාකච්ඡාවකි.

අපේ හාමුදුරුවනේ, ගත වෙන හැම මොහොතකම ලොව කොතැනක හෝ තැනක විපතක් සිදුවෙනවා. එය වඩාත් හොඳීන් දැනෙන කාල වකවානුවක් නේද අප මේ පසු කරමින් ඉන්නේ.

පැහැදිලිවම මේ පවතින කොරෝනා ව්‍යසනය මිනිස් ජිවිතයට පාඩම් රැසක් කියලා දෙනවා. ප්‍රධානවම මේ තත්වයට මුහුණ දීමේ දී අනුගමනය කළ යුතු දේ අප තේරුම් ගන්න ඕන. මම මේකට නිදර්ශනයක් දෙන්නම්, කොම්පියුසියස් කියන දාර්ශනිකයා හා සිදුවුණු සිදුවීමක් මූලික කරගනිමින්. දිනක් ඔහු මුණගැහෙන්න පැමිණෙනවා මින් කියන අධිරාජ්‍යයා. ඔහු විමසනවා කොම්පියුසියස්ගෙන් රටක් දියුණු කරන්න ප්‍රධාන කරුණු තුනක් පහදා දෙන්න කියලා. එවිට කොම්පියුසියස් පහදා දෙනවා පළමුවෙන්ම මැනවින් ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. දෙවැන්න ඉතාම හොඳ ආරක්ෂාවක්, හමුදාවක් බලඇණියක් තබා ගන්න ඕන. තෙවැන්න සදාචාරාත්මක සංවර්ධනයක් ඇති කරගන්න ඕන කියලා.

එවිට මින් අධිරාජ්‍යා විමසනවා මෙතැනදි රටක සංවර්ධනයට වැදගත්ම සාධකය කුමක් ද කියා. කොම්පියුසියස් තුමා කියා සිටිනවා මෙතැනදී ඉතාම වැදගත් දේ සදාචාර සංවර්ධනය කියලා. මේක හරිම ප්‍රශ්නයක්. රටක ආර්ථිකයත්, ආරක්ෂාවත් දෙකම නැතුව සදාචාරය විතරක් තිබුණම රටක් සංවර්ධනය වෙනව ද ? මෙය හොඳීන් තේරුම් ගන්න. සදාචාරය මැන්වින් පැවතුණොත් පමණයි අනෙක් සියල්ල සංවර්ධනය වෙන්නේ. රටක ආර්ථිකය , සංස්කෘතිය , දේශපාලනය , අධ්‍යාපනය , සෞඛ්‍ය මේ සියල්ල සංවර්ධනය වෙන්නේ එහි සදාචාරය පැවතුණොත් පමණයි.

නිදර්ශනයක් ගන්න. මාර්ගයක් හදන්න ලක්ෂ 50 ක් පමණ වැය වෙනවා. නමුත් මාර්ගය හදන්නේ ලක්ෂ 10 කින් .අවුරුදු විස්සකට සැලසුම් කළ මාර්ගය අවුරුදු දෙකකින් විනාශ වෙලා. ඇයි අප තුළ සදාචාරය නොමැති කම. මෙය හැම කේෂ්ත්‍රයටම පොදුයි. ඒ නිසයි රටක් එකම තැන පවතින්නේ. සදාචාරය යන්න හොරකමින් , හිංසනයෙන් තොරවීම, දුරාචාරයෙන් තොරවීම, මුලාවෙන්, වැරදි වැඩ වලින් තොර වීම, ස්වයං සිහි විකල් කරගැනීමෙන් තොරවීම මේ සියල්ල පැවැතුණොත් අපට සදාචාරවත් ව නැගී සිටීමට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයයි ලොවට පසක් කොට වදාළේ.

උන් වහන්සේ දේශනා කරනවා

“කායේන සංවරෝ සාධූ
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධූ
සාධු සබ්බත්ථ සංවරෝ “

කයෙන් වචනයෙන් මනසින් සංවර වීම සියලු දුකින් නිදහස් වීමේ ක්‍රමවේදයයි යන්න.

මේ සියලු දුක් වලට ප්‍රශ්න වලට හේතුව අපි වපුරන දේම නේද හාමුදුරුවනේ

පැහැදිලිවම එයයි සත්‍යය.

මේ සියල්ල සිදුවෙන්නේ අපි වපුරපු හැටියට. වපුරපු හැටියටයි ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් බලන්න මේ වකවානුවේ අප හැමෝම මුහුණ දීලා ඉන්න ප්‍රශ්නය. කොරෝනා ව්‍යසනකාරි තත්වයට මූලික හේතූව මිනිසුන්ගේ ජීවන චර්යාව. සත්ව ඝාතනය සීමාවක් නැතුව අසීමාන්තික ව සිදු වුණා. මාංශ අනුභව කළා. එහි ප්‍රතිඵලයක් විදිහට වෛරසය ව්‍යාප්ත වුණා කියලා අද හැමෝම දන්නවා. එයින් කුමක් ද සිදුවුණේ. අදටත් හරි ප්‍රතිකාරයක් ලෝකයට ම හොයාගන්න බැරි වෙලා. කොයි තරම් විනාශයක් සිදු වෙනවද දවසින් දවස. පේනවා නේද ආදීනව.

අනෙක් ප්‍රධාන ම දේ අපි එකිනෙකා තුළ ඇති ආත්මාර්ථකාමීකම. මේ ව්‍යසනය වැඩි දියුණු වෙන්න එයත් බලපෑවා. දුම්පානය මත් වතුර පානය මොන තරම් සිදුවෙනව ද? පහුගිය කාලයේ අප දැක්කා මේ ලෙඩේ පාලනය කරන්න ගිය සෞඛ්‍ය නිලධාරීන්ට මිනිසුන් සැලකූ විදිහ. ඒ සියල්ල සිදුවෙන්නේ ආත්මාර්ථකාමීකම නිසා. මෙතැනදී අප දකින්නෙත් අර සදාචාරයේ ම ප්‍රශ්නය නොවේද ?

මානසික ශක්තිය පිරිහීම නිසා නේද හාමුදුරුවනේ මේ හැම ගැටලුවක් ම.?

මුලින්ම හිතන්න ඕන තමන් ගේ පාරිශුද්ධභාවය , සීලය ගැන. පාරිශුද්ධතාවය ප්‍රබල වුණොත් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න එය හේතුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා සිත දමනය කරගන්න හැටි.

සිත පාලනය කරගන්න කෙනාට දෙලොවම යහපත දියුණුව ඇති කරගන්න පුළුවන්. මේ ගොඩනැඟෙන මානසික ශක්තිය තුළ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු වෙනවා. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අයට ශරීරයේ ලෙඩ රෝග බහුලයි. ඒ අයගේ ශරිරයේ තියෙන රුධිරගත තත්ත්ව විකෘති වෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. නමුත් මානසික ව ඇති කරගන්නා සතුට ශාරීරික ප්‍රතිශක්තිය වැඩි දියුණු කරනවා.

මෛත්‍රි භාවනාව වඩන කෙනාගේ ස්නායූ පද්ධතිය හොදින් ක්‍රියාකාරීයි. රුධිර සංසරණය ඉතාම ඉහළයි. රුධිරගත රෝග අවමයි. මානසික සෞඛ්‍යය, ශාරීරික සෞඛ්‍යයට ප්‍රබල ලෙසම බලපානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට වදාළ ධර්මය තුළ මේ හැමදේටම බෙහෙත් තියෙනවා. කෙනෙකුට මෙත් වඩලා ජීවත් වෙන්න පුළුවන් මනසක් හදාගන්න හැකිනම් අද බොහොමයක් ප්‍රශ්න වලින් මිනිසුන් නිදහස්.

ඒ නිසා අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත යුතුයි.

ඒත් අපේ හාමුදුරුවනේ අද බොහෝ දෙනා නොපෙනෙන මිත්‍යා විශ්වාසවල පිහිට පතලා මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න උත්සහා ගන්නවා නේද?

එයට ප්‍රධානම කාරණය ධර්මය පිළිබඳ අවබෝධයක් නොමැති කම. සම්මා දිට්ඨිය නොමැති කම. සම්මා දිට්ඨිය තමයි සියලු යහපතට මුල. එය සිදුවන්නේ විශ්වාසය මුල් කරගෙන නොවෙයි. අවබෝධය මුල්කරගෙනයි. බුදුන් වහන්සේගේ දහම, අවබෝධය මූලික කොට ඇති හේතුඵල දහමක්. නමුත් අනෙකුත් ආගම් විශ්වාසය මුල්කොට ගෙන පවතින්නේ. විශ්වාසය නිසා මෙන්න මේ බිය ඇති කරනවා. බිය මූලික කරගෙන විශ්වාසය ඇති වෙනවා. මේ නොපෙනෙන මිත්‍යා විශ්වාස අදෘශ්‍යමාන පසුපස මිනිසුන් යන්නේ මේ නිසයි. කිසිදු දෙයක් තර්ක බුද්ධියෙන් විමසන්නේ නැහැ. මූලික දේ අපට සම්මා දිට්ටිය නැති එක.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ සම්මා දිට්ඨිය ඇති කරගන්න කියලයි. එහෙම නොවෙන තාක් කල් අප මිත්‍යා සංකල්ප වලට ගොදුරු වෙනවා.

බොහෝ දෙනෙක් ධර්මය පිළිබඳ හරි අවබෝධයක් නැතිවයි අද කටයුතු කරන්නේ.

එය මෙසේ සිතිය යුතුයි කියලයි මම අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගැනීම ම නෙළුම් මලේ කතාව වගේ කියලයි මම හිතන්නේ. සමහර නෙළුම් පොහොට්ටු පිපෙනවා වතුර යටම. මඩ වලට කිට්ටුව. සමහර පොහොට්ටු පිපෙනවා වතුර මැද හරියට වෙන්න. තවත් සමහර ඒවා පිපෙනවා වතුරෙන් උඩ. අන්න ඒ වගේ තමා පුද්ගලයාගේ ධාරණ ශක්තිය. අවබෝධ ශක්තිය විවිධයි. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ විවිධ ස්තරවල පුද්ගලයින් ඉන්නේ. මේ ධර්මය සරල මට්ටමෙ සිට ගැඹුරට යන්නේ. එය හරියට වෙරළේ ඉඳන් ජලයේ ගැඹුරට යනවා වගේ.

මේ සංසාරයේ සැරි සරන සත්වයා එකම පන්තියකට ගන්න බැහැ. සමහරු ප්‍රාර්ථනා කරනවා නිවන් යන්න. හැබැයි නිවන කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් නැහැ. සමහරු පින් කරන්නේ දිව්‍ය ලෝක සැප සම්පත් ලබන්න. දෙලොවම සැනසීම ලබන්න සමහරු පින් කරනවා. මම එහි වරදක් දකින්නේ නැහැ. නමුත් දහමට අනුකූලව පරමාර්ථයට පටහැනි වුණත් යහපතේ යෙදෙනවා නම් චේතනාව යහපත් නම් කල් ක්‍රියාව යහපත් නම් එහි වරදක් දකින්නේ නැහැ.