Print this Article


සම්මා සම්බුද්ධත්වයේ පෙර නිමිති පෙන්වමින් බෝසතාණන් වහන්සේ දුටු සිහින

සම්මා සම්බුද්ධත්වයේ පෙර නිමිති පෙන්වමින් බෝසතාණන් වහන්සේ දුටු සිහින

සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් සම්බුද්ධත්වය පිණිස පාරමීදම් සපිරූ අප මහා බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගත්තේ ද මහාමායා දේවියට අපූර්ව සිහිනයක් දක්වමිනි. ඇසළ පුන් පොහෝ දා පෙහෙවස් සමාදන් ව රාත්‍රී සුව නින්දේ සිටි මහාමායා දේවිය මැදියම් රැයේ දී මනරම් සිහිනයක් දුටුවා ය.

සතරවරම් දෙව්මහරජවරු සිව් දිශාවෙන් පැමිණ ඇය සැතපී හුන් යහන සිව් කොනින් ඔසවා ගත්හ. අහසින් ගොස් හිමාල පර්වත මුදුනෙහි පිහිටි අනවතප්ත විල්තෙර රන් ගල්තලාවෙහි මල් පිපී ගිය මහා සල් රුක් සෙවණක තැබූහ. එකෙණෙහි පැමිණි සිව්මහරජුන්ගේ අගමෙහෙසි දෙවඟනෝ ඇය නැගිටුවා අනවතප්ත විලට කැඳවාගෙන ගොස් ස්නානය කරවා, දිව සළුපිළි හඳවා, දිව සුවඳ ඇඟ ගල්වා, දිව මල් මාලා පළඳවා, දිව මල් අතුළ යහනෙහි සැතපවූහ. මල් යහනෙහි සුව සේ සැතපී සිටිද්දී රිදී පැහැයෙන් දිලෙමින් ඇත් හොඬින් සුදු නෙළුමක් දැරූ සිඟිති ඇත් පොව්වෙක් එනු ඇයට පෙනුණි. හේ රන් පව්වට නැඟී ඉන් බැස, රිදී පව්වට නැඟ ඉන් බැස, උතුරු දෙසින් පැමිණියේ ය. දේවිය වෙත අවුත් සිඟිති හොඬ ඔසවා කුංචනාද කොට දේවිය වටා තෙවරක් පැදකුණු කළේ ය.

අනතුරුව ඇයගේ දකුණැලයෙන් කුසට ඇතුළුවන බවක් දැනී ගියේ ය. ඕ තොමෝ වහා අවදිව නෙත් හැර බැලූවා ය. ලෝ සත භව දුකින් මුදවනු වස් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අප්‍රමාණ කැපවීමකින් පෙරුම් පුරා ගමනාන්තයට පැමිණි මහා පුරුෂයකු තුසිත දෙව්ලොවින් චුත ව මනුලොව මව්කුස පිළිසිඳගත් පින්බර මොහොත එයයි.

අප මහ බෝසතාණන් වහන්සේ ද සිය ජයග්‍රාහි දිනය වන වෙසක් පුන් පොහෝ දාට පෙර දින රාත්‍රියේ නේරං ජනා නදිය අසබඩ නුගරුක් සෙවණක සැතපී සිටියහ. ඒ රැය ගෙවී යමින් තිබිය දී සිහින පසක් දුටුවහ. තමන් වහන්සේ දුටු සිහින ගැන තමන් වහන්සේ ම නුවණ මෙහෙයවා තේරුම් ගත් අයුරු උන්වහන්සේ පසු කලෙක මෙසේ වදාළ සේක.

සර්වඥතා ඥානය ලබන බවට පෙරනිමිති

‘මහණෙනි, සම්මා සම්බුදු තෙමේ සම්බුදු බව පසක් නොකොට සිටිය දී, බෝසත් වූයේම මේ පළමු ස්වප්නය දුටුවහ.

