Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

ඒ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙකි. දිනක් පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ විචාළේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, තුමූ නිරුත්තර සම්‍යක්සම්බෝධිය ලැබූහ යි ප්‍රතිඥා කෙරෙත් ද?” එයට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ ,

තමන් වහන්සේ සම්‍යක්සම්බුද්ධත්වය ලැබූ බවත් , එබැවින් ම සම්‍යක්සම්බුද්ධ වෙමි යි ප්‍රතිඥා කරන බවත් වදාළ සේක.

එවිට “ ස්වාමීනි ,මහ පිරිස් ඇති කීර්තිමත් පූර්ණකස්සප , මක්ඛලිගෝසාල , නිගණ්ඨ නාතපුත්ත , සංජය බෙල්ලට්ඨ පුත්ත , කකුධ කච්චායන , අජිත කෙසකම්බලී යන සදෙනා ගෙනුත් , ඔබ වහන්සේ සම්‍යක්සම්බුද්ධ දැ ? යි මා විසින් ප්‍රශ්න කරන ලද නමුත් සම්‍යක්සම්බුද්ධ බවක් ඉඳුරා නො කීහ. මෙය කෙසේ පහදාගන්නද ? උන් හැමට වඩා වයසින් බාල වූ මෑත පැවිදි වූ ගෞතමයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යි ප්‍රතිඥා කෙරෙත් දැ යි රජු ඇසී ය. එ විට භාග්‍යවතුන් වහන්සේ රජු අමතා ,

“රජ කුමරා ද , සර්පයා ද , ගින්න ද , භික්ෂුව ද යන සතර දෙන ළදරු යැයි පහත් කොට, සැහැල්ලු කොට නො සිතිය යුතු යැ යි වදාරා දහම් දෙසූ සේක.

ඒ ඇසූ රජ පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. ඉන්පසු කොසොල් රජු ජේතවනයෙහි බුදුරජුන් උදෙසා රාජකාරාමය නම් විහාරයක් ද කැරැවී ය. මෙම සිදූවීම පාදක කොට ගනිමින් මෙවර බුදු සරණ කවරය කොසොල් රජු තෙරුවන් සරණ ගිය අයුරින් සිතුවම් කොට ඇත.