Print this Article


දිවා රෑ පින් වැඩෙන පින්කම්

දිවා රෑ පින් වැඩෙන පින්කම්

අපි කවුරුත් කැමැත්තක් දක්වන්නේ සැප විඳීන්න යි. දුක් විඳීන්න කැමැති නැහැනේ. ඉතින් ඒක සනාතනික දහමක්. ඉතින් බොහෝවිට කියනවා නම් කවදා වත් අපි දැකලත් නැති සැප ගොඩක් තියෙනවා කියලා තියන දිව්‍ය ලෝකයට යන්න තවත් අය කැමැති වෙනවා නේ.

ඉතින් ඔය සියල්ල ම එකට අරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ ආකාරයෙන් ”

"සුඛ කාමානි, දුක්ඛ පටික්කූලානි"

සැප කැමති සත්වයන් කවදාක වත් දුක රුචි කරන්නේ නැහැ නේ. දුක පිළිකුල් කරනවා. ඉතින් මේ සැපය කියන එක ආවාට ගියාට ළඟා කර ගන්න බැහැ කියන එකත් බුදු රජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දි අපට තේරුම් කරලා දිලා කිබෙනවා.

සැප කැමැති යම් තැනැත්තෙක් තවත් පිරිසකට හිරිහැරයක්, හිංසාවක් වන අකාරයෙන්, දුකක් වන ආකාරයෙන් ක්‍රියා කරනවා නම්, ඒ පුද්ගලයා අනිවාර්යයෙන් එහි විපාක වශයෙන් මහත් දුකකට කරදරයට පත් වෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි ව ප්‍රකාශ කරලා තිබෙනවා.

යම් යම් උදවියට හිරිහැර වන සේ ක්‍රියා කරන අය ඒ වෙලාවට සතුටක් ලබනවා. තමන් තමන්ගේ විරුද්ධකාරයාට රිදෙව්වා, පාඩමක් ඉගැන්නුවා, පළිගත්තා කියලා. හැබැයි ඔහු පසුපස ඔහු විසින් කරන ලද කර්මයේ විපාක වශයෙන් තමා ලුහු බැඳගෙන එම කර්මයේ දුක් සහිත විපාක ගලා එන බව මෙහොතකට වත් කල්පනා කළ යුතු වන බවයි අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ මේ පිළිබඳ එක්තරා සංවාදයක් ඇති වී තිබෙනවා. ඒ තම යි කාට ද දිවා රාත්‍රි දෙකේ ම පින් සිදුවන්නේ?

ධර්මානුකූල ව කටයුතු කරන ශිලා දී ගුණයෙන් යුක්ත කවර නම් කෙනෙක් ද සුගතියෙහි උපදිනේනේ ? එහෙම ත් නැත්නම් සැප විපාක විඳීන්නේ ?

එයට බුදු රජාණන් වහන්සේගේ පිළිතුර වී තිබෙන්නේ වනවගා කිරිම, උද්‍යාන කිරිම, මංමාවත්, පාලම්, ඒ දඬු ඉදිකිරීම, ජනතාවට පමණක් නොව සතා සිවුපාවට පවා පවස නිවා ගැනිමට පානීය ජල පහසුකම් ඇති කිරිම, මිනිසුන්ගේ වාසය පිණිස ගෙවල් දොරවල් ඉදි කර දීම යන මේවා යම් කෙනෙක් අතින් සිදු වෙනවා නම්, ඒවා නිසා ලැබෙන කුසලානිසංස හේතුවෙන් එවැනි උදවිය සුගතිගාමි වෙන බවයි.

අනිත් අතට බුදු රජාණන් වහන්සේ පැහැදිලි කර දෙනවා එවැනි උදවිය ස්වභාවයෙන් ම ධර්මානුකූලව කටයුතු කරන සීලසම්පන්න පිරිසක් වන බව. දැන් මේ ප්‍රකාශ වන සියලු ම කාරණා සත්පුරුෂ ලෝකයේ කවුරුත් ඇගයීමට ලක් කරන කරුණු යි.

බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ සගාථක වර්ගයේ වනරෝප සූත්‍රයේ දී ය. ඒ අනුව ඉතාම කෙටියෙන් මේ කරුණු කීපය කැටි කර ගත්තොත් මහජනාතාව වෙනුවෙන් පරාර්ථකාමිත්වයෙන් ඔවුන් සුවපත් කිරීම පිණිස පමණක් නොව, මේ පොළෝ තලයෙහි සෑම සත්වයෙකුගේ ම ජිවන පැවැත්ම ආරක්ෂා කර දිම යි මෙයින් ප්‍රකාශ වන්නේ.

වනවගාව කියන මේ කරුණ අද කාගේත් කතාබහට ලක්වන මාතෘකාවක්. වනවගාව බහුල වන තරමට යි මිනිසාට පමණක් නොව සෑම ජිවියකුට ම තමන්ගේ ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන පිරිසිදු වාතය ලබා දෙන්නේ.

ලෝකය කාර්මිකකරණය වීම නිසා ඇතැම් රටවල අද වන ගහණය අතිශය හීන වී යාම හේතුවෙන් එහි ජිවත් වන වැසියන්ට විශේෂයෙන් නගරාශ්‍රිත ව ගමනාගමනයෙහි යෙදෙන විට ඔක්ෂිජන් වායුව අඩංගු පැකැට්ටුවත් තම ශරීරයෙහි රඳවාගෙන යාමට තරම් කාබන්ඩයොක්සයිඩ් හෙවත් අපිරිසිදු වාතයෙන් පරිසරය දූෂණය වී පවතිනවා.

ඉන්දියාවේ දිල්ලි අග නගරය වායු දූෂණයෙන් ඉහළට ගිහින්. අපේ බුදුරජාණන් වහන්සේගේ දහම අනුව මිනිසාට පමණක් නොව මේ මහා පෘථිවියෙහි හටගත් සෑම ජිවියකුට ම ජිවත්වීමේ අයිතිය, එසේත් නැත්නම් පිරිසිදු වාතය භුක්ති විඳීමේ අයිතිය එක සමාන යි. එහෙත් මේ සතා සිවුපාවා වැනි තිරිසන් සතුන්ට පවා මේ අවශ්‍යතාව ඒ ආකාරයෙන් ම බලපානවා. ඉතින් මෙවැනි තත්වයක් උඩ ජිවත් වන හැම අවස්ථාවකම මිනිසා කියන මේ උසස් මානසික ශක්තියක් ඇති ව ජිවත් වන අප ගසක් කපන විට අපෙන් පරිසරයට වෙන හානිය ගැන කෙතරම් විමසිලිමත් විය යුතු ද යන මේ කරුණ ගැන වඩාත් සිතට ගතයුතු වෙනවා.

ඒ පමණක් නොව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ගසක් මේ මහා පෘථිවියෙහි සිටුවනවා කියන එකේ ප්‍රමුඛ අදහස වන්නේ පුණ්‍යකාමි කුසල් සිත් වැඩෙනවා කියන එක යි. එය කෙතරම් බලවත් ද කියනවා නම් එය දිවා රෑ පින් සිදුවන පින්කම් බවට පත් වෙනවා.

අපේ ගැමි ජනතාව ඇතැම් ගොවිතැන් කටයුතු පිණිස, කිරිගවයන්ට ආහාර පාන පිණිස වනගහණය අඩු කිරීමට හේතුවන බව ප්‍රකාශ වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් කැලෑ එළි කරගෙන යාමෙන් වනගහණය අඩු වෙන බවත් ප්‍රකාශ වෙනවා.

මේ ඇතැම් පවිටු අදහස් මුල් කරගෙන ජාවාරම් කරුවන් වනය එළිපෙහෙළි කරමින් සිටිනවා. මේ විවිධ බාධක මැද වනගහණය ආරක්ෂා කරගෙන පවත්වා ගෙන යාම සත්පුරුෂ ජනතාවගෙන් පමණක් අපේක්ෂා විය යුතු කරුණක් ලෙස යි අපට පෙනී යන්නේ. පින්පව් ගැන විශ්වාසයක් නොමැති ව, ආත්මාර්ථකාමිත්වයෙන් ක්‍රියා කරන පිරිස් කරන මේ වන වගා හානියේ අහිතකර තත්වයන් දැඩි වනවිට එදාට ජිවත්වන, අද හැදෙන වැඩෙන වයසේ ජිවත් වන ළමා පරපුර එදාට විශාල අර්බුදයකට මුහුණ දෙනු නො අනුමාන යි.

බුදුරජාණන් වහන්සේ මේ වනය කෙතරම් ප්‍රිය කළා ද යන්න එදා උන්වහන්සේ දවස කොසඹෑනුවර ධර්මධර හා විනයධර වශයෙන් දෙපාර්ශ්වයකට බෙදි එක ම බුද්ධ පුත්‍රයන් වහන්සේලා විවාදාපන්න ව සිටි අවස්ථාවේ ඔවුන් සමඟි කරවීමට අවවාද අනුශාසනා කරන විට ත් ඒ කිසිවක් ගැන එම භික්ෂුන් වහන්සේලා සැලකිලිමත් නො වූ විට බුදුරජාණන් වහන්සේ ගත් පියවර වූයේ පාරිලෙය්‍ය වනයට වැඩම කර ඊ ළඟට එළඹුණු වස් තුන් මාසය ම එහි ගත කිරීම යි.

උන්වහන්සේ ඒ තුන් මාසය එහි ගතකිරීමෙන් ම පැහැදිලි වෙනවා අවිහිංසක සිතිවිලි ඇති ව මෙත් සිතින් වාසය කරන කවරෙකුට වුව ද වනය ආරක්ෂාවක් මිස විපතකට හේතු නො වන බව යි.

එපමණක් නො ව එදා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් එම ආර්ය මාර්ගය ප්‍රත්‍යක්ෂ කර ගැනිමටත්, උන්වහන්සේ විසින් අනුදැන වදාළ වනය, රුක්මුල්, ශූන්‍යාගාර(අරඤ්ඤගතො වා රුක්ඛමුලගතො වා සුඤ්ඤාගාර ගතතො වා) යොදා ගෙන ඒ ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා ගෙන ක්‍රියා කළ බව යි. එයින් වනය සෙවණක් වි උන්වහන්සේලාගේ විමුක්ති සුවය ලබා ගැනිමට උපකාර වුණා. ඉතින් මේ පරිසරයේ ඇති සුන්දරත්වය නිසා ම එය පිටුවහලක් වි එදා භික්ෂූන් වහන්සේ වනගත වී සෝවාන් ආදි මාර්ගඵලයන්ට පත් වුණා.