ඒ සිහිනයේ දී, බෝසත්හට මහා පෘථිවිය සයනයක් වූයේ ය. හිමාල පර්වත රාජයා කොට්ටය කොට ඒ මත හිස තබා, පෙරදිග සයුරෙහි වමත දිගුකොට තබා, බටහිර සයුරේ දකුණත තබා, දකුණු සයුරෙහි දෙපා දිගු කොට දමා සැතපී හුන්හ.

මහණෙනි, අර්හත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ විසින් අනුත්තර සම්මා සම්බෝධිය පසක් කරන ලදහ. එම සර්වඥතා ඥානය ලබන බවට පෙරනිමිති වශයෙන් ය මේ පළමු සිහිනය පෙනුණේ.’

එම සිහිනයෙන් පෙන්නුම් කළ පරිදි ම බෝසතාණන් වහන්සේ ගුරූපදේශ රහිතව චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොටගෙන සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක. එමෙන්ම දසබල ඤාණ, සිව් විශාරද ඤාණ, ෂඩ් අසාධාරණ ඤාණ, ආදී උත්තම සම්බුදු ගුණ මහිමයෙන් ද සමන්විත වූ සේක.

ධර්මය පැතිරවීම පිළිබඳ පෙරනිමිති

‘මහණෙනි, දෙවන සිහිනයේ දී, සැතපී සිටි බෝසතුන්ගේ නාභියෙන් තිරිය නමැති තෘණ ගහක් පැළවී මතුවිය. එය අහස්තලය දක්වා උඩ නැගී අහස් කුස වසා පැතිර ගියේ ය. මහණෙනි, අර්හත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කොට දෙවියන් අතරත්, මිනිසුන් අතරත්, මැනවින් පවසන ලදහ. තථාගතයන් වහන්සේ විසින් ධර්මය පතුරුවා හැරීම පිළිබඳව පෙරනිමිති වශයෙන් ය මේ දෙවැනි සිහිනය දුටුවේ.’

භාග්‍යවතුන් වහන්සේ වදාළ පළමු දම් දෙසුම වූ දම්සක් පැවතුම් සුතුරින් ම කෝටි සංඛ්‍යාත දෙව් බඹුන් ධර්මාවබෝධ කළාහු ය. සැවැත් නුවර පමණක් පන්කෝටියක් මඟඵල ලාභී ආර්ය ශ්‍රාවකයින් සිටිබව සඳහන් වේ. පන්සාළිස් වසක් පුරා භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් අතර මනාකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය මැනවින් ඉස්මතු කළ සේක් ම ය.

ගිහි ජනයාගේ සරණා ගමනයේ පෙරනිමිති

‘මහණෙනි, තෙවැනි සිහිනයේ දී, කළු හිස් ඇති සුදු පනුවෝ බෝසතුන්ගේ දෙපා වසාගෙන උඩට නැඟෙමින් දණහිස දක්වා ම අතුරු සිදුරු නැතිව පැතිර වසා ගත්තෝ ය.

මහණෙනි, සුදුවත් හඳීන බොහෝ ගිහිජනයා මෙකල දිවි හිමියෙන් තථාගතයන් සරණ ගියාහු ය. ඔවුන්ගේ සරණාගමනය පිළිබඳව පූර්ව නිමිත්ත වූයේ මේ තුන්වන සිහිනය යි.’

භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ පසු බිම්බිසාර රජතුමා එක්ලක්ෂ විසිදහසක පිරිසක් සමඟ පැමිණ දහම් අසා තෙරුවන් සරණ ගියේ ය. කොසොල් රජතුමා සහ මල්ලිකා බිසව ද සුදොවුන් රජ ප්‍රධාන ශාක්‍ය වංශිකයන් ද , උදේනි රජතුමා ද, මල්ල රජදරුවන් ද, විශාලා මහනුවර ලිච්ඡවී රජදරුවන් ද සිය පිරිස් සමඟ තෙරුවන් සරණ ම ගියෝය. බ්‍රහ්මායු, චංකී, සෝණදණ්ඩ ආදී සම්භාවනීය බ්‍රාහ්මණ වංශිකයෝ ද, සුදත්ත සිටුතුමා, උපාලි ගෘහපතිතුමා ආදී සිටුවරුන් ද, පුණ්ණ, ආදී කම්කරු කුලයේ අය ද දහස් ගණනින් ලක්ෂ ගණනින්, මතු නොව කෝටි ගණනින්, තෙරුවන් සරණින් ම සැනසුණහ.

