Print this Article


හොඳ වචනය හරිම බලවත්

හොඳ වචනය හරිම බලවත්

බොහොම ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ රජකම් කරන කාලයේ, මඟුල් ඇතෙක් හිටියා. ඒ ඇතාැගේ නම “මහිලාමුඛ”. මේ ඇතා හරිම කරුණාවන්තයි. කීකරුයි. ආචාර සම්පන්නයි.

එක දවසක් සොරු පිරිසක් සොරකමකට යන්න පෙර, මඟුල් ඇතු සිටිය මඩුව ළඟට ආවා. ඔවුන් සොරකම් කරන්න යන්නයි සූදානම. ඒ නිසා නායක හොරා අනෙක් අයට උපදෙස් දෙන්න ගත්තා.

“නුඹලා මා කියන දේ අහගන්න ඕනෑ. අපි රාත්‍රියේ සිටුමැදුරට යනවා. ඊට පස්සේ සිටු මැදුර බිඳිනවා. ඒ සද්දයට කවුරු හරි ආවොත් ඒ එන කෙනා මරා දමන්න ඕනෑ. කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඕනෑම කෙනකුට පහර දීලා, කඩුවෙන් කොටා මරා දමන්න ඕනෑ. තේරුණා නේද?

ඉතින් පුතේ දුවේ, මේ හොරුන්ගේ කතාව අසල හිටපු මඟුල් ඇතා අහගෙන හිටියා. දෙවෙනි දවසෙත් මේ සොරුන් මේ ඇතා සිටින තැනට ඇවිත් සොරකමේ යන හැටි කතිකා කර ගත්තා.

“අපි හොරු. බොහොම නපුරු අය, අපේ ළඟ කරුණාවක්, දයාවක් නැහැ. මිනිස්සුන්ට තලා පෙළා හිංසා කරලා අප සොරකම් කළ යුතුයි. ඒ නිසා ඕනෑම කෙනෙකුට පහර දීමට, දෙපාරක් හිතන්නේ නැහැ”.

එදිනත් මේ මහිලාමුඛ ඇතා මේ කතාව අහගෙන හිටියා. ඉතින් දරුවනේ, මේ ඇතත් හිතනවා මම දරුණුයි. මම ඕනෑම කෙනෙක් මරණවා, කියලා. ඉතින් පසුදින උදෑසනම මේ ඇතා බලාගන්න ඇත්ගොව්වා මහුලාමුඛ ඇතා සමීපයට පැමිණියා. දරුණු නරක වචන අසා සිටි මඟුල් ඇතා, එක්වරම තම සොඬෙන් ඇත් ගොව්වා ඔසවාගෙන බිම ගැසුවා. ඉන්පසුව කකුලෙන් පාගා දැම්මා.

ඇත් ගොව්වාට අත්වන ඉරණම දුටු තවත් ඇත්ගොව්වෙක් ඔහු බේරාගන්නට ඒ දෙසට දිව ආවා. එහෙත් මඟුල් ඇතු ඒ ඇත් ගොව්වා ද ඔසවා ඈතට විසි කර දැම්මා. කීකරුව සිටිය මඟුල් ඇතා මේ තරම් දරුණු වුණේ කොහොමද? කියලා කල්පනා කරමින් හිටිය අනෙක් ඇත් ගොව්වා රජුගේ අමාත්‍යවරයා ළඟට ගිහින් මේ බව කිව්වා.

ඒ කාලයේ අප මහා බෝසතාණන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුගේ අමාත්‍යවරයෙක්.

රජුගේ බෝධිසත්ව අමාත්‍යවරයා කැඳෙව්වා .

“මගේ මඟුල් ඇතු කලබල වී ඇත් ගොව්වන් මරා දමනවා. ඒ පිළිබඳව හොයා බලන්න.” රජ්ජුරුවෝ අණ කළා. බෝධි සත්ත්වයෝ මඟුල් ඇතු සමීපයට ගියා. ඇතු පිළිබඳව සොයා බැලුවා. මඟුල් ඇතුට කිසිම අසනීපයක් නැති බව වැටහී ගියා. එසේ නම් මේ කීකරු සත්වයා සමීපයේ නපුරු වචන කවුරු හරි පවසන්න ඇති. මේ සත්ත්වයා ඒ වචන අසා, දුෂ්ඨ වී තිබේ. ඇමතිවරයා ඇත් හල බලාගන්න තැනැත්තාට කතා කළා.

“කවුරුන් හෝ මේ අසල රාත්‍රියේ සිටියා ද? “ස්වාමීනි හොරුන් නිතරම රාත්‍රී කාලයෙහි මේි ආසන්නයෙහි ගැවසෙනවා” ඔහු පිළිතුරු දුන්නා. ඇමතිවරයා රජු සමීපයට ගියා.

“රජතුමනි ඇතුට කිසිම අසනීප තත්ත්වයක් නැහැ. ඒත් රාත්‍රියෙහි සොරුන් එහි ගැවසෙනවා. ඔවුන් කියන නරක කතා ඇසී, මඟුල් ඇතු චණ්ඩ වී තිබෙනවා"යි පැවසුවා.

“එසේනම් අපි දැන් කුමක් කළ යුතු ද? රජු ඇසුවා.

“දේවයන් වහන්ස රාත්‍රී කාලයෙහි සිල්වත් මහලු බමුණන් ගෙන්වා යහපත් වචන කතා කරන්නට සලස්වමු. එවිට මහිලාමුඛ ඇතු යළිත් යහපත් තත්ත්වයට පත් වේවි යනුවෙන් ඇමතිවරයා පැවසුවා.

ඉතින් දුවේ පුතේ එදා රාත්‍රියේ සිට සිල්වත් බමුණන් ඇත් හල සමීපයේ සිටිමින් යහපත් වචන කතා කරමින් ඇතුට අසන්න සැලැස්වුවා.

මම ජීවත් වන්නේ බොහෝම යහපත් විදියටයි. අපි කිසිවකුට හිරිහැර නොකළ යුතුයි. කිසිවකු නොමැරිය යුතුයි . මිනිසුන් මැරීම පාපයකි. සියලු දෙනාට කරුණාව, මෛත්‍රිය පැතිරිය යුතුයි.”

බමුණන්ගේ යහපත් කතා බහ දින කිහිපයක් අසා සිටි මහිලාමුඛ හස්තියා මෙලෙස කල්පනා කළා.

“මම මගේ ඇත් ගොව්වා මරා දැම්මා, එය කෙතරම් පාපයක් ද? මම යහපත් කෙනෙක් විය යුතුයි.”

ඇතාගේ හැසිරීම වෙනසක් දුටු ඇත් ගොව්වන් ඇතා සමීපයට ගියා. මෙතෙක් බොහොම නොසන්සුන් චණ්ඩ ගති තිබුණූ හස්ති රාජයා ඉතා සන්සුන් ව කටයුතු කළා.