ධර්මය
වටහා ගන්නට නම්
නුවණ ඕනෑ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
පූලියද්දේ සුධම්ම හිමි.
පින්වත් දරුවනේ , භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හිතන්න ,හිතන්න දැනෙන සතුට හරිම
පුදුමයි. අඳුරට එළියක් ලැබෙනවා වගේ අපගේ ජීවිතය ඉතා මැනවින් ආලෝකවත් කරනවා. දරුවනේ
, මුණින් අතට හැරුණු කළයක් තිබෙනවා.
අප එයට බොහොම මහන්සි වෙලා වතුර පුරවනවා. කළය පිරෙනවා ද ? නෑ කළය හරි අතට හරවලා වතුර
පිරෙව්වොත් පමණයි කළය පිරෙන්නේ. ඒ වගේ අපේ හිතත් පුරවා ගන්න ඕනෑ . ඒ පිරිසුදු බවින්
සිත පිවිතුරු වුණ තරමට තමයි ධර්මය වැටහෙන්නේ.
අපේ බුදු හාමුදුරුවෝ දේවදත්තට මොන තරම් ධර්මය දේශනා කළා ද? ධර්මය වටහා දෙන්නට
උත්සාහ කළා ද ? ඒත් පුළුවන් වුණේ නෑ. හැමෝටම ධර්මය වටහා ගන්න පුළුවන් කමක් නෑ. ඒ
සඳහා නුවණ තිබෙන්නට ඕනෑ.
දරුවනේ ලෝභය, ද්වේෂය , මෝහය අඩු හිත, හොඳ හිතක් කියනවා. සිතට වද දෙන මේ කෝටු කැබලි
, උල් වගේ කෙලෙස් ටිකෙන් ටික ඉවත් කරන්න ඕනෑ.
දවසක් මාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙනවා.
“ භාග්‍යවතුන් වහන්ස , ඔබ වහන්සේට පුළුවන් නේද මේ මහා කන්ද රන් පර්වතයක් කරලා ඔබ
වහන්සේගේ ශ්‍රාවකයන්ට බෙදා දෙන්න. එහෙම නැති නම් ගංගා නම් නදියේ ජලය ඔසු පැන් කරලා
බෙදා දෙන්න. එවිට ඔවුන් කවදාවත් රෝගී වන්නේ නැතිවෙයි. ඒ වගේම බුද්ධත්වයට වඩා ඔබ
වහන්සේට සක්විති රජකම වටිනවා නේද? මේ ආදී වශයෙන් බුදුරදුන්ගෙන් විමසනවා.
ඒත් දරුවනේ බුදු හිත වෙනස් වුණේ නෑ.
දරුවනේ , දන්නවාද බුදුරජාණන් වහන්සේට තුනටියේ වේදනාවක් තිබුණා. බුදුරජාණන් වහන්සේට
අවශ්‍ය නම් බුද්ධ ශක්තියේ බලයෙන් ඒ වේදනාව නැති කරගන්නට තිබුණා. ඒත් උන්වහන්සේ
ආනන්ද හාමුදුරුවන් අමතා දේශනා කළේ මෙලෙසයි.
“ ආනන්ද , මගේ මේ අපහසුව, වේදනාව දුටුවාමත් මිනිසුන්ට සසර බය තේරෙයි. සසර දුක
වැටහෙයි. ඒ නිසයි ආනන්ද මා මේ අසනීපය ආධ්‍යාත්මික ශක්තියෙන් , ප්‍රාතිහාර්ය බලයෙන්
සුව කර නොගන්නේ “.
දරුවනේ දන්නවාද ? බුදුරජාණන් වහන්සේට ඒ අසනීපය හැදුණේ ඇයි කියලා. මතු බුදු බව
පතාගෙන පෙරුම් පුරන කාලයේ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භවයේ දී දරු දෙදෙනා දන්
දුන්නා. ඒ වෙලාවේ ජූජක බමුණා දරුවන්ට වධ දෙමින් ඇදගෙන යනවා. ඒ වේදනාබර දසුන දකින
විට බෝසතාණන් ගේ සිතට මහා දුකක් ඇති වුණා. නපුරු චේතනාවක් සිතට දැණුනා. ඒ
සිතිවිල්ලෙන් ඉනට තැබුවා. ඒ විපාකය නිසා තමයි බුදු වූ පසුවත් තුනටියේ වේදනාව ඇති
වුණේ.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැනි උතුමන් වහන්සේ නමකටත් එලෙස නම් , දරුවනේ අපට ලැබෙන
විපාක කෙසේ වේවිද?.
අද සමාජය මොන තරම් විෂම ද? සමහර අය අම්මා තාත්තා හඳුනන්නේ නැහැ. සහෝදර සහෝදරියන්
හඳුනන්නේ නැහැ . එකට එක කියනවා , එකට එක කරනවා. ඔවුනොවුන් ගැන නරක, නපුරු සිතිවිලි
ඇති කර ගන්නවා. ඒවා නපුරු ලෙස ම ක්‍රියාවට නඟනවා. ඒත් දරුවනේ මේවායේ විපාක නම් අප
පසු පසම එන බව මතක තබා ගන්නට ඕනෑ.
මේ සමාජය හරිම විෂමයි. ඒ විෂම සමාජයේ ජීවත්වනවිට අප විසින් රැක ගත යුතු වටිනා
වස්තූන් හතරක් තිබෙනවා. ඉදිරි බුදුසරණ කලාපයෙන් ඒ ගැන දැන ගනිමු. |