Print this Article


පූජාච පූජනීයානං

හඟුරන්කෙත ශ්‍රී සුමනානන්ද නාහිමි

නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක පණ්ඩිත හඟුරන්කෙත ශ්‍රී සුමණානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේගේ පනස් අටවන ජන්ම දිනය ජනවාරි 14 වෙනි දිනට යෙදී තිබිණි.

1986.06.20 වෙනි දින ගලිගමුවේ ගුණරතනාභිධාන මහානායක හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස මහියංගන ඔලගංවල මහා පිරිවෙන් ආරණ්‍ය සේනාසනයේදී හඟුරන්කෙත ශ්‍රී සුමනානන්ද නමින් පැවිදි විය. සිය පැවිදි ගුරු උතුමාණන්ලාගෙන් සිංහල, පාලි, සංස්කෘත ආදි සියලු විෂයන් ද, අභිධර්ම සූත්‍ර හා විනය පිටක ආදි උගත මනා ශිල්ප හදාරා උසස් දැනුමක් ලබාගත් උන්වහන්සේ 1991.06.13 වෙනි දින ගාල්ල වතුරවිල උපෝෂථාගාරයේ දී ගලිගමුවේ ගුණරතනාභිධාන මහානායක හිමිපාණන් වහන්සේ සහ දඹුල්ල එබේරගල ආරණ්‍ය සේනාධිපති, වර්තමාන මහානායක පසගොඩ ජිනවංශාභිධාන හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවූහ.

1991 දී මහවැලි සී කලාපයේ දෙහිඅත්තකණ්ඩිය සමනලතැන්න ආරණ්‍ය සේනාසනයට වැඩම කළ හිමිපාණන් වහන්සේ එහි ආරණ්‍ය සේනාධිපති පදවියට පත්වූහ.

අක්කර 25 ක පමණ වූ අති රමණීය වන පෙතක් වූ පුරාවිද්‍යා රක්ෂිතයක පිහිටි ආරණ්‍ය සේනාසනයේ ඉපැරැණි ඓතිහාසිකත්වය අවබෝධ කරගත් මුන්වහන්සේ මහා පරාක්‍රමබාහු රජ සමයේ ඉදි වී කාලයාගේ ඇවෑමෙන් නටබුන් බවට පත් වූ මෙම පූජනීය ස්ථානය සංවර්ධනය කිරීමේ කටයුතු ඇරඹූහ. කටාරම් කොටන ලද ගල් ලෙන් පහක් ශුද්ධ පවිත්‍ර කර එක් ගල් ලෙනක් සංඝවාසය කරගත් මුන්වහන්සේ තවත් ගල් ලෙනක් බුද්ධ මන්දිරය බවට පත්කළහ. පුණ්‍යභූමිය සතු සෙල්ලිපි, ගල් කණු, පොකුණු ආදී නටබුන් සුරක්ෂිත කිරීමට පියවර ගත්හ.

පුරා තිස් වසරක් තිස්සේ මුන් වහන්සේ විසින් දැන උගත් පැවිදි ශිෂ්‍යයන් රැසක් සම්බුද්ධ ශාසනයට දායාද කර ඇත. මහා විහාර වංශික ස්‍යාමෝපාලි වනවාසි මහා නිකායේ කාරක සංඝ සභාව විසින් මුන් වහන්සේගේ ආගමික සමාජ සේවාව අගය කරමින් 2018.02.17 වෙනි දින නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ.

****

වෑකුඹුරේ පඤ්ඤානන්ද නාහිමි

කොටිකාවත්ත කුඩාබුත්ගමුව ශ්‍රී පියදස්සනාරාමය බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාභක්තිය වර්ධනය කරවන, දර්ශනයෙන් පි‍්‍රය උපදවන මහා විහාරයක් බවට පත් කරවූ තත් විහාරාධිපති රයිගම් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක වෑකුඹුරේ පඤ්ඤානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේ 2021.02.12 දින තම 85 වන ජන්ම දිනය සපුරති.

බදුල්ල දිස්ත්‍රික්කයේ වෑකුඹුර ග්‍රාමයේ උපත ලද නාහිමිපාණෝ වෑකුඹුරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිපති ව වැඩ විසූ තල්ලන්දේ බුද්ධසෝම මහා තෙරුන් හා ශිෂ්‍ය වෑකුඹුරේ වජිරඤාණ හිමිපාණන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස 1951.05.21 දින වෑකුඹුරේ පඤ්ඤානන්ද නමින් උතුම් ප්‍රවෘජ්‍ය දිවියට ඇතුළත් ව ගුරු දේවයන් වහන්සේ වෙතින් මූලික බණ දහම් වත් පිළිවෙත් උගත්හ.

අධ්‍යයනය සඳහා ගාල්ල බද්දේගම ගණේගම ශ්‍රී රතනසාර පිරිවෙනට ඇතුළත් ව මූලික හා ද්විතීය අධ්‍යාපන ලැබීමෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූහ. එහි දී දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස පිරිවෙන් අවසානය තෙක් අධ්‍යාපනයෙන් සහතිකලාභී වීමෙන් අනතුරුව විද්‍යොදය විශ්ව විද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන විට තම ගුරුදේවයන් වහන්සේ අපවත් වීමෙන් ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ ආධිපත්‍ය භාර ගැනීමට උන්වහන්සේට සිදුවිය.

කුඩා බුත්ගමුව ශ්‍රී පියදස්සනාරාමය අක්කර 03 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ඇති පැරැණි වලව්වකි. පැරැණි ගොඩනැගිලි සහිත මේ භූමිය 1885 දී පමණ කොර්නේලිස් අප්පු උපාසක මහත්මා සාසනයට පූජා කර ඇති අතර, 1900 පමණ ආරාමයක් බවට පත් වූ ඉපැරැණි විහාරස්ථානයකි. 2006 ජුනි 06 දින මෙම විහාරයට වැඩම කළ නාහිමිපාණෝ 2007 පටන් ගරා වැටුණු බුද්ධ මන්දිරය වෙනුවට අභිනව විහාර මන්දිරයක්, සතර මහා දේවාලයක්, පිවිසුම් දොරටුව අසල ද රමණීය බුදු කුටියක් හා ආකර්ශණීය වාහල්කඩක්, පන්සල වටා වලාකුළු බැමි සහිත තාප්පයක්, දොරටුවේ සිට ලැගුම් ගෙය දක්වා මීටර 100 කට වැඩි තාර දමා සෑදු මාවතක්, ධර්මශාලාව සංවර්ධනය කොට ත්‍රීපේස් විදුලි පද්ධතියක්, දහම් පාසලේ ප්‍රධානාචාර්ය බවට පත්ව ඒ සඳහා බොහෝ ඉඩකඩ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් හා එයට අදාළව වැසිකිලි පද්ධතියක් පවා සාදවා නිමකර ඇත.

මේ විහාරයේ පවා විහාරාධිපතිත්වය මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායෙන් තහවුරු කරන්නේ 2018.02.02 දිනය. එසේ ම මෙම පාර්ශ්වයේ විංශත් වර්ගික කාරක සංඝ සභාවෙන් පැවිදිව ඉටු කර ඇති සේවය සලකා මෙම නාහිමියෝ රයිගම් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ගෞරව දක්වා ඇත. දැනුදු ක්‍රියාශීලි ස්වභාවයෙන් වැඩ වසන නාහිමියෝ ප්‍රදේශයේ සිදුකරන සෑම ආගමික ,ජාතික කටයුතුවලට පුරෝගාමිත්වය පිරිනැමීම් වස් මුළු දිවයිනට ම සාම විනිසුරු හා කොළොන්නාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නැගෙනහිර කලාපයේ සභාපතිත්වය පිරිනමා ඇත්තේද නිතරඟයෙනි.

නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගීව තවත් චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් හා මහජනතාවට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා