Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 23: ගිරි නුවර පාලනය ගැමුණු කුමරු යටතට

දුටුගැමුණු මහ රජතුමා - 23:

ගිරි නුවර පාලනය ගැමුණු කුමරු යටතට

අපි ගැමුණුට භය විය යුතු නැහැ. නමුත් ගැමුණු කුමරුට පලායන්නට දීම ගැන අක්කණ්ඩියට කුමක්ද පවසන්නේ? අපට විශාල චෝදනාවක් එන්නට ප්‍රථම අපි අපේ සේනාවත් අරගෙන වහා සේරු නුවරට යමු.”ගැමුණු කුමාරයා ගිරිනුවර අල්ලා ගත්තා” යැයි ප්‍රචාරය කරමු.

මේ විස්තර ඇසීමෙන් දේවියගේ සිතට මහත් දුකක් දැනිණි. මා මගේ සැමියා ගැන සොයා බැලුවේ නැහැ නේද? ඇගේ දෑස් අගින් කඳුළු වැගිරෙන හැටි දුටු දීඝාභයටත්, දන්තීටත් දුකක් ඇතිවිය.

මෑණියන් වහන්ස, ගැමුණු කුමරු පිය රජතුමාට අකීකරු වීමෙන් රජතුමා හොඳටම කිපිලා ගැමුණු අල්ලාගෙන එන්නට ආරක්ෂක සෙනෙවිවරු පිරිසක් යවලා.

“මොනවා, මේ තරම් තොරතුරු ඔබ දන්නේ කොහොමද?”

“මම එද්දී පුහුණු කඳවුරකට ගියා. එහිදී නන්දිමිත්‍ර මහ සෙනෙවි හමුවුණා. ගැමුණු කුමරු අල්ලන්නට යාම නන්දිමිත්‍ර ප්‍රතික්ෂේප කරලා. සෙනෙවියෙක් සෙබළු පිරිසක් සමඟ කුමාරයා ලුහුබඳින බවයි දැන ගත්තේ. ගැමුණු දැනටමත් පලා ගිහින්. දාව ආචාර්යතුමා ගිරි රාජ්‍යයේ පාලනය අතට අරගෙන.”

විහාරමහා දේවිය ගල් ගැසී බලා සිටියා ය. ඇය මහත් බියට සහ වේදනාවවට පත්ව ඇත. දීඝාභය මවගෙන් සමුගෙන පිය රජතුමා හමුවට ගියේ ය.

“දන්තී, රාජ වෛද්‍යවරයා ගෙන්වා ගන්න. අද හවසට ආවොත් හොඳයි.

දීඝාභය ගැමුණු කෙරෙහි හොඳටම කළකිරිලා. පියරජතුමා අසනීප වුණේ ගැමුණුගේ හිතුවක්කාරකම් නිසායැයි ඔහු සිතනවා. මොනතරම් ගැටලු මතුවුණත් මනා සිහියෙන් යුතුව, එඩිතරව මුහුණ දීමට විහාරමහා දේවිය සිතුවා ය.

ගැමුණු කුමාරයා අතුරුදන් වූ දිනම දාව ආචාර්යතුමා ආපසු මාගම රජ මාළිගය බලා යාමට සූදානම් විය. “ආචාර්යතුමනි කලබල වෙන්න එපා. නැන්දණියගේ නෝක්කාඩු වචන නිසා ඇතිවු කෝපය මඟහැරුණු විට කුමරු ආපසු ඒවි. අපි කුමාරයා ගැන සොයා බලා නැවත ගෙන්වා ගන්නට බලමු. එතෙක් ආචාර්යතුමා මෙහි රැඳී සිටීම හොඳ බවයි මගේ අදහස.” ගිරි අබා රජු පැවසීය.

“ඔබතුමාගේ අදහසට මමත් එකඟයි. වේළුසුමන එන තෙක් මා මෙහි රැඳී සිටින්නම්. නමුත් රජතුමනි, විහාරමහා දේවියට මෙම සිදුවීම හැකි තරම් ඉක්මනින් දැනුම් දීම අපේ යුතුකමක්. ඉදිරි දින කිහිපයේදී මා ගිරිනුවර අවට නගරවලට ගොස් කුමාරයා ගැන සෝදිසි කර බලන්නම්.”

“කුමාරයා පිළිබඳ කිසිදු තොරතුරක් නැති වීම මට බලවත් වේදනාවක්. ඔහු ගැන යම් තොරතුරක් දැනගන්නට ලැබුණෙත් එය මගේ හිතට සහනයක්.”

“ආචාර්යතුමනි, මේ රාජ්‍යය ගිරි දුර්ගයත්. මෙහි මාර්ග ඉතා දුෂ්කරයි. නොදන්නා අයෙකුට ගමන ඉතා අපහසුයි. ඒ නිසා අවශ්‍ය නම් සෙබළුන් සමඟ ගමන් කරන්න.”

ගිරි අබා රජු ගැමුණු කුමාරයා සෙවීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත. ඒ වෙනුවට හොර රහසේම සෝමා දේවිය ලවා තල්පතක් ලියවාගෙන එය රහසේ පණිවිඩකරුවකු අතේ මාගම රාජ්‍ය වෙත යැවීය.

