Print this Article


මතක හිටින කතාවක්...

මතක හිටින කතාවක්...

මා කුඩා කල මාගේ මුල් ගුරුතුමා අපට ජීවිතයට ම මතක හිටිනා කතාවක් කියා දුන්නේ ය. එය ගුරුවරයකු සිසුවකුට දුන් අභ්‍යාසයකි.ගුරුවරයා ගෝලයාට කොටස්වලට ඉරා දැමූ ලෝක සිතියමක් දී කියා සිටියේ නිවැරදි අයුරින් එය සකස් කරන ලෙස ය. නිවැරදිව ලෝකය සැකසීමට වෑයම් කළ සිසුවා පරාජිත ව

කළකිරුණේ මුල් ගුරුතුමාගේ පැවරුම ඉටු කිරීමට නොහැකිවීම නිසා ය.

පාසල නිමවී ගෙදර ගියත් සිසුවා නැවත නැවතත් උත්සාහ කළේ සිතියම නිසි අයුරින් සැකසීමට ය. මව්පියන්ට ද ඇවටිලි කරමින් ඔහු කියා සිටියේ කෙසේ හෝ හෙට දිනයේ දී පාසල් යන විට මෙම පැවරුම නිමකරගෙන යා යුතු බවයි.

අවසානයේ තම පියාගේ මඟ පෙන්වීම ද අනුව සිතියම සැකසීමේ යෙදුණු ඔහුට දැකගත හැකි වූයේ සිතියමේ පිටුපස ඇත්තේ මිනිසකුගේ ශරීරාංග බවයි. සිතියම සකසා ගත නොහැකි වුව ද ඔහු පහසුවෙන් මිනිස් සිරුරේ කොටස් එක් කොට මිනිස් රුව සකස් කළේ ය. පුදුමයකි ඔහුගේ බලාපොරොත්තුව ,මස්තකප්‍රාප්ත විය.

මිනිස් රුවේ අනික් පස ලෝක සිතියම මැනවින් නිර්මාණය වී තිබුණි. ඔහුට ඇති වූ ප්‍රීතිය නිම්හිම් නැති විය.ඔහු ජය ගත්තේ ය.

මිනිසා හැදුණු කල ලෝකය නිතැතින් ම සකස් වන බව පෙන්වීමට ගුරුවරයා ඉදිරිපත් කළ ක්‍රියාකාරකම කෙතරම් අගනේ ද ?

මිනිසා නොහදා රට හදන්නට බැහැ.”මිනිසාත් හදාගෙන රටත් හදාගනිමු.”යනුවෙන් රටට දැයට පරම පූජනීය වූ ‘මඩිහේ සිරි පඤ්ඤාසීහ මහ නාහිමිපාණෝ ‘ නිරතුරුවම පෙන්වා දුන් හ.කරුණාවෙන් අවවාද අනුශාසනා කළ හ.”

නොමැරෙන මිනිසකු සේ මුදල් උපයන්න. නොමැරෙන මිනිසකු සේ ඉගෙනීමේ යෙදෙන්න.අධ්‍යාපනය ලබන්න. එහෙත් මාරයා කෙස් වැටියෙන් අල්ලා සිටින අවස්ථාවක සේ ධර්මයේ හැසිරෙන්න' යි උන්වහන්සේ නිරතුරුවම අපට අවවාද කළ හ.