සිව් කුල ජනයා පැවිදිවන බවට පෙරනිමිති

‘මහණෙනි, සිව්වැනි සිහිනයේ දී සිව් දිශාවෙන් නොයෙක් පැහැගත් පක්ෂීහු සිව්දෙනෙක් බෝසත්හුගේ පාමුලට පැමිණියෝ ය. එසේ පැමිණි සැණින් ඔවුන්ගේ නා නා පැහැයන් නැති වී ගොස් මුළුමනින් ම සුදු පැහැයට පත්වූවාහුය. මහණෙනි, ක්ෂත්‍රිය ,බ්‍රාහ්මණ ,වෛශ්‍ය, ශුද්‍ර නමින් සිව් කුලයකි. මේ සිව් කුලයට අයත් වූවෝ ගිහි ගෙය හැරපියා තථාගතයන් විසින් පවසන ලද ධර්ම විනය සංඛ්‍යාත බුදු සසුනෙහි පැවිදි වෙති. මේ සිව් වර්ණයට අයත් ජනයා බුදු සසුනෙහි පැවිදි ව විමුක්තිය පසක් කරන බවට පෙර නිමිති වශයෙන් ය, සිව්වැනි සිහිනය දුටුවේ.’

භාග්‍යවතුන් වහන්සේ වෙත සපැමිණි භද්දිය, නන්ද ,ආනන්ද, අනුරුද්ධ, කච්චාන, පුක්කුසාති ආදී රජ කුමාරවරු උතුම් පැවිදි දිවියට පත්ව විමුක්තිය සාක්ෂාත් කළහ. සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප ආදී රහතන් වහන්සේලා ගිහි කල සම්භාවනීය බ්‍රාහ්මණ වංශිකයෝ වූහ. රට්ඨපාල මහ රහතන් වහන්සේ, සුභූති මහ රහතන් වහන්සේ, ආදී අපමණ රහතන් වහන්සේලා ගිහි කල ධනවත් වෙළඳ කුලීනයෝ වූහ. සුනීත, පිලෝතික ආදී ශුද්‍ර කුලයේ උපන් අසරණයෝ ද ගෞතම සසුනේ පැවිදිව අරහත්වයට පත්ව දෙව් බඹුන්ගේ පවා වන්දනා ලැබූහ.

බෙහෝ ප්‍රත්‍යයෙහි නො ඇලෙන බවට පෙරනිමිති

‘මහණෙනි, පස්වැනි සිහිනයේ දී බෝසත් තෙමේ මහා අසූචි පර්වතයක් මත සක්මන් කරමින් සිටියේ ය. එහෙත් පාවල ස්වල්ප මාත්‍ර වූ හෝ අසූචි නොතැවරුණි. මහණෙනි, තථාගතයන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ ප්‍රත්‍ය ලාභය බොහෝ සෙයින් ලබයි. එසේ නමුත් ඒ කිසි ප්‍රත්‍ය ලාභයකට සිත නොඇලෙයි. එයින් මුසපත් වීමක් නැත්තේ ය. එහි සිත බැස ගැනීමක් නැත්තේ ය. ඒ ප්‍රත්‍යයන්ගේ ආදීනව දකිමින්, නොබැ¼දී, නිදහස් ව ගිය ප්‍රඥාවෙන් යුතුව එය පරිහරණය කරයි. තථාගතයන්ට බොහෝ ප්‍රත්‍ය ලාභය ලැබෙන බවටත්, ඒ කිසිවකට නොතැවරී පරිහරණය කරන බවටත් පෙර නිමිති වශයෙන් මේ පස් වෙනි සිහිනය දුටුවහ.’

මහා ප්‍රඥාවෙන් සමන්විත ව, නිකෙලෙස් හද මඬලක් දරාගෙන වැඩ සිටි දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ පහන් සිතින් යුතුව සරණ යමු.