“ගැමුණු දඩබ්බරයි. ඔහු අපෙන් පලිගන්නට බැරිකමක් නැහැ. පිය රජතුමාටත් අපහාස කළා. ඒ නිසා අප ගිරි රාජ්‍ය අතහැර සේරු නුවරට යාම වඩාත් සුදුසුයි. එහි අපට අලුත් රාජ්‍ය ගොඩනඟා ගන්නට පුළුවන්.” ගිරිඅබා රජතුමා දේවියට පැවසීය.

“අපි ගැමුණුට බයේ ගිරි රාජ්‍ය හැරදමා යාම අනුවණකමක්. ඔබ කිවූ නිසයි අපි සේරු රාජ්‍යයට යන බව පවසා අයියණ්ඩියට හදිසි පණිවිඩයක් යැවුයේ.”

“නැහැ දේවිය අපි ගැමුණුට භය විය යුතු නැහැ. නමුත් ගැමුණු කුමරුට පලායන්නට දීම ගැන අක්කණ්ඩියට කුමක්ද පවසන්නේ? අපට විශාල චෝදනාවක් එන්නට ප්‍රථම අපි අපේ සේනාවත් අරගෙන වහා සේරු නුවරට යමු.”ගැමුණු කුමාරයා ගිරිනුවර අල්ලා ගත්තා” යැයි ප්‍රචාරය කරමු.

“අප ගිය විගස ගැමුණු මෙහි පැමිණ රජ වේවි. ඔහුගේ අරමුණූ ඉටුකර ගැනීමට එයින් තවත් පහසු වේවි.”

“නැහැ. එයින් ඔහුට හිමිවන අපකීර්තිය විශාලයි. අප ගැමුණු නිසා රාජධානිය හැර යන බව දැනගත් වහාම කාවන්තිස්ස රජතුමා කලකිරේවි. ගැමුණු අල්ලාගන්නට යුදභටයන් යවාවි. මාලිගයේ අනෙකුත් කුමාරවරු දුටුගැමුණුට දොස් පවරාවි. එයින් සියලු දෙනාම අප කෙරෙහි ඇතිවන අනුකම්පාව අපට වාසි සහගත වේවි.”

ගිරි අබා රජුගේ මේ කතාව පිළිබඳ සෝමා දේවිය පුදුමයට පත් වූවාය. ගැමුණු කුමාරයාට පලා යන්නට කරුණු යෙදීම ගැන මාගම රාජධානියෙන් විශාල චෝදනාවක් එල්ල විය හැකි ය. එහෙත් එයින් ගැලවෙන්නට තමන්ට අයත් රාජ්‍ය අතහැර දමා යාම අනුවණකමකි.

කෙසේ වෙතත් පසුදා උදෑසන ගිරි අබා රජතුමා දුර බැහැර ගමනක් යාමට සූදානම් වන බව දාව ආචාර්යතුමාට පෙණිනි. ආචාර්යතුමා වහා පැමිණ ඒ ගැන කරුණු විමසීය.

“මෙහි ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ අප සේරු රාජ්‍යයට දන්වා යැවුවා. අපට එහි රජතුමාගෙන් ආරාධනයක් ලැබී තිබෙනවා. එහි පැමිණ විවේක ගන්නා ලෙසට.

අප එහි යාමටයි සූදානම් වෙන්නේ.”

ගිරි රජතුමාත් ,දේවියත් සියලු සේනාවත් සමඟ පිරිස නොබෝ වේලාවකින් පිටත් වූහ. මේ දුටු දාව ආචාර්යතුමා මේ පිරිස යන සැටියෙන් සෑහෙන කාලයකට ආපසු නො එන බව අවබෝධ විය. ගිරි රාජධානිය පාළුවට ගොසිනි. දාව ආචාර්යතුමා මේ ඇතිවී තිබෙන තත්ත්වය දැන්වීම සඳහා මාගම රාජ්‍යය යාමට තීරණය කළේ ය. රාජාංගනයට පැමිණ මද දුරක් ගමන් කරන විට ගලින් කරන ලද පියගැට පෙළකි. හී පොළ පිහිටුවා ඇත්තේ මෙහිය. හී පොළ ළඟින් පහළට බසින්නට සූදානම් විය. හිසට ඉහළින් වේගයෙන් පැමිණි හී පතක් හී පුවරුවෙහි වැදුණි. හීය මත බඳින ලද තල්පතක් විය. හී පත කාගෙන්ද? මාගම රාජධානියෙන් ආ පණිවුඩයක් යැයි සිතූ දාව ආචාර්යතුමා එය කියවීය.

“දාව ආචාර්යතුමනි, ගිරි රාජ්‍යය අරාජික නොකරන්න. පිය රජතුමා සුදුස්සකු පත් කරන තුරු අමාත්‍ය මණ්ඩලය පත්කර පාලන කටයුතු සිදු කරන්න” එය ගැමුණු කුමරුගේ අත් අකුරුය.

ආචාර්යතුමා තල්පත ගෙන ආපසු පුරෝහිත මැදුරට පැමිණියේ ය. කිසිවකුත් සමඟ කතාබහ නොකළේ ය. විචිත්‍රගාරයට පැමිණ නැවත වරක් තල්පත කියවා කුමක් කරන්නේදැයි කල්පනා කළේ